තිබෙන්නේ පුංචි ඡන්දයක් නම් හදන්නේ ගමේ ආණ්ඩු නම් කතා කළ යුත්තේ ඒ ඒ ඡන්දබල ප්‍රදේශවලට බලපාන කරුණු සම්බන්ධයෙනි. එහෙම වුණත් කතා කෙරෙන්නේ ආණ්ඩු වෙනස් කිරීම් ගැනය. පක්ෂ නායකයන්ගේ හොඳ නරක ගැනය. ඡන්දෙන් පස්සේ රටේ පාලන බලය තම අතට ගන්නා බවට සිදු කෙරෙන ගෝරනාඩුය. ගමේ ඡන්දය අමතක කොට ආණ්ඩුවේ විපක්ෂයේ ලොකු ලොක්කන් ගැන එකිනෙකා බැණ අඬගසාගන්නා තත්ත්වයකට ඡන්ද වේදිකාව සකස් වෙන්නේ ඇයි? ඒ ගැන සොයා බලන්න නම් පසුගිය දින දෙක තුන තුළ ජනධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කතා ගැන අවධානය යොමු කළ යුතුය.
“දූෂිත ප්‍රභූන්ගේ සන්ධානය එකතු වෙලා සාකච්ඡා කරලා බැඳුම්කර හා වංචා විමර්ශන කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය මැතිවරණයෙන් පසුවට කල් දා ගත්තා. පුළුවන් නම් පෙබරවාරි දහවැනිදාට පෙර මේ වාර්තා දෙකම විවාදයට ගන්න කියා මම අභියෝග කරනවා”
- පානදුරදී 25 වැනිදා
“මා දුර්වල නොකර හොරැන්ට, වංචාකාරයන්ට දඬුවම් දීමට අවශ්‍ය ශක්තිය දෙන්නැයි මා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා”
- මහනුවරදී 22 වැනිදා
“මේ රටේ ආර්ථිකය හදන්න එක්සත් ජාතික පක්ෂයට බාර දී වසර තුනක් බලා සිටියත් වැඩක් වුණේ නැහැ. ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වගකීම මේ වසරේ සිට මම භාරගන්නවා.”
- කෑගල්ලේදී 20 වැනිදා
“මහබැංකු බැඳුම්කර කොල්ලයේ හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් කිරීම සඳහා ඔපරේෂන් ටූ ආරම්භ කළා”
- ඇලිපිටියේදී 17 වැනිදා
සතියක හමාරක කාලයක සිට ජනාධිපතිවරයා තමන්ගේ කතාව වේගවත් කර තිබෙන බව එම ප්‍රකාශවලින් පැහැදිලිය. මුලින් දිගටම යූ.එන්.පී.යට වදින සේ වේගවත් කතා කිහිපයක් කළ ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (25) පානදුරේදී කළ කතාවෙන් යූ.එන්.පී.යත් රාජපක්ෂලාත් එකට තබා පහර දුන්නේය. දෙපැත්තෙම ප්‍රභූ හොරුන් එකතු වෙලා බැඳුම්කර - දූෂණ විවාදය කල් දාගත් බවට චෝදනා කළ ජනාධිපතිවරයා පුළුවන් නම් ඡන්දෙට කලින් මේ වාර්තා දෙකම විවාදයට ගන්නැයි අභියෝගයක් ද කළේය. කලින් විවාදයක් ඉල්ලා කෑගැසූ මිනිස්සුන්ට ඊට පස්සේ මොකද වුණේ යැයිද ඔහු ප්‍රශ්න කළේය. “මේ දෙගොල්ලොම කියනවා මේක මැතිවරණයෙන් පස්සේ ගනිමු කියලා. ඇයි මේ... වීදුරුවට වතුර දැම්මා වගේ පැහැදිලියි හොරු කවුද කියලා. මේක ඉදිරිපත් කළා නම් විවාදයට ගත්තා නම් දෙගොල්ලන්ගේම ඇඳුම් බුරුල් වෙනවා. ඒකයි මේක කල් දාගත්තේ...” ජනාධිපතිවරයා කියා තිබුණි.
