2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ජාතික ඇඳුමේ සුලමුල

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

මහාචාර්ය ගුණපාල මලලසේකර ගැන මවිසින් කරන ලද දේශනයට හා “දේශය” පුවත්පතට සපයන ලද තීරු ලිපියට යහපත් ප්‍රතිචාරයක් හිමි විය. ඒ අනුව මා වැඩිදුර කල්පනා කර ඔහුගේ සේවයත් දැන් සමාජ විද්‍යාවේ හා දේශපාලන විද්‍යාවේ විග්‍රහයට ලක්වන “අනන්‍යතාවය” හෙවත් “අයිඩෙන්ටිටි” නමැති සංකල්පය ගැනත් වැඩිදුරට ලිවිය යුතුයැයි සිතුවෙමි. අද ලෝකයේ කවර දිසාවක බැලුවද මේ “අනන්‍යතාවය” ගැන සිතීම අත්‍යවශ්‍ය වෙයි. දෙවෙනි ලෝක යුද්ධ සමයේ ප්‍රධාන ශාස්ත්‍රීය ගවේෂණයක් වූයේ යුදෙව්වන්ගේ “අනන්‍යතාවය” ගැනයි. හිට්ලර් හා ජර්මානු ජාතිවාදීහු යුදෙව්වන්ට ජර්මන් අනන්‍යතාවය පිරිනැමීමට අකමැති වූහ. යුදෙව්වන් ජර්මන් සමාජයට පිටස්තරයන් වශයෙන් සලකා ඔවුන්ගේ මානුෂික හිමිකම් උදුරා ගැනීම වැරදි ක්‍රියාවක් ලෙස හිට්ලර්වාදීන් දුටුවේ නැත. නමුත් මේ විග්‍රහය තුළින් ජර්මානුවන් හා ඔවුන්ගේ සංස්කෘතියට බද්ධ වී සිටී ඉහළ පන්තියේ යුදෙව්වන්ට බලවත් පරස්පරයකට මුහුණදීමට සිදුවිය. එක්වර යුදෙව්වෙකු මෙන්ම ජර්මන් දේශප්‍රේමියෙකුද විය නොහැකිද? ලෝකයේ උසස්ම ඉතිහාසයක් හා සාහිත්‍ය කලා පිළිබඳ ඇතිවන “අභ්‍යන්තර ජිවිතය” ඔවුන්ට අහිමිද?  එසේනම් ජර්මන් සංස්කෘතියට හා සාහිත්‍ය කලාවන්ට සේවයක් කළ උසස් ගණයේ “ජර්මානුකරණයට” ලක්වූ යුදෙව්වන් විසින් ලබා ඇති මේ උරුමය එක පැත්තෙකින් කපාහැරිය හැකිද? මෙය යුදෙව්වන්ට පමණක් සීමා වූ සදාතනික ප්‍රශ්නයක් බව අද ලෝකයේ මතයයි.  මේ පරස්පරය “ටුපෝල්ස්කිගේ” උභතෝකෝටිකය ලෙස හැඳින්වේ.  ටුපෝල්ස්කි නමැති රචකයා ජර්මන් ජාතිකත්වයේ සියලුම අංගෝපාංග උකහා ගත්තා පමණක් නොව ඔහුගේ උරුමය යුදෙව් බවද ප්‍රතික්ෂේප කළේය. එහෙත් හිට්ලර්වාදීන් අබිමුව ඔහුට අනාගතයක් නැති විය. කාලයක් ඔහු හිට්ලර්ගේ කුරිරු වධකාගාරයට දක්කන ලදි. මේ උභතෝකෝටිකය කාර්ල් මාර්ක්ස්ට ද සාධාරණ විය. යුදෙව්වෙකු වශයෙන් පරිභව කරන ලද ඔහු මියගියේ එංගලන්තයේ විසූ සරණාගතයෙකු ලෙසිනි.  ජර්මන් විචාර කලාවේ ඉහළම තැනක් දැරූ “ප්‍රෑන්ක්ෆර්ට් හවුල” යුදෙව්වන්ගෙන් සමන්විත වූයෙන් ඔවුහු ජර්මනියෙන් පලාගොස් නිව්යෝර්ක් නුවර පැළපැදියම් වී අමෙරිකන් දර්ශනය හා සාහිත්‍ය හා කලාව පෝෂණය කළහ. මෙසේ හනා අරෙන්ඩට්, බෙන්ජමින් හොක්නයිටර් වැනි විචාරකයින් අයත් වුයේ මේ විචාර හවුලටයි.  ඇමෙරිකන් සමාජය හා මාධ්‍යය වාමාංශික නැඹුරැවක් තුළින් විචාරයට ලක් කිරීමට මුල පිරුවේ මේ කණ්ඩායමයි. ප්‍රාථමික මට්ටමේ තිබුණ සාහිත්‍යය කලා විචාරය යුරෝපීය තත්ත්වයට පෙරළියට උත්සුක වූයේ මේ නිව්යෝර්ක් හි පදිංචි වූ ජර්මන් කල්ලියයි.

