2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඩී.බී. ජයතිලක හා විද්‍යාලංකාර ප්‍රකාශනය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

දැනට අවුරුදු 150කට පෙර උපන් ඩී.බී. ජයතිලක උතුමාණන් අප අවධානයට නැවතත් ලක්වී තිබේ. ඔහුගේ කොළඹ නිවස වූ “තෝබර්න් හවුස්” දැන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සතුව පවතින අතර එය ඉදිරියේ එතුමාගේ ප්‍රතිමාවක් ද ළඟදී විවෘත කරන ලදී. මුලින්ම කිවයුත්තේ එම ප්‍රතිමාව ඉතාම දුර්වල නිර්මාණයක් බවයි. මූර්ති කලාව යන්තම් කට ගාගත් “කලාකරුවන්”ගේ මෙවැනි නිර්මාණවලින් කොළඹ නගරය පුරවා තිබේ. ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ධර්මසිරි සේනානායක වැනි නායකයන්ගේ ප්‍රතිමාවලින් නිරූපණය වන්නේ ජපන් බෝනික්කන්ය. එම පුද්ගලයන්ගේ ගති ලක්ෂණ ඒවායින් නිරෑපණය වන්නේ නැත. එසේ නොව, රුසියානු ශිල්පියෙක් විසින් නෙලන ලද බණ්ඩාරනායක ප්‍රතිමාවත්, ලීලා ඩයස් බණ්ඩාරනායක විසින් නිර්මාණය කරන ලද පීලික්ස් බණ්ඩාරනායක පිළිරැව ද ඔවුන්ගේ ප්‍රතාපවත් බව නිරෑපණය කරයි. දැන් බෝනික්කන්ව සිටින ඒ ප්‍රබලයන් දැනහඳුනාගෙන සිටිය කෙනෙක් හැටියට කොළඹ නගරයේ සංචාරය කිරීමේදී ඒ ප්‍රතාපවත් මිනිසුන් ජපන් බෝනික්කන් බවට පත්වී සිටීම ගැන මා තුළ බලවත් සංවේගයක් ඇතිවෙයි. 

ජයතිලක ශ්‍රීමතාණන්, බෞද්ධ පුනරුදයේ ප්‍රධාන චරිතයකි. කැලණියේ වරාගොඩ ප්‍රදේශයේ උපන් එතුමා විද්‍යාලංකාර පිරිවෙන ළඟින්ම ඇසුරු කළා පමණක් නොව, එම විද්‍යායතනයේ දීප්තිමත් සිසුවෙක් ද විය. සිංහල, පාලි හා සංස්කෘත දැනුම අතින් ඔහු එකල විසූ සංඝ පඬිවරුන්ද පරයා යෑමට සමත් විය. එපමණක් නොව, එම විදුහලේ සඟගන ජයතිලකට සැලකුවේ තමන්ගේම රෑනේ කෙනෙක් හැටියටය. මහානායක හිමිවරැන් මෙන්ම විද්‍යාලංකාරයේ ශාස්ත්‍රවන්ත හිමිවරුන්ද ඔහුගේ කුලුපග මිතුරෝ වූහ. ඔවුන්ගේ දුක සැප බලාගැනීමට ඔහු කැපවී සිටියේය. එමෙන්ම ඔහුට කලාතුරකින් ලැබුණු නිවාඩු කාලය ගත කළේ තම හිතමිතුරු සංඝ නායකයන් සමඟය.

ප්‍රාචීන භාෂා මනා ලෙස හැදෑරූ ජයතිලක ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙස්ලි විදුහලට ඇතුළත් විය. මෙරට ක්‍රිස්තියානි පාසල් අතුරින් සිංහල බෞද්ධයන්ට වඩාත්ම රුචි වූයේ වෙස්ලි විද්‍යාලයයි. එය උසස් පන්නයේ ක්‍රිස්තියානියන්ගේ පාසලක් නොවීය. වෙස්ලියන් නිකාය, ආගමික වත්පිළිවෙත්වලට වඩා බයිබලය පරිශීලනය කිරීමට කැපවූ සංවිධානයක් විය. බෞද්ධ පුනරුදයට උරදුන් කීපදෙනෙක් වෙස්ලියේ ආදිසිසුහු වූහ. වලිසිංහ හරිස්චන්ද්‍ර, පී. ද ඇස්. කුලරත්න, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි නායකයන් ගුරුහරුකම් ලබාගත්තේ වෙස්ලියානු ගුරුවරුන්ගෙන්ය.

දක්ෂ ශිෂ්‍යයෙක් වූ ජයතිලක හොඳින් ඉංග්‍රීසි ඉගෙනගෙන ලන්ඩන් සරසවියෙන් උපාධියක්  ලබාගත්තේය. ඉන් පසුව ඔහු බොදු පුනරුදයේ සුවිශේෂ ලක්ෂණයක් වූ බෞද්ධ අධ්‍යාපනයේ පෙරගමන්කරුවකු විය. ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රධානාචාර්යවරයා වූයේ ලාබාල වයසේදීමය. ඉන් පසුව ආනන්දයේ මෙන්ම බෞද්ධ පරම විඥාර්ථ සංගමයේ නියමුවා වශයෙන්, ඔහු ජාතික නායකත්වයට පැමිණියේය. ඇතැම් විට ඔහු ධර්මපාලතුමා සමඟ එක්ව වැඩ කළ අතර, ඇතැම් විට ඔහු සමඟ ගැටුණේය. එහෙත් හැමවිටම ජයතිලක විසින් අධ්‍යාපනයට කරන ලද සේවය ගැන ධර්මපාල සතුට ප්‍රකාශ කළ අතර ඔහුගේ මහාබෝධි පාසල්, ආනන්දය වැනි විද්‍යායතනය දක්වා දියුණු කර ගැනීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටියේය. ජයතිලක එතැනින් නැවතුණේ නැත. ඔහු ඇෆ්.ආර්. සේනානායකගේ ආධාර ඇතිව එංගලන්තයට ගොස් බැරිස්ටර් විභාගයෙන් ද සමත් විය. ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ නායකත්වය තුළින් ඔහු සේනානායක පවුලේ හිතවතෙක් විය. 1915 සිංහල මුස්ලිම් ගැටුමේ දී සිංහල නායකයන්ට වු අසාධාරණයට එරෙහිව ජයතිලක එංගලන්තයේ සිට විශාල සටනක් දියත් කළේය. ඊ.ඩබ්ලිව්. පෙරේරා හා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් එම එතෙර සටනට ඔහු සමඟ එක් වූහ. 