ජනාධිපතිවරයා කියන “මේ දෙගොල්ල” කවුද? විවාදයට ගියානම් ඇඳුම් බුරුල් වෙන්නේ කාගේද?
මේ දෙගොල්ලන්ගෙන් එක ගොල්ලක් නම් යූ.එන්.පී.ය බව පැහැදිලියි. යූ.එන්.පී.ය තම කැම්පේන් එක ආරම්භ කළ මහනුවරටම ගොස් තමා දුර්වල නොකර හොරුන්ට දඬුවම් දීමට ශක්තිය දෙන්නැයි කියා ජනාධිපතිවරයා අගමැතිගෙන් ඉල්ලුවේ හොරුන් සහ දූෂිතයන් යූ.එන්.පී.යේද ඉන්නා බව නොකියා කියමින් බව පැහැදිලිය. එතකොට කවුද මේ අනෙක් “ගොල්ල”? වෙනින් කවුරැවත් නොව මහින්ද රාජපක්ෂ කඳවුරය. අගමැති රනිල්ගෙන් කෙළින්ම ශක්තිය ඉල්ලන ජනාධිපතිවරයා මහින්දගෙන් කිසිම ශක්තියක් ඉල්ලන්නේ නැත. එහෙත් කියන්නේ විවාදයක් ගත්තා නම් දෙගොල්ලන්ගේම රෙදි ගැලවෙන බවය. ඒ කියන්නේ මහින්දගේ වටේ ඉන්න අය අතරේත් හොරැන් වංචනිකයෝ සිටින බවය. ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට තමන්ට අවශ්‍ය වුණත් කඳවුරු බැඳගෙන තම තමන් ආරක්ෂා වීමට විවාදය කල් දමාගත් බවය.
ජනාධිපතිවරයා මේ කියන්නේ යූ.එන්.පී.යත් මහින්දලාත් අතර “ඩීල්” එකක් තිබෙන බවද? ප්‍රභූ හොරුන් එකතුවුණා කියන්නේ යූ.එන්.පී.යේ ලොකු ලොක්කන් සහ මහින්දගේ වටේ සිටින ලොකු ලොක්කන් කිහිප දෙනකු එකට එකතු වී තමන්ගේ නායකත්වයට අභියෝග කිරීමට සැරසෙන බවද? ජනාධිපතිවරයාගේ වේගවත් කතාවලින් පෙනෙන්නේ එසේ සිතීමට කාරණා ඇති බවය.
ඡන්දයක් ආසන්න වනවිට විවිධ දේශපාලන පෙරළි බලාපොරොත්තු විය යුත්තකි. නමුත් දැන් තිබෙන ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද “හයිබ්‍රිඩ්” වීම නිසා පෙරළි සිදුවන්නේ ද අමුතු අමුතු අන්දමට බව පැහැදිලිය. නැත්නම් මෙතෙක් එකට ආණ්ඩුව ගෙනගිය පාර්ශව දෙක අතර බරපතළ මත ගැටුම් ඇතිවීමටත් යූ.එන්.පී.යට අදාළ බැඳුම්කරය සහ මහින්ද පාර්ශවයට අදාළ බරපතළ දූෂණ කොමිසම යන විවාද දෙකම කල් දමා ගැනීම ජනාධිපතිවරයාගේ උදහසට ලක්වීමටත් හේතුවක් නැත.
කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මේ කතාව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු දිනේෂ් ගුණවර්ධන ඊට පසුදිනම ප්‍රතික්ෂේප කළේය. ඔහු ප්‍රකාශ කර තිබුණේ එවැනි එකඟත්වයක් නිසා නොව පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් තීන්දුවක් අනුව විවාදය කල් දැමීමට කැමැති වූ බවය.
ජනාධිපතිවරයා කොතරම් වැර යොදා පහර එල්ල කළත් යූ.එන්.පී. නායකයා ඊට වෙනත් මගක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. ඔහු පසුගිය දිනවල පන්සල් වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් උත්සව ගණනාවකට සහභාගී විය. ඒ ස්ථානවලදී ඔහු දේශපාලන කතාබහ සිදුකළේ තෝරා බේරාගෙනය. ගම හදන වැඩ, සංවර්ධන යෝජනා ක්‍රම, ආර්ථික සමෘද්ධිය වැනි කතා කරනවා හැර අගමැතිවරයා පවතින ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පාර්ශවයට හෝ වදින විදිහට කතා කරන්නේ නැත. හොරුන්, වංචාකරුවන් අල්ලාගැනීමට අගමැති ශක්තිය තමන්ට ඕනෑ යැයි ජනාධිපතිවරයා පවසනවිට අගමැතිවරයා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් තමනුත් ඇමැති මණ්ඩලයත් රටේ විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කරන බවය. 1948 සිට රටේ සංවර්ධනය ඇති වූයේ එ.ජා.ප.ය නිසා බවද දැන් රටේ ආර්ථිකයේ ස්ථාවර බව ඇතිකර තිබෙන බවද අගමැති කියයි.
ජනාධිපතිවරයා හොරුන් සහ වංචාකාරයන් ගැන කියද්දී අගමැතිවරයා වෙහෙර විහාර දියුණු කිරීම ගැනත් ආර්ථිකය නගා සිටුවීම ගැනත් කතා කරන්නේ ඇයි? බොහෝ වෙලාවට ඊට හේතුව පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ඡන්දය අදාළ වෙන්නේ පළාත් පාලනයට වුවත් මේ දෙදෙනා නායකත්වය දෙන පක්ෂ දෙකටම එහි ප්‍රතිඵලය විශාල බලපෑමක් ඇති කිරීමට ඉඩකඩ තිබෙන නිසාය. ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප.යට මුලසිටම තිබූ අවාසිදායක තත්ත්වයෙන් ගොඩ ඒමට ඡන්ද වේදිකාව සැරටම යොදා ගනිමින් සිටියි. අගමැතිවරයා ඡන්දයේ ප්‍රතිඵලයෙන් යූ.එන්.පී.යට විශාල වාසියක් අත්වනු ඇතැයි සිතා ඉන්පසුව බැඳුම්කරය වැනි බරපතළ චෝදනාවලට පිළිතුරු දීමට කාලය බලමින් සිටියි. මේ දෙදෙනාගේම අරමුණු ඒ ආකාරයටම ඉටුවේ දැයි හරියටම බලාගත හැකිවන්නේ ඡන්දයේ ප්‍රතිඵල පැමිණීමෙන් පසුවය.
මහින්ද පිලේ අරමුණු ඡන්දය ප්‍රකාශයට පත්වීමට පෙර සිටම පැහැදිලි විය. ආණ්ඩුවේ ඇතුළත ගැටුම් සහ අකාර්යක්ෂමභාවයත් බැඳුම්කර වංචාවට අදාළ චෝදනාත් මහින්දලාගේ පොදුජන පෙරමුණට යළි බලය අල්ලාගැනීමේ මාර්ගයක් විවර කර තිබෙන බව පැහැදිලිය. පොදුජන පෙරමුණේ නායකයා ජී.එල්. වුවද ඔහු නමට පමණක් නායකත්වය දරණ අතර මහින්ද එම පෙරමුණේ සැබෑ නායකයා බවට විවාදයක් නැත. බැසිල් පොදුජන පෙරමුණේ ඉදිරිපෙළින් සිටියත් ඔහු වැඩකරන්නේ යටි පෙළේ සිටය. රටපුරා මාස කිහිපයකින් පොදුජන පෙරමුණ ශක්තිමත් ලෙස සංවිධානය වූයේ බැසිල්ගේ මෙහෙයවීම නිසා බව කාගේත් පිළිගැනීමය. ඔහුට රටේ ජනප්‍රියකමක් නැත. පක්ෂය ඇතුළේත් තත්ත්වය එසේමය. එසේ වුවත් ඔහු නැත්නම් පොදුජන පෙරමුණක්ද නැත යන්නට විරුද්ධ වන කිසිවකුත් නැත.