ඉහත සඳහන් ජාතික අනන්‍යතාවය පිළිබඳ විවාදයක් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලක් වූ රටවල්වල ඇති විය. එවැනි හැඟීමක් ඇතිවීමට පසුතලය සකස් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී නිලධාරින් අතලොස්සක් විසිනි. ඉන්දියාවේ අතීතය පිළිබඳ ගවේෂණය කිරීමට අතහිත දුන්නේ වඩාත්ම දළදඬු බ්‍රිතාන්‍ය පාලකයා වූ කාර්සන් සාමිවරයායි. ඔහු ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගොඩනැගීමට උනන්දු වුවා පමණක් නොව ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා වශයෙන් සලකන ලද තරුණ ජෝන් මාර්ෂල්වද ඉන්දියාවට ගෙන්වා ගත්තේය. මාර්ෂල් පේරාදෙණිය සරසවියේත් පසුව විද්‍යාංලකාරයේත් මහාචාර්යවරයෙකු වූ තෙන්නකෝන් විමලානන්දගේ වීරයෙක් විය. ඔහුට මාර්ෂල්ගේ සොයා ගැනීම් ගැන සඳහන් නොකර දේශනයක් අවසන් කිරීමට නොහැකි විය. ඔහුගේ අනිත් වීරයා වූයේ ලන්ඩන්හි ඔහුගේ ගුරුවරයෙකු වූ මෝටිමර් වීලර්ය.

ධර්මපාලතුමා මුලින්ම බුද්ධගයාවට පය තැබූ වෙලේ නටබුන්ව තිබූ විහාරය පුරාවිද්‍යා අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර තිබුණි. ඔහුගේ ඉල්ලීම්වලට පදනම් වූයේ බුද්ධගයාව බ්‍රිතාන්‍ය රජයට අයත් පුන්‍යභූමියක් නිසා එහි වැඩ කටයුතු ගැන මහජනයාට සිත්සේ තීරණය ගැනීමට නොහැකිය යන තර්කයයි. බ්‍රිතාන්‍ය නිලධාරින් හා නඩුකාරවරුන් එම තර්කය පිළිගෙන බෞද්ධයින්ට බුද්ධගයාවේ නිදහසේ වන්දනාමාන කිරීමේ අයිතිය රජය විසින් තහවුරු කරන ලදී. ලෝකයේ බෞද්ධ පුනරුදයක් ඇතිවීමට ප්‍රධාන සාධකය වූයේ ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් තුළින් මතුවී ආ බෞද්ධ ඉතිහාසයයි. එතෙක් බුදුදහම ඉන්දියාවේ වැදගත් උරුමයක් ලෙස පිළි නොනැගිණි. ඉන්දියානු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අනුගමනය කරමින් ලංකාවේ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඉංග්‍රීසි රජය විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදි.  අනුරාධපුරය, පොෙළාන්නරුව, සීගිරිය වැනි ස්ථාන වල් බිහිවී තිබුණ අතර, ඒවා නැවතත් පිරිසුදුකර සකස්කර අප අතීතයේ ස්මාරකයන් ලෙස ඉදිරියට ගන්නා ලද්දේ අධිරාජ්‍යයේ නිලධාරින් විසිනි. ඔවුන් අතුරින් එච්.සී.පී. බෙල් ප්‍රධාන තැනක් ගනී. සෙනරත් පරණවිතාන දෙපාර්තමේන්තුවට බඳවාගෙන ක්‍රම ක්‍රමයෙන් ඉහළ තත්ත්වයකට ඔහු ගෙන ආවේ බෙල් බව සඳහන් කරනු වටී.

මෙවන් පසුබිමක් තුළ අපේ අනන්‍යතාවය ඉස්මතු කිරීමේ කාර්යයන් භාරගත් විශිෂ්ටයන් හතර දෙනෙක් විය. ඔවුන් හතර දෙනා තුළම පොදු ලක්ෂණ අපට හඳුනාගත හැකිය.  ඒ හතරදෙනා නම් පී. ද ඇස්. කුලරත්න, ගුණපාල මලලසේකර, ඇස්. ඒ. වික්‍රමසිංහ හා ඒ.පී. ද සොයිසායි. ඔවුන් හතර දෙනාම එකම කාලයේ බ්‍රිතාන්‍යයේ, වෙසෙසින්ම ලන්ඩනයේ, ජීවත් වූ අතර ඉන්දියානු නිදහස් සටහනින්ද ආස්වාදය ලැබුහ. මේ හතර දