යහපාලන ආණ්ඩුවට අද (08)ට හරියටම වසර දෙකකි. තමන් පැමිණි මඟ කොහොමදැයි සොයා බලන්නට ආණ්ඩුවේ නායකයන්ට මෙය හොඳම අවස්ථාවක් බව බොහෝ දෙනා කියති. එසේ සිතති. හැබැයි ආණ්ඩුවේ නායකයනුත් එහෙම හිතනවාද? එහෙම හිතලා හිත් හදාගන්න පුළුවන් තත්ත්වයක ඔවුන් ඉන්නවද?
බැලූ බැල්මට නම් පෙනෙන්නේ එහෙම හිතාගන්න පුළුවන් තත්ත්වයක අද ආණ්ඩුව නැති බවය. සමහර දේශපාලන විචාරකයන්ගේ මතය එය වී තිබේ. තවත් සමහරුන් කියන්නේ බරපතළ ගැටලු විසඳීමකින් තොරව රටට ලබාදුන් ප්‍රජාතාන්ත්‍රික නිදහස හේතුවෙන් ආණ්ඩුව වැඩේ අල හොද්දක් කරගෙන ඇති බවය. මුලින් කරන්නට තිබුණු වැඩ පස්සට තබාගෙන වැඩේ අනාගෙන සිටින බවය.
මොනවද මේ මුලින්ම කරන්න තිබුණු වැඩ?
මේ ගැන සොයාගන්න මෛත්‍රීපාලගේ ඡන්ද පොරොන්දු දෙස එකවරක් බැලීම සෑහෙයි. දින සියයේ පොරොන්දු මල්ල ලිහා බැලීම සෑහෙයි. නමුත් ආණ්ඩුවේ නායකයන් නම් ඒවා දෙස නිකම්වත් ඇස් ඇර බලන්නේ නැති බව වසර දෙකකට පසුව පෙනෙන්නට තිබෙන සත්‍යයයි.
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා මේ ආණ්ඩුව බලයට පත් කිරීමේදී ජනතාව දැමූ එක් කොන්දේසියක් වූයේ මහා පරිමාණ සොරකම් කළ දේශපාලනඥයන්ට, ඔවුන්ගේ පවුල්වල සිටිමින් සහාය දැක්වූවන්ට, ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. වසර දෙකකට පසුව ඒ ගැන කතා කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පැවැසුවේ හොරුන් අල්ලා නීතිය ඉදිරියට පැමිණවීමේ පොරොන්දුව ඉටු කිරීම, දුම් දාගෙන එළිය ටිකක් පත්තු වෙමින් ඉහළ ගොස් පත්තු නොවී බිම වැටුණු අහස් ගුණ්ඩුවක් වැනිවූ බවය. වරින් වර, තැනින් තැන සමහරුන් අත්අඩංගුවට පත්වුවද, සති දෙක තුන රිමාන්ඩ් කෙරුණද ඒවායින්ද සිදුවූයේ ආණ්ඩුවට ලකුණු වැටීමට වඩා චෝදනා ලැබූවන්ට හොඳ දේශපාලන පන්නරයක් ලැබීම බව සමහරුන් කියන්නේ නිකම් නොවේ. අද ආණ්ඩුව කුමක් කරන්නට ගියද ඒකාබද්ධ විපක්ෂයේ හඬ වඩාත් බලවත්ව නැගී ඒමට එයද හේතුවක් බව සමහරුන්ගේ මතය වී තිබේ.
මීට අමතරව රට ගිලගනිමින් තිබූ අධික ණය බරින් රට මුදාගැනීමද බොහෝ දෙනාට දැන් සිහිනයක් පමණක් වී තිබේ. රටේ වත්මන් ආර්ථිකය ගැන විග්‍රහයක් කළේ පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාය.
රටේ ආර්ථිකය දැඩි සත්කාරක ඒකකයක ට නොගියද පැහැදිලිවම රෝහල්ගත ව සිටින බවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා කළ එම සඳහන කරළියේ කතාබහට ලක් විය. මුල්‍ය අරමුදලේ ණය සැපයුම රටේ ආර්ථිකයට ඔහු සම්බන්ධ කළේ ඒ ආකාරයටය. නව වසරේ ආර්ථික ගමන් මඟ සම්බන්ධයෙන් මහ බැංකු මාර්ග සිතියම ඉදිරිපත් කළ අවස්ථාවේ කුමාරස්වාමි එසේ සඳහන් කර තිබිණි. එසේම රුපියල ආරක්ෂා කිරීම එතරම් බුද්ධිගෝචර ක්‍රියාවක් නොවන බවද කියා තිබූ මහ බැංකු අධිපතිවරයා රුපියල අවප්‍රමාණ වීමේ අයහපත් ප්‍රතිඵල මෙන්ම යහපත් ප්‍රතිඵලද තිබෙන බවත් සඳහන් කර තිබුණේය. සමස්තයක් වශයෙන් රටේ ආර්ථික වර්ධන වේගය ශුභවාදීව පවත්වාගෙන යාමට හැකිවන බවට ඔහු විශ්වාසයද පළ කළේය.
ආසියාවේ සියවස යනුවෙන් හැඳින්වෙන වත්මන් කාලයේ ඇෆ්ගනිස්ථානය හැරුණු විට මුල්‍ය අරමුදලේ ණය මත යැපෙන එකම රට ශ්‍රී ලංකාව බැවින් කුමාරස්වාමි මේ රෝහල් කතාව කියා තිබිණි.
ආර්ථිකය පිළිබඳව මේ චිත්‍රය මවද්දී ජනාධිපති මෛත්‍රීපාලත් අගමැති රනිලුත් සිටියේ කුලියාපිටියේ ලබුයායේ වොක්ස් වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උළෙලට සහභාගි වෙමිනි. එහි ආයෝජනය ඩොලර් මිලියන 26.5ක් බවද ප්‍රකාශ විය. මේ අවස්ථාවට ජනපති සහ අගමැති සමඟ රවි කරුණානායක, මලික් සමරවික්‍රම සහ අකිල කාරියවසම් ඇමැතිවරුන්ද සහභාගි වී සිටිනු දැකිය හැකි විය. එම ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හවුල්කරු වන නොයෙල් සෙල්වනායගම්ද එහි සිටියේය.
කෙසේ වුවද මෙම ආයෝජනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් කීපදෙනකුම සඳහන් කර තිබුණේ විදෙස් රටක් සමඟ ගිවිසුම්ගතව සිදුවන අයෝජනයක මුල්ගල තැබීමේ ආරම්භක උත්සවයට එම රටේ තානාපතිවරයා හෝ එම රට නියෝජනය කරමින් පැමිණෙන විශේෂ අමුත්තකු සහභාගි වීම සිරිතක් බවය. බොහෝ විට තානාපතිවරයා සහ විශේෂ රාජ්‍ය අමුත්තන් යන දෙපාර්ශ්වයම නියෝජනය කරන බවය. නමුත් මේ අවස්ථාවට වොක්ස් වැගන් සමාගම නියෝජනය කරන ජර්මනියේ තානාපති හෝ වෙනත් නිලධාරියකු හෝ සහභාගි වී සිටියේ නැත. එසේම මෙවැනි අවස්ථාවක සිටිය යුතු විදේශ ඇමැතිවරයා හෝ එහිදී දකින්නට නොසිටි බවත් මේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහිදී අගමැතිවරයා කතාවක් කළද ජනාධිපතිවරයා කිසිදු කතාවක් කළේ නැත. ජනතාව ඇමැතීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව පිළිබඳව හොඳ තක්සේරුවක සිටින එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් මාධ්‍ය මිතුරකුට පවසා තිබුණේ මෙවැනි උත්සවයකදී ජනාධිපතිවරයා කිසිදු කතාවක් නොකිරීම විරල සිදුවීමක් බවය.