කෙසේ වුවද ආණ්ඩුව වෙනස් කර තමන්ට යළි බලයට පැමිණීමට මාර්ගයක් වශයෙන් පුංචි ඡන්දය යොදාගන්නැයි මහින්දලාගේ පක්ෂය විසින් කරන ලද ඉල්ලීම් වලට දැන් අගමැතිගේ යූ.එන්.පී.යෙන් කෙසේ වෙතත් ජනාධිපතිගේ ශ්‍රීල.නි.ප.යෙන් නම් ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් තිබෙන බව පැහැදිලිය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රටේ කොතරම් ලොකුවට කතා කළත් මහින්දලාට එයින් වාසියක් මිස අවාසියක් නැත. එහෙම වුණත් බරපතළ වංචා විමර්ශනවලට අදාළ කොමිෂන් වාර්තාව කරළියට ඒමත් එය පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු යැයි යෝජනාවීමත් මහින්දලා බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. බැඳුම්කරයෙන් යූ.එන්.පී.යට වදින විටත් ආකාර්යක්ෂම, කිසිම සංවර්ධන වැඩක් නොකිරීම, වැනෙන සුළු තීන්දු තීරණ ගැනීම වැනි කාරණා හේතුවෙන් ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. පාර්ශ්වයට වදින විටත් එහි වාසිය ලැබෙන්නේ මහින්දලාටය. නමුත් බරපතළ වංචා වාර්තාව එළියට පැමිණීමත් සමඟ මහින්දලාට ඒවාට උත්තරදීමට සිදුවීම වැළැක්විය නොහැක. එම වාර්තාවෙන් චෝදනා එල්ල වෙන්නේ මහින්දලාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සෙසු පිරිස්වලට වීම ඊට හේතුවයි.
බරපතළ වංචා දූෂණ ප්‍රථම නඩු දෙක පසුගිය බ්‍රහස්පතින්දා (25) කොළඹ මහාධිකරණය හමුවේ පැවැරෙන්නේ මේ පසුබිම යටතේය. කොමිසමේ නිර්දේශ මත මුල්ම නඩු දෙක හිටපු ධීවර කටයුතු ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහිව පවරා තිබේ. විත්තිකරුවන් පොදු දේපළ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇතැයි අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ. මීට වඩා මහින්දලාගේ බලාපොරොත්තුවලට වදින පහරක් වන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට කර ඇති දැනුම්දීමය. මෙයද සිදුවූයේ 25 වැනිදාමය.
තංගල්ල, වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූවා යැයි කියන මූල්‍ය වංචා සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හත් දෙනකු ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි නීතිපතිවරයා උපදෙස් දී ඇති බවට එම දැනුම්දීම කර තිබේ. ගෝඨාභය අත්අඩංගුවට ගැනීම පිළිබඳ ආරංචිද පැතිරුණු අතර ඇපැල් උසාවිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීම පෙබරවාරි 15දා තෙක් වළක්වමින් අතුරු තහනම දික්කර තිබේ. මේ කාරණාද පොදුජන පෙරමුණේ ඉදිරි ගමනට බලපෑම් ඇති කරන බව පැහැදිලිය.
පුංචි ඡන්දයක් මේ තරම් තීරණාත්මක වූ අවස්ථාවක් මෙරට දේශපාලනයේ මින් පෙර තිබී නැත. ඒ අනුව පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලය රටේ විශාල දේශපාලන පෙරළියකට මුල පිරීමක් වීමට හොඳටම ඉඩ තිබේ. හැබැයි මේ පෙරළිය මෛත්‍රීපාල, රනිල්, මහින්ද තිදෙනාම හිතන ආකාරයට සිදු නොවීමට ඇත්තේ වැඩි ඉඩකඩකි.
ශශීන්ද්‍ර