2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ජේ.ආර්.ගේ කලිසම් කෝට් තහනම හා ඉතිහාසයේ නව අරුත

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

රටක ඉතිහාසය ගැන විභාග කරන විට එහි ඉතිහාසය උගන්වන ක්‍රමය ගැන විමසිලිමත්වීමට අපට සිදුවෙයි. දැන් අපේ පාසල්වල හා සරසවිවල ඉතිහාසය යනුවෙන් උගන්වන්නේ කුමක්ද? එකල අප ඉතිහාසය යනුවෙන් ඉගැන්වූ දේ අද උගන්වන දෙයින් වෙනස් වන්නේ කෙසේද? අද ලෝකයේ විද්වතුන් ඉතිහාසය දෙස බලන්නේ කවර ආකාරයකටද? මේවා වර්තමාන ප්‍රශ්නවලට කෙළින්ම බලපාන විෂයන් ලෙස අප සැලකිය යුතු නොවන්නේද?

සම්ප්‍රදායික වශයෙන් අප ඉතිහාසය හැටියට උගන්වන්නේ රජුන්ගේ නාමාවලියකි. බොහෝවිට අප එම නාමාවලිය යොදාගන්නේ අපේ පැරැණි ශ්‍රී විභූතිය ඉස්මතු කළ යුතුය යන උපකල්පනය මතයි. සෙල්ලිපි, වංශකථා, පුස්කොළ පොත් ආදියෙන් එන කරුණු විශ්ලේෂණය කරමින් එම චිත්‍රය අපි මැනවින් ගොඩනඟා ගන්නෙමු. එම මූලාශ්‍රයන්ට ද ප්‍රථම යුගයක් ගැන ලිවීමට අපි ඇටකටු, වළං කැබලි හා දුනු හී වැනි දේ පොළව යටින් සොයාගෙන අපේ ගල් යුගය ගැන වර්ණනා කරමු. එසේත් නැත්තම් අපගේ අවධානය යොමුවන්නේ ව්‍යවස්ථාවන්ගේ පරිණාමය කෙරෙහිය. වරිග සභා, ගම්සභා, කෝල්බෘෘක්-කැමරන් නිර්දේශ, සෝල්බරි හා ඔහුගේ ව්‍යවස්ථා පිළිබඳ දර්ශනය ආදිය ගැන උනන්දුවීම වරදක් නොවේ. ඉන්පසුව ඇති වූ කොල්වින් හා ජේ.ආර්. ගේ අත්හදා බැලීම් ගැනද අධ්‍යයනය කිරීම වැදගත් බව නොඅනුමානය. 

එහෙත් මේ රජුන් හා රජුන් තනන්නන්ගේ ඉතිහාසයට විකල්ප වූ ඉතිහාසයක් ලියන බුද්ධි ධාරාවන් ද තිබේ. ඒවායින් දෙකක් ගැන මෙහි විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. එකක් වන්නේ ප්‍රංශ ඉතිහාසඥයින් විසින් හෙළිදරව් කර ඇති “අනාල්ස් ” සම්ප්‍රදායයි. මොවුන් අවධානය යොමු කරන්නේ ප්‍රබලයින් වෙත නොව ඔවුන් පසුපස නිර්මාණය වූ සමාජයේ ගති ලක්‍ෂණ කෙරෙහිය. මේ අතින් එම ක්‍රමය සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව බොහෝවිට පාදක කරගනී. 

නිදසුනක් වශයෙන් ගතහොත් “අනාල්ස්” ඉතිහාසඥයන් ප්‍රංශ විප්ලවය විභාග කරන්නේ සාම්ප්‍රදායික ඉතිහාසඥයින් විභාග කරන අයුරින් නොවේ. ඔවුහු මෙම වැඩවසම් සමාජයේ හැඩරුව හා විප්ලවීය තත්ත්වය පිළිබඳ සිය ගණනක් කුඩා විෂයන් ඇතුළත් පර්යේෂණ තුළින් ප්‍රංශ විප්ලවය ගැන නව චිත්‍රයක් මවති.  මේ සම්ප්‍රදාය අනුව පුහුණුව ලත් නීරා වික්‍රමසිංහ ලංකාවේ නූතන ඉතිහාසය දෙස බලන්නේ අප දේශීය මැද පංතියේ ආකල්පමය හා සංස්කෘතිමය මෙවලම්වල ස්වභාවය විස්තර කරමිනි. ඇය එම කාලයේ මැද පංතියේ සිංහලයින්ගේ ඇඳුම ගැන මනා විග්‍රහයක් කරන්නීය.  විශේෂයෙන්ම සාරිය මෙරට පැලපදියම් වූයේ කෙසේද? උඩරට ඔසරිය හා පහතරට සාරිය අතර ඇති වූ පරස්පරතාවයන් අප සමාජයේ චින්තනය වෙත බලපා ඇති අයුරු කෙසේද? මේවා තුළින් නව ඉතිහාස එළඹුමක් මැවේ. නීරා වික්‍රමසිංහ නොකීවද මේ සමාජ විපර්යාස අද යොදා ගන්නේ පන්තිවල ප්‍රතිබිම්බයක් ලෙස නොවේද?  අද අපේ “ ජාතික ඇඳුම” ගන්න.  එය අමු අමුවේම දකුණු ඉන්දියානු නායකයින් යොදාගත් ඇඳුමක් කොපි කිරීමකි. එහෙත් එක් යුගයක අපි  දෙමළ ජනතාවට අවලාද කියමින් මේ “ජාතික ඇඳුම” සිංහල ජාතිකත්වයේ ප්‍රෞඪ සංකේතයක් බවට පත් කළෙමු.  අද වූවද මේ ජාතික ඇඳුමින් සැරසුන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ ඉන්දියානු ආක්‍රමණයන් ගැන යටි උගුරින් කෑගසති. 

මෙතන දී මට එක් හාස්‍යජනක ජවනිකාවක් මතක් වෙයි. 1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මාගේ මිතුරෙක් හා ඥතියෙකු වූ ඩී.බී. විජේතුංග මට දුරකථනයෙන් අමතා ඔහුගේ ස්ථීර ලේකම්වරයා හැටියට මා තෝරාගත් බවත් වෙනත් තනතුරක් භාර නොගන්නා ලෙසත් කියා සිටියේය. ඒ අනුව මා ඔහු හමුවීමට ගියේ ඔහු ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දීමේ දිනයට පෙර දවසේය. මාව පිළිගත් විජේතුංග ඔහු මුහුණ දුන් ප්‍රශ්නයක් ගැන මට කීවේය. ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසුව සුපුරුදු පරිදි ටසෝර් කලිසම හා කෝට් එක පැළඳගත් ඔහු ජේ.ආර්. හමුවීමට වෝඩ් පෙදෙසේ ඔහුගේ නිවෙසට ගියේය. විජේතුංග ඉතාම මිත්‍රශීලිව පිළිගත් ජේ.ආර්. “ඔබව හෙට ඇමැති කෙනෙක් කරනවා, ඔය කලිසම් කෝට් බෑ; ජාතික අඳුමක් ඇඳගෙන එන්න”යැයි නියෝග කළේය. එවැනි ජාතික ඇඳුමක් තමා සතු නොවූ නිසා කුමක්කළ යුතුදැයි අභිනව ඇමැතිතුමා මාගෙන් විමසීය. මාගේ කාර් එකට ඔහුව නංවාගෙන ළඟ තිබූ ටේලර් සාප්පුවකට එක්කරගෙන ගියෙමි. හදිසියේම ජාතික ඇඳුමක් ඇමතිතුමාට අවශ්‍ය බව මම ඔවුන්ට කීවෙමි. එම ආයතනයේ මාගේ මිතුරෙක් ඉක්මනින්ම රෙද්දක් කපා ඔහුට ජාතික ඇඳුමක් මසා දුන්නේය. කොට්ට උරයක් වැනි කමිසයක් හැඳ නව කැබිනට්ටුවේ ඡායාරෑපයට විජේතුංග මහතා මුහුණ දුන්නේ ඒ ජාතික ඇඳුමෙනි.  පසුව මට දැනගන්නට ලැබුණේ හැමදාම ජැන්ඩියට බුරුත ඇඳුම් අඳින හුරුල්ලේ ඇමැතිතුමාටද එම ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවූ බවයි. 

“අනාල්ස්” ඉතිහාස සම්ප්‍රදායට නෑකම් කියන තවත් සම්ප්‍රදායක් තිබේ. එය හඳුන්වන්නේ “සබෝල්ටර්න් ස්ටඩීස්” යනුවෙනි. රනජිත් ගුහා නැමති වංග ඉතිහාසඥයා විසින් අරඹන ලද මේ ශ්‍රාස්ත්‍රීය ක්‍රමය වෙසෙසින්ම බ්‍රිතාන්‍ය යුගයේ ඉන්දියානු පොඩි මිනිසුන්ගේ ඉතිහාසයක් බවට පත්විය. ඉන්දියානු ඉතිහාසයේ ගාන්ධිතුමා, ප්‍රාන්ත විරෝධාකල්ප ආදීය මුල්කරගෙන එරට ඉතිහාසය නව ඉසව්වකට ගෙනගොස් තිබේ. මා විසින් රචිත අනගාරික ධර්මපාලතුමාගේ චරිතය තුළ මම මේ ක්‍රමය යොදා ගැනීමට යත්න දැරුවෙමි. එහි අඩංගු කරුණු කිසිම ලාංකික ඉතිහාසඥයෙක් විසින් මීට පෙර යොදාගෙන නැත. මේ සම්ප්‍රදායේම පිහිටා මහාචාර්ය ජිනදාස ජයසේකර වටිනා ශාස්ත්‍රීය සංග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. 

මලලසේකර අනුස්මරණ රැස්වීමේ පටන් මේ තීරුවද යොදා ගනිමින් ඒ විකල්ප ඉතිහාසය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට මම තීරණය කළෙමි. මලලසේකර, කුලරත්න, වික්‍රමසිංහ හා ඒ.පී. ද සොයිසා එක මිටකට ගෙන මා විස්තර කරන්නේ ඒ නිසාය. මා දන්නා තරමින් මෙරට කිසිම ඉතිහාසඥයෙක් එවැනි එළඹුමකට යොමුවී නොමැත. ගිය සතියේ මම එම කණ්ඩායම සුදු කාන්තාවන් සහකාරියන් කරගත් අයුරුත් ඔවුන්ගේ අමිල සේවයත් විස්තර කළෙමි. මීළඟ ලිපියෙන් ඔවුන්ගේ දරුවන් වූ සූරියා වික්‍රමසිංහ, මායා කුලරත්න සේනානායක, කුමාරි ජයවර්ධන හා චිත්‍රා මලලසේකර රණවක ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00