මේ යුගයේ සිංහල බෞද්ධ සටනේ මූලිකත්වය ගත් ත්‍රිමූර්තිය ඇෆ්.ආර්. සේනානායක, ඩී.බී. ජයතිලක හා ඩබ්ලිව්.ඒ. සිල්වාය. ඔවුන් තම ධනය කැපකරමින් බෞද්ධයන් නඟාසිටුවීමට මහන්සි ගත්තෝය. මේ තුන්කට්ටුව සමඟ ධර්මපාලතුමා බොහෝවිට ගැටුම් ඇතිකර ගත්තේය. එතුමා ලංකාවේ නොසිටි නිසා නායකත්වය නිරායාසයෙන්ම මෙම තුන් කමිටුව වෙත ළඟා විය. ධර්මපාලතුමා ඉන්දියාවේ කල්කටාවට කොටු විය. එතුමා ලංකාවට ආපසු පැමිණීම වළකාලමින් තහනම් නියෝගයක් ලබාගෙන තිබූ නිසා 1915 න් පසු අවුරුදු කීපයක්ම ඔහුට කල්කටාවෙන් පිටවීමට නොහැකි විය. දැන් මම මෙතෙක් කිසිම සමාජ විද්‍යාඥයකු විසින් මෙතෙක් හෙළිදරව් කර නොමැති කරුණක් කෙරෙහි අවධානය යොමු කරමි.

ලංකා කොංග්‍රසයේ නායකත්වය දැරුවේ ජයතිලකයි. ඒ අනුව ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායක විය. වයසින් මුහුකුරා ගිය ඔහු එම තනතුර ඉතාම වගකීමෙන් දැරූ අතර බ්‍රිතාන්‍ය පාලකයන් සමඟ ද සුහදව වැඩ කළේය. නමුත් කොංග්‍රසයේ ප්‍රබලයෝ බොහෝ දෙනෙක් එක්වී ජයතිලක ඉන්දියාවට තානාපති හැටියට පිටත් කර එම තනතුර වඩාත් තරුණ මෙන්ම සමාජයේ ප්‍රබල ඩී.එස්. සේනානායකට ලබාදුන්නෝය. ජයතිලක හා සේනානායකලා අතර කිට්ටු සම්බන්ධතාවයත් තිබුණ ද ඇෆ්.ආර්. ගේ අකල් මරණයෙන් පසුව එම බැමි ලිහිල් විය. ඩී.එස්. අලුතින් නැඟී එන මිනිසා හැටියට රටේ ප්‍රසිද්ධියට පත් විය.

නමුත් එහි පලවිපාක දැකගත හැකිවූයේ විද්‍යාලංකාර පිරිවෙණ සමඟ සේනානායකගේ ගැටුම තුළිනි. වර්ධනය වෙමින් පැවති ලංකා සමසමාජ පක්ෂය කෙරෙහි වල්පොල රාහුල වැනි උගත් හිමිවරැන්ගේ අවධානය යොමු විය. මෙම ප්‍රශ්නය කළමනාකරණය කිරීමට හැකියාවක් තිබූ  ඩී.බී. ජයතිලක රටේ සිටියේ නැත. ඔහු දිල්ලියට යවා තිබුණි. කැලණිය ආසනයට පත්වූ තරුණ ජේ.ආර්. ජයවර්ධන වැනි අය ඩී.එස්. ගේ උසිගැන්වීම් අනුව විද්‍යාලංකාරයට සතුරු ආකල්පයෙන් සැලකීමට පටන් ගත්තේය. ජයතිලකගේ අනුප්‍රාප්තිකයා ලෙස විද්‍යාලංකාර සභාවට පත් කරන ලද නිකලස් ආටිගලට සංඝයා හසුරුවාගැනීමට නොහැකි විය.

මේ ගැටුමේ ප්‍රතිඵලය වූයේ සංඝයා හා දේශපාලනය පිළිබඳ තම නිර්දේශයන් දෙමින් නිකුත් කරන ලද විද්‍යාලංකාර ප්‍රකාශනයයි. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ එම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියෝය. එ.ජා.ප.යේ අවසානයත් ශ්‍රී.ල.නි.ප.යේ බිහිවීමත් මේ විද්‍යාලංකාර ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සමාජ විද්‍යාඥයන්ට හැඟීගොස් නැත. ඒ අවදියේ ජයතිලකගේ නායකත්වයෙන් කලහකාරී විද්‍යාලංකාර සංඝයා සමඟ ගනුදෙනුවක් වූවානම් එවැනි ගැටුමක් ඇතිවන්නේ නැත. එහෙත් ජාතික කොංග්‍රසය සිය හොඳම තුරැම්පුව වන ජයතිලක ඒ වන විට ඉන්දියාවට පිටුවහල් කර තිබුණි.