ඒ සමඟ ජර්මනියේ වොක්ස් වැගන් මෝටර් රථ සමාගමේ කිසිදු ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ සිදු නොකළ බවට එම සමාගම ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයත් සමඟ රජය මහත් අසීරුවකට පත් විය. මේ ආයෝජනය වොක්ස් වැගන් යැයි එදින කුලියාපිටියේදී සිදුකළ කතාබහවල කොතැනකවත් සඳහන් නොවුණු බව සත්‍යයක් වුවද මාස ගණනාවක් තිස්සේ රජය කියා තිබුණේ කුලියාපිටියේ ඉදිවෙන්නේ වොක්ස් වැගන් කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් බවය. කම්හලට මුල්ගල් තැබීම ආසන්නව සිදුකළ පූර්ව ප්‍රචාරයේදී රජය සඳහන් කළේ මෙහි එකලස් කරන වොක්ස් වැගන් කාර් වසර තුනක කාලයක් යනතුරු පිටරට යවන බවත් ඉන්පසුව මෙරට සඳහා කාර් නිපදවන බවත්ය.
වොක්ස් වැගන් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිතයා වන්නේ සෙනොක් ඔටෝමොබයිල්ස් ආයතනයයි. අමෙරිකානු ඩොලර් මිලියන 26.5ක් කුලියාපිටියේ කම්හල සඳහා ආයෝජනය කෙරෙන බවද ප්‍රකාශ විය. වොක්ස් වැගන් සමාගම එන්නේ නැත්නම් මේ ආයෝජනය සිදුකරන්නේ කවුදැයි ඊළඟට මතුවන ගැටලුවය.
ආණ්ඩුව මේ ගැටලුව සම්බන්ධයෙන් ඉතා පරෙස්සමෙන් පිළිතුරු සැපයිය යුතු බව නම් පැහැදිලිය. කොතරම් වැඩ කළත් ජනතාවගේ ඇස නිතරම යොමුවන්නේ නොකෙරුණු වැඩේට බව ආණ්ඩුව නොදැන සිටීමට හේතුවක් නැත. අනෙක් අතට සමාජ මාධ්‍යද ඇතුළු සියලු මාධ්‍ය ප්‍රසාරණය වී තිබෙන ආකාරය අනුව රටේ ජනතාව ගොනාට ඇන්දවීම නම් පහසු නැත.
මේ අතර මහ බැංකු අධිපතිගේ රෝහල් කතාව මුදල් ඇමැති රවීගේ ප්‍රෙෂර් එක වැඩි කර වූ බවක්ද පෙනෙන්නට තිබේ. කුමාරස්වාමිට උත්තර දීම සඳහා රවී මුදල් අමාත්‍යංශයේදී ඊට පසුදාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔහුට තදින්ම දොස් පැවැරුවේය. මහ බැංකුවේ තවමත් මහින්දලාගේ සහ කබ්රාල්ලාගේ හෙංචයියන් ඉන්න බවද රවී එහි දී කිව්වේය.
රවී මෙසේද සඳහන් කළේය.
මහ බැංකුවේ වර්තමාන අධිපතිතුමා කියලා තියෙනවා. රටේ ආර්ථිකය අසාධ්‍ය තත්ත්වෙක තියෙන කතාවක්. ඔව් මහින්ද රාජපක්ෂ අපට බාරදෙන කොට ආර්ථිකය අයි.සී.යූ. එකේ තිබුණේ. ඒ කාලෙ වර්තමාන අධිපතිතුමත් ඉස්පිරිතාලේ ඇටෙන්ඩන් කෙනෙක්. ඒ නිසා ඔහුත් වගකියන්න ඕනේ. අපි අමාරුවෙන් අයි.සී.යූ. එකේ හිටපු ලෙඩා වාට්ටුවට දා ගත්තා. ඒ ලෙඩා ඕ.පී.ඩී.එකට ගේන්න තමයි උත්සාහ කරන්නේ. මහ බැංකු අධිපතිගේ මේවගේ කතාවලට පිළිතුරැ දීමට මට වගකීමක් තිබෙනවා.
