2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පතී!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

තිස්ස අබේසේකර, ඩී. බී. නිහාල්සිංහ, වසන්ත ඔබේසේකර, සිරි ගුණසිංහ හා ධර්මසේන පතිරාජ. පසුගිය අවුරුදු දෙක තුළ සිංහල සිනමාවේ ඉහත සඳහන් දෙවැනි පරපුරේ සියලු දෙනාම පාහේ මිය යෑම කණගාටුවට හේතුවක් විය යුතුය. ලෙස්ටර් විසින් අරඹන ලද නව සිංහල සිනමාව හැත්තෑවේ දශකයේ සිට ඉදිරියට ගෙන ගියේ ඒ දෙවැනි පරපුරයි. ඔවුන් විසින් නිපදවන ලද විසි ගණනක් පමණ චිත්‍රපට ගොන්න සිංහල සිනමාවට ජාතික මෙන්ම ජාත්‍යන්තර ගෞරවයක් අත්කර දුනී.

දැනට මාසයකට පමණ පෙර මා මහනුවර ලේක් සයිඩ් රෝහලේ ඇඳක වැතිරි සිටි මා මිත්‍ර පතී හමුවීමට ගියෙමි. එය අප දෙදෙනාගේ අවසන් හමුවයි. “මේ ලෙඩේ බරපතළ එකක් නොවේ. මම ආපසු ගෙදර යනවා” යැයි පතී දැඩි අදිටනින් යුතුව මට කීවේය. ඒ වන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව දොස්තරවරුන් මට පවසා තිබුණි. එසේ නම් පතී මරණය ඉදිරියේ පවා ඔහුට සුපුරුදු සියුම් වදනින් කතා කළේ මා සනසන්නට දැයි යන පැනය මා සිත තවමත් කළඹවයි. 

මා පතී හදුනා ගත්තේ බොහෝ කලකට පෙරයි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස මට පත්වීමක් ලැබිණි. අප අමාත්‍යවරයා වූයේ කැලණියේ ආර්. එස්. පෙරේරායි. ඔහු අමාත්‍යාංශයට පැමිණියේ තම ඡන්ද සටන මෙහෙය වූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමඟයි. ඔවුන් අතර ධර්මසිරි ජයකොඩි, කරුණාසේන ජයලත්, මොහිදින් හා ආරියවංශ පතිරාජ විය. මොවුන් සියලු දෙනාම මීට කලින් ලංකා කොමියුනිස්ට් පක්ෂයට සහයෝගය දුන්න ද සෝවියට් හා චීන පිල අතර ඇති වූ ගැටුමේ දී ඔවුන් චීනයට හිතැති කොමියුනිස්ට් කණ්ඩායමක් බිහි කළෝ ය. මෙම කණ්ඩායමට දක්ෂ කථිකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයක්ව සිටි ප්‍රේමලාල් කුමාරසිරි ද ඇතුළත් විය. 

කොමියුනිස්ට් ලෝකයේ ඇති වූ මෙම බරපතළ ගැටුම නිසා නව මාවතකට එළඹුණු කොමියුනිස්ට්වාදීන් අතර රෝහණ විජේවීර ද විය. දොස්තර වික්‍රමසිංහගේ ආධාර ඇතිව මොස්කව් සරසවියේ උපාධි අපේක්ෂකයෙක්ව සිටි විජේවීර චීන පිලට සහයෝගය දැක්වීම නිසා ආපසු රුසියාවට යෑමට ඔහුට වීසා දීම මෙරට සෝවියට් තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ඉන් පසුව ඔහු ශන්මුගදාසන්ගේ චීන පිලට බැඳි එහි තරුණ  පෙරමු‍‍ණේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුට සෝවියට් වීසා පත්‍රය අහිමි වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වූ කේ. පී. සිල්වා ඔහුට එරෙහිව ඔත්තු සැපයූ නිසා යැයි විජේවීර සැක කළේය. 

1970 දී ප්‍රවෘත්ති අමාත්‍යංශයට එක් වූ  චීන පිලට ලැදි අය අතර අරියවංශ පතිරාජද විය. ඔහු ලංකාදිප වාර්තාකරැ හැටියට සිය වෘත්තීමය ජිවිතය මහනුවරින් අරඹා ධර්මසිරි ජයකොඩි වැනි එම පුවත්පතේ ප්‍රවීණයන් ඇසුරැ කරමින් කොළඹට සංක්‍රමණය විය. ආරියවංශ හැම සති අන්තයේදීම පේරාදෙණියේ ගොඩගන්දෙණියේ පිහිටි ඔහුගේ නිවස බලා පිටත් විය. එකල ධර්මරාජ විද්‍යාලයේ  සිසුවකු වූ ධර්මසේන පතිරාජ ගැන ඔහුගේ ලොකු අයියා වූ ආරියවංශ බෙහෙවින් ආඩම්බර විය. ඔහුගේ බාල සහෝදරයා අප කාර්යාලයට නිතර ආවා ගියේය. එකල වුවද පතී දක්ෂ සිසුවෙක් හැටියට පාසැලේ පිළිගැනිමක් තිබුණි. 

මහනුවර උපන් අයට පේරාදෙණි සරසවිය නුපුරුදු පෙදෙසක් නොවේ. කලින් කල පාසැල් සිසුන් හැටියට අපි පේරාදෙණිය මල්වත්තත් සරසවි භූමියත් නැරඹීමට ගියෙමු. වෙනකක් තබා අප සරසවි පිවිසුම් විභාගය පවා පවත්වන ලද්දේ පේරාදෙණි සරසවියේ ක්‍රීඩාගාරයේයි. සරසවිය මැදින් දිවෙන මහවැලි ගඟ අසබඩ වූ ගොඩගන්දෙණියේ ජීවත් වී සරසවියට තේරුණ පතීට බුද්ධිමය වශයෙන් වෙනස්  විසිතුරු ලෝකයකට ඇතුළත් වීමේ වරම් ලැබුණි. එහිදී ඔහු සාහිත්‍යය, නාට්‍යය, සිනමාව හා දේශපාලනය ගැන විශාල උන්නදුවක් දැක්විය. මහනුවර ලංකාදීප නියෝජිතවරයා හැටියට “මනමේ” පිළිබඳ මුලින්ම විචාරයක් ලීවේ ආරියවංශ පතිරාජයි. එහෙත් ඔහු යල් පැනපු මිණුම් දඬු යොදා ගනිමින් ගැමි නාටකයේ අවසානයේදී මනමේ බිසවගේ කටට නරියා මුත්‍රා කිරීමේ පුවත සරත්චන්ද්‍ර විසින් කපා හැරීම ගැන දැඩි විවේචනයක් ලංකාදීප පුවත්පත මඟින් එල්ල කළේය. ධර්මසේන පතිරාජ සිය සහෝදරයාගේ චිචාර ක්‍රමය අනුමත කළේ නැත. ඔහු සරච්චන්ද්‍රගේ අදහස් පමණක් නොව සරසවිය තුළ තිබූ නිදහස් අදහස් පිරි වාතාවරණය මැනවින් ප්‍රයෝජනයට ගත්තේය. පේරාදෙණිය සිනමා කවයේ සභාපති ලෙස මම වරක් කටයුතු කළෙමි. එපමණක් නොව එකල මම සිනමාව පිළිබඳ සඟරාවක් ද පළ කෙළෙමි. ගාමිණි හත්තොටුවගම, නෙවිල් ද සිල්වා වැනි විචාරකයින්ගේ අදහස් එකල එම සගරාවේ පළ කරන ලදී. කාලාගාරයේ ප්‍රදර්ශනය කරන ලද උත්තම ගණයේ චිත්‍රපට පිළිබඳව විචාර ලියා අප මහත් ආස්වාදයක් ලැබුවෙමු. ඉන් වසර ගණනකට පසුව පතී සහ ඔහුගේ සරසවි මිතුරන් කිහිපදෙනෙක් එක් වී එම සිනමා සංගමය නැවතත් පණ ගැන්වූවෝය. මේ කාලයේ ඔහු සරසවි මිතුරන් දෙදෙනෙක් සමඟ “ හන්තානේ කතාව” තිර නාටකය සකස් කළේය.  සරසවි ජිවිතය පිළිබඳ මෙරට තරුණ පෙළ තුළ ප්‍රසන්න හැඟුම් ඇති කිරීමට මේ චිත්‍රපටය බෙහෙවින් උපකාරී විය. එමෙන් ම එම තරැණ පරපුරේ සංකේතයක් හැටියට විජය කුමාරණතුංග සිංහල සිනමාවට එක් විය. පතී සහ විජය අතර කිට්ටු සම්බන්ධතාවයක් විය. විජය කුමාරණතුංග සිංහල චිත්‍රපට නරඹන්නන්ගේ සිහින කුමරා බවට පත් කිරීමට පතී ද උපකාරී විය. වාමවාදි අදහස් දැරුවද පතී පංති සටන නිරූපණය කිරීමට චිත්‍රපට නිර්මාණය කළේ නැත. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඊට වෙනස් දෙයකි. මානුෂික හැඟීම් තුළින් ජිවිතය දෙස බැලිය හැකි අයුරු ඔහුගේ නිර්මාණ නිරායාසයෙන්ම පිළිබිඹු කරයි. මානුෂික එළඹුමක් තුළින් පතී ලොව දකින අයුරු කෙරෙහි ඔහුගේ වාමවාදි පසුබිම ද වැදගත් සාධකයක් වන බව සැබෑවකි. ඔහු සමාජය දකින්නේ බලවතා හා ධනවතා විසින් අහිංසකත්වය හා අව්‍යාජත්වය තලා දමන නිර්මිතයක් හැටියටයි. පතීගේ චිත්‍රපට නැරඹීමෙන් අප සමාජයේ කුරිරු බව නිසා පීඩා විඳින චරිත තුළ ධෛර්යය, අනුකම්පාව හා ජීවිතයට ඇති ආදරය කුළුගන්වන ජීවන හර සමුදායක් ඇති බව අපට සියුම් ලෙස අවබෝධ කරවයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00