අපේක්ෂකයන්ගේ පැටිකිරිය හොයයි
පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයන්ගේ පැටිකිරිය රටේ ප්‍රබල මාතෘකාවක් වී තිබේ. පාතාලයේ කෙරුම් කාරයන්ගේ නම් ගම්ද ඇතැම් අපේක්ෂක ලැයිස්තුවල තිබූ බවටද චෝදනා එල්ල විය. සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා වාර්තා කර තිබුණේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයන්ගේ වංහුං සොයා බලන ලෙසට මැතිවරණ කොමිසම මගින් දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබෙන බවය. ඔවුන්ගෙන් කිසිවකුට හෝ අපරාධ චෝදනා එල්ල වී තිබේදැයි සොයාගැනීම එහි අරමුණය.
කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර තිබුණේ ඒ සමඟම මැතිවරණයට ඉදිරිපත් වන හිටපු රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීතියට අනුව කටයුතු කරන්නේදැයි සොයා බලන බවය.
නව පළාත් පාලන අධිකාරි පනත යටතේ සමෘද්ධි නිලධාරීන් හෝ එවැනි වෙනත් නිලධාරීන් තමන් ඡන්දයට ඉදිරිපත් වන ප්‍රදේශයේ අවම වශයෙන් වසරකට නොඅඩු කාලයක් රාජකාරි නොකර සිටීම එවැනි එක් නීතියකි. රාජ්‍ය සේවා මාණ්ඩලික නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වී සිටින්නේ නම් එසේ කළ යුත්තේ එක්කෝ සේවයෙන් ඉවත් වීමෙන් පසුවය. නැතහොත් වැටුප් රහිත නිවාඩු ලබාසිටිය යුතුය. මේ නීති උල්ලංඝනය කරන එක් ඡන්ද අපේක්ෂකයකු හෝ සිටින්නේදැයි පරීක්ෂා කිරීමට මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සන්ඩේ ටයිම්ස්
නඩු 7,50,000ක් ගොඩගැහිලා
ලංකාවේ නඩු විභාග ප්‍රමාදය පුපුරණ තරම් ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් සංඛ්‍යා ලේඛන ඒ පිළිබඳව භයානක චිත්‍රයක් පෙන්වා දී ඇත. දීර්ඝකාලීන ක්‍රියාපටිපාටි හේතුවෙන් රටේ නඩු මඟට බැස සිටින පුද්ගලයන්ට සාධාරණය ඉටුවීම ප්‍රමාද වෙන සහ අහිමිවෙන ආකාරය එමගින් අනාවරණය වෙයි.
අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 2016 සැප්තැම්බර් මාසය වන විට ගොඩගැසී තිබූ නඩු සංඛ්‍යාව 7,50,000 ක් පමණ විය. ඉන් වැඩිම සංඛ්‍යාව වන 5,35,000ක්ම මහේස්ත්‍රාත් අධිකරණවල ගොඩගැසී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ 3486ක්ද, ඇපැල් උසාවියේ 5890ක්ද, සිවිල් අභියාචන මහාධිකරණවල 5890ක්ද, මහාධිකරණවල 16,811ක්ද, දිස්ත්‍රික් උසාවිවල 1,67,945ක්ද, කම්කරු උසාවිවල 5048ක්ද වශයෙනි. ක්වාසී මණ්ඩල සහ අධිකරණවලට 175 ක් සහ 5,376 ක් වශයෙන් නඩු ගොඩගැසී තිබේ.
සන්ඩේ ටයිම්ස්
බැඳුම්කර වාර්තාවේ කෑලි හැලිලා!
බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබානුදුන්නේ යැයි කැෆේ ආයතනය චෝදනා කරයි. එම වාර්තාවේ ඉතිරි කොටස් පාර්ලිමේන්තුවට ලබාදීම සහතික කරන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කතානායකගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
සලකුණු කරන ලද ලේඛන සහිත වෙළුමද පටිගත කරන ලද සාක්ෂි ඇතුළත් වෙළුමද ඉදිරිපත් කර නැති බව ඔහු ප්‍රකාශ කරයි. මගේ ගණනය කිරීම් අනුව මේ සම්පූර්ණ වාර්තාවේ පිටු 10,500 ක් පමණ තිබිය යුතුයි. එහෙත් පාර්ලිමේන්තුවට ලබාදී ඇත්තේ පිටු 1250 ක් පමණයි තෙන්නකෝන් මහතා කියයි. වාර්තාව සම්බන්ධයෙන් සාධාරණ සහ විස්තරාත්මක තීන්දුවකට එළඹීම සඳහා මන්ත්‍රීවරුන්ට එම වෙළුම් දෙක තීරණාත්මක බව තම අදහස යැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඩේලි එෆ්.ටී.