රවී එතැනදී තවදුරටත් කියා තිබුණේ ජනාධිපතිවරණයට පෙර දවසේ එනම් 2015 ජනවාරි 07 වැනිදා මහ බැංකුවෙන් මුදල් ගෙනගිය හැටි දැක්වෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන සහ ෆයිල්වල තොරතුරු තමන් සතුව තිබෙන බවය. ඒවා අවශ්‍ය වෙලාවට එළියට දමන බවද ඔහු කිව්වේය.
මේ අතර ආණ්ඩුව විශාල ප්‍රසිද්ධියක් ලබාදී හම්බන්තොට වරායට ගෙන එන්නට සූදානම් කළ ආයෝජනයන්ද එතැනම ඇනහිට ඇති බවක් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවට වසර දෙකක් පිරෙන අද (08)ට දිනකට පෙර උත්සවාකාරයෙන් ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් හැදුවද පසුගිය බදාදා (04) වනවිට දැනගන්නට ලැබුණේ එය සති කීපයකින් කල්ගිය බවය. නමුත් හම්බන්තොට වරාය ශ්‍රී ලංකා - චීන හවුල් ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යෑමේ සමාරම්භක උත්සවයක් එදින සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා චීන රජය නියෝජනය කරමින් කිසිවකු හෝ සහභාගී වන්නේදැයි සිකුරාදා සවස් වනතුරු දැනගන්නට ලැබුණේ නැත. රජය රටින් පිටත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් අතට හරවා ගත්තද රට ඇතුළේ කටයුතුවලදී ආණ්ඩුව ඇතුළත පමණක් නොව තානාපති අංශ සමඟද අවුල් ඇතිකර ගන්නා ස්වභාවයක් පෙනෙන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (05) කළ ප්‍රකාශය ආණ්ඩුව ඇතුළේ ඇති ගැටුම එළියට ආ අවස්ථාවක් විය. ජනාධිපතිවරයා මේ කතාව කිව්වේ ගුවන් විදුලි සංස්ථාවේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයේදීය. ඔහු එහිදී කිව්වේ හම්බන්තොට වරාය හෝ එම ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කිරීම පිළිබඳව හෝ තවම කිසිදු ගිවිසුමක් සකස් කර නැති බවය. තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවත් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ඇගයීම් වාර්තාවත් මෙතෙක් එළිදක්වා නැති බවද කියූ ජනාධිපතිවරයා මේ මස 7 වැනිදා අත්සන් කිරීමට කිසිදු ගිවිසුමක් සකස් කර නැති බවත් කීවේය.
ජනාධිපතිවරයා මෙසේ කිව්වද අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ චයිනා මර්චන්ට්ස් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් හම්බන්තොට වරාය පවත්වාගෙන යාම සඳහා ගිවිසුම 07 වැනිදා අත්සන් කරන බවය. ජනාධිපති කියන්නේ එහෙම අත්සන් කිරීමට ගිවිසුමක් නැති බවය. ආණ්ඩුවේ මැති ඇමැතීන් ගෙන් මෙසේ එකිනෙකට පරස්පර අදහස් දැන් ටික කාලයක සිට එළියට එමින් තිබේ. එසේ වුවද පාර්ශව දේකේ නායකයන් දෙදෙනාගේ අදහස් පරස්පරව ප්‍රසිද්ධියේ ගැටුණේ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙනි.
