2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

බාරොන් හා මල්ලිකා

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

පසුගියදා ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන් ගැන දේශන කළ විද්වත්හු විශාල වරදක් කළහ. එම කතා තුළින් පැහැදිලි වූයේ ඔවුන් ඩී.බී. ජයතිලක චරිතය මනා ලෙස හදාරා නැති බවයි. කිසිසේත් සමාව නොදිය හැකි වරද නම් ජයතිලක ශ්‍රීමතාණන්ගේ සෙවණැල්ල බඳු වූ ඔහුගේ බිරිය මල්ලිකා බටුවන්තුඩාවේ ජයතිලකගේ සේවය ගැන කිසිම සඳහනක් නොකිරීමයි. මල්ලිකා ජයතිලකගේ කාර්යභාරය විස්තර නොකොට ඇගේ සැමියාගේ ශාස්ත්‍රීය මෙන්ම දේශපාලන කටයුතු ගැන සාර්ථක විග්‍රහයක් කළ නොහැකිය.

තරුණ ජයතිලකට කොතරම් උපන් හපන්කම් තිබුණද ඒවා කරලියට ගැනීමට උදව් කළේ ඔහුගේ බිරිය මල්ලිකා සහ ඇගේ නෑදෑ පරපුරයි. ඇගේ පියා වූයේ වරක් මෙරට ප්‍රාචීණ භාෂා ලෝකයේ දීප්තිමත්ම තරුව වූ බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමි හැටියට සුප්‍රසිද්ධව පසුව උපැවිදිව බටුවන්තුඩාවේ පඬිතුමා වශයෙන් ගිහි සමාජගත වූ අති දක්ෂ ශාස්ත්‍රවන්තයාය. ඇගේ සහෝදරයා වූ චාල්ස් බටුවන්තුඩාව මෙන්ම බෑණා වූ උපාලි බටුවන්තුඩාව රාජ්‍යමන්ත්‍රණ සභාවේ දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරු වූහ. සේනානායකලා හා බණ්ඩාරනායකලා මෙන්ම බටුවන්තුඩාවේ පවුලද එම යුගයේ බලවත් පවුලක් විය. එම පවුල සමග සම්බන්ධ වූවන් අතර ඩී.බී. ජයතිලකට අමතරව සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ඇන්.ඊ. වීරසූරිය වැනි මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කීප දෙනෙක්ම සිටියෝය. එපමණක් නොව බටුවන්තුඩාවේ දේවරක්ෂිත සිවුරු හැරීමෙන් පසුව බ්‍රිතාන්‍යය පාලකයන් විසින් “පණ්ඩිත” යන ගෞරව නාමය හා වැටුප් සහිත තනතුරක් ලබාදුන් නිසා ඔහු රටේ ප්‍රසිද්ධ තැනක් හිමිකර ගත්තේය. නිදසුනක් වශයෙන් කන්ද උඩරට ප්‍රභූවරයෙක් වූ ටී.බී. පානබොක්කේ බටුවන්තුඩාවේ පඬිතුමාගේ ගෝලයෙක් හැටියට සුදු පරිපාලකයින්ට ළං විය. රදලයෙක් වූ පානබොක්ක සිය බාප්පා විසින් වියහියදම් දැරූ නිසා නීති විද්‍යාලයේ පෙරකදෝරුවෙක් හා නොතාරිස් කෙනෙක් වීමට සිතා කොළඹ පදිංචියට ආවේය. ඔහුට නවාතැන් ලැබුණේ දේවරක්ෂිත බටුවන්තුඩාවගේ නිවසේය. එයින් ඔහු බ්‍රිතාන්‍යයන්ට ප්‍රිය මනාප වූවා පමණක් නොව පාලි හා සංස්කෘත ඉගෙන ගැනීමට ද පොට පෑදුණේය. විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිත පහතරට සංඝයා ඔහු හඳුනාගත් අතර රටේ පිළිගත් ප්‍රාචීන පඬිවරයෙක් හැටියට ද නමක් දිනාගත්තේය. එම දැනුම නිසා පාන‍බොක්කට රාජ්‍ය ගෞරව හිමිවූ අතර ඔහු බ්‍රිතාන්‍ය පරිපාලනයට රුකුලක් වශයෙන් මෙරට සම්ප්‍රදායික ධූරාවලියන් හෙළිදරව් කරන නීති නිඝණ්ඩුව නමැති ග්‍රන්ථය ඉංග්‍රීසියට පෙරළීය.

බටුවන්තුඩාවේ සහායද ඇතිව ඉංග්‍රීසියට පෙරළන ලද නීති නිඝණ්ඩුව හේතුවෙන් මෙරට විශාල විවාදයක් හට ගත්තේය. බ්‍රිතාන්‍යයේ සිවිල් නිලධාරීන්ට මෙරට සමාජයේ ස්වරෑපය විස්තර කරන වටිනා සංග්‍රහයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වාදෙන ලදි.  ග්‍රන්ථයේ සඳහන් ධූරාවලිය අනුව ගොවිගම කුලයට උසස්ම තැනකුත් අන් අයට පහත් තැනකුත් හිමි බව සටහන් කරන ලදි. නීති නිඝණ්ඩුව පිළිගතහොත් රජයෙන් අඩු සැලකිලි ලැබෙන බව දැනගත් අන් කුලවල ධනවත් ප්‍රභූන් එහි අඩංගු කරුණු විවේචනයට ලක්කරමින් පුවත්පත් හා සඟරා තුළින් වාදයක් පටන් ගත්තෝය. එම විවාදයට බෞද්ධ නිකායන් ද පැටලුන අතර හික්කඩුවේ සුමංගල හිමියන්ද උපදේශකයෙකු හැටියට එයට ඇදී ආවේය. ලංකා බෞද්ධ පුනරැදයේ වැදගත්ම සංසිද්ධියක් වූ චිකාගෝහි පැවති ආගමික දෘෂ්ඨි පිළිබඳ සම්මේලනයට බෞද්ධ නියෝජිතයා වශයෙන් මුලින්ම නම් කරන ලද්දේ පානබොක්කයි. ඔහු තමාට වැඩ අධික බව කියමින් කර ඇරියේය. ඒ වෙනුවට තරැණ ඩේවිඩ් හේවාවිතාරණ (පසුව අනගාරික ධර්මපාල), සුමංගල හිමියන් විසින් නම් කරන ලද්දේ ඉන්පසුවයි. චිකාගෝ සම්මේලනයට සහභාගී වූ ධර්මපාලතුමාට සිය අනාගත සේවය සඳහා මුදල් සම්පත් මෙන්ම අධිෂ්ඨානයද ලැබුණේය. සිංහල බෞද්ධයාගේ වාසනාවකටය, පානබොක්ක ආරාධනාව ප්‍රතික්ෂේප කළේ. එසේ නොකළා නම් බෞද්ධ පුනරුදය ලත් තැනම ලොප්වීමට හොඳටම ඉඩ තිබුණි.

රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන් අධිපති වශයෙන් කටයුතු කළ වලානේ සිද්ධාර්ථ නාහිමියන්ට ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් වූහ. ඒ බටුවන්තුඩාවේ දේවරක්ෂිත හා හික්කඩුවේ සුමංගලය. දෙදෙනාගෙන් ජ්‍යෙෂ්ඨයා වූයේ දේවරක්ෂිත හිමියි. ප්‍රාචීණ භාෂාවන් පිළිබඳ විශාරදයන් වූ මේ දෙපොළ ඉතාම කිට්ටු මිතුරන් දෙදෙනෙක් ද වූහ. මෙතැන දී දෛවය මැදිහත් විය. බටුවන්තුඩාවේ හිමි උපවැදි වී ක්‍රිස්තියානි ආගම වැළඳගෙන රජයේ උසස් තනතුරක් ලබාගත්තේය. ඒ හේතුවෙන් හික්කඩුවේ සුමංගල හිමි එම පරපුරේ ජ්‍යෙෂ්ඨත්වය දිනා ගත්තේය. තනතුරැ සඳහා ජ්‍යෙෂ්ඨත්වය මුල්තැන දෙන සංස්ථාවකි සංඝ සමාජය. ඒ සංසිද්ධිය නිසා සුමංගල හිමි පැල්මඩුල්ලේ පැවති සංගායනයේදී මුල්තැනක් ලබා ලක් අඹරේ අද්විතීය සංඝ තරුව බවට පත්විය. කාලය ගත වුවද බටුවන්තුඩාවේ හා හික්කඩුවේ අතර පැවති මිතුදම නොබිඳී පැවතුණි. ක්‍රිස්තු භක්තිකයෙකු වුවද පානදුරාවාදයේ දී බෞද්ධ පක්ෂයට හික්කඩුවේ හිමි හරහා වටිනා උපදෙස් බටුවන්තුඩාවේ ලබාදුන් බවට සාක්ෂි තිබේ.  එපමණක් නොව රාජ්‍ය අනුග්‍රහය ලබමින් මිතුරන් දෙදෙනා එක්වී මහාවංශය සිංහලට පෙරළූවෝය. එයද බෞද්ධ පුනරුදයේ වැදගත් සංධිස්ථානයකි.

ඩී.බී. ජයතිලකගේ බිරිඳ වූයේ බටුවන්තුඩාවගේ දියණිය වූ මල්ලිකායි. සිය සැමියාගේ ශාස්ත්‍රීය කටයුතුවලට ප්‍රාචීන භාෂා මෙන්ම ඉංග්‍රීසි බස හොඳින් දැන සිටි මල්ලිකා බෙහෙවින් උපකාරී වූවාය. එපමණක් නොව ඇය කාර්ය බහුල ජයතිලක ඉතා හොඳින් බලාකියාගත් බවද සඳහන් වෙයි. මල්ලිකා ජයතිලක මෙරට මුල්ම කාන්තා මාධ්‍යවේදිනියකි. ඇය බෞද්ධ පරමවිඥානාර්ථ සමිතියේ ප්‍රකාශනයක් වූ සරසවි සඳරැසට සතිපතා තීරු ලිපියක් සැපයුවාය. සරසවි සඳරැස අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරල ලද නමුත් මේ වනවිට එය ධර්මපාල විරෝධී පුවත්පතක් බවට පත්වී තිබුණි. සඳරැසට අභියෝගයක් හැටියට ධර්මපාල විසින් “සිංහල බෞද්ධයා” ආරම්භ කළ නමුත් ඔහු එහි කතුවරයා වූ පියදාස සිරිසේන සමග නිතර නිතර ගැටුම් ඇතිකර ගත්තේය. ඩී.බී. ජයතිලක ඉන්දියාවේ අප තානාපතිවරයා වශයෙන් පිටුවහල් කරන ලද කාලයේ දී පවා මල්ලිකා සතිපතා සඳරුසට දිල්ලියේ සිට ලිපි සැපයූවාය. ඉන්දියානු ජීවිතය පිළිබඳ විස්තර සරල සිංහල බසකින් ඇය විසින් සපයන ලද ලිපි අද වුවද ආසාවෙන් කියවිය හැකිය. ව්‍යාජ දේශනවලට වඩා මල්ලිකා ජයතිලකගේ ලිපි නැවතත් පලකරන්නේ නම් එය ජයතිලක නමට ගෞරවයක් වනවා නොඅනුමානය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00