හම්බන්තොට වරාය ගිවිසුමේ සම්පූර්ණ ආයෝජනය ඩොලර් බිලියන 1.4ක් වශයෙන් සඳහන් විය. එහි අයිතියෙන් 80෴ක් චීනයටද 20෴ ශ්‍රී ලංකාවට වශයෙන් ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේය. මෙතැනදී පෙනෙන්නට තිබෙන්නේ මේ සියලු ප්‍රධාන පෙළේ ආයෝජන ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් දැනුම්වත් කිරීමකින් තොරව යූ.එන්.පී. ප්‍රධානීන් විසින් අත්තනෝමතිකව ආකාරයෙන් තීන්දු ගැනීම පිළිබඳව ඔවුන් නොසතුටට පත්වී සිටින බවය. ආණ්ඩුව තුළ තමන් බලවත්යැයි සිතමින් යූ.එන්.පී.ය කටයුතු කරන බවත් ආණ්ඩුව පවතින්නේ තමන් නිසායැයි ශ්‍රී.ල.නි.ප. නායකයන් සිතන බවත් පැහැදිලිය. දෙපැත්තම දැන් තනිවම ආණ්ඩු හදන කතාවට බැස ඉන්නේ මේ පීඩනය නිසා විය යුතුය.
මේ අතර හම්බන්තොට ගිවිසුම ආරක්ෂා කරගනිමින් කරුණු දැක්වීමට මලික් පසුගිය බ්‍රහස්පතින්දා (05) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාව උපයෝගී කරගත්තේය. එම සාකච්ඡාව එහි රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ රවී අවසන් කළත් මලික් හම්බන්තොට වරාය බදුදීම සාධාරණීකරණය කිරීමට එම අවස්ථාව උපයෝගී කරගත්තේය. එසේම ජනතාවට බොරු කියමින් තම දේශපාලන බංකොලොත්භාවය වසාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාකරන බවට ඔහු චෝදනා කළේය. මලික් පැවැසුවේ හම්බන්තොට වරාය බදු දෙන්නේ චීන සමාගමකට නොව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමකට බවය. එසේම තවම ගිවිසුමක් සකස් කර නොමැති බවත් ඔහු කිව්වේය.
මීට පෙර අත්සන් කළේ මූලික සැලසුම් ගිවිසුමක් බවත් ඔහු කිව්වේය. මේ සම්බන්ධව ගිවිසුම් කීපයක්ම සකස් කිරීමට නියමිතව තිබෙන බවද ඒ සඳහා පත්කර ඇති කමිටුවේ අර්ජුනද සාමාජිකයකු බවද මලික් සඳහන් කර තිබිණි. අක්කර 15,000ක් රුහුණු මාගම්පුරයෙන් ලබාදෙන බවට කරන ප්‍රචාරයද අසත්‍ය බවත් ජනාවාස සහ පූජනීය ස්ථානවලට අයත් ඉඩම් ලබා නොගන්නා බවත් ඔහු කීවේය. රවි පවසා තිබුණේ රාජපක්ෂ රජය වරාය සහ ගුවන් තොටුපළ හැදීමේදී පවුල් සිය ගණන් ඉවත් කළ බවය. එසේම වරායේ ණය බර රටට දරාගත නොහැකි බවද ඔහු සඳහන් කර තිබිණි.
මේ ඇමැතිවරුන් දෙදෙනාම මාධ්‍ය සාකච්ඡාවෙන් ඉවත්ව ගියේ තමන්ට ගොඩක් ප්‍රශ්න අසන්නට තිබෙන බව මාධ්‍යවේදීන් පවසද්දී වීම විශේෂයක් විය. අසන ප්‍රශ්නවලට උත්තර නැතිවීම හේතුවෙන් ඔවුන් ඉවත්ව ගිය බවට නැගෙන චෝදනාවටද ඇමැතිවරුන්ගෙන් උත්තරයක් නොලැබෙන බවත් පැහැදිලිය.
ආණ්ඩුවට අවුරුදු දෙක පිරෙන විට ඇමැතිවරුන්ට මාධ්‍ය සාකච්ඡාවලින් නැගිට යාමට සිදුවන තරමට වැඩ අවුල් කර ගත්තේ කවුදැයි සිතා ගැනීමට ජනතාවට නම් අපහසු නැත.
♦ ශශීන්ද්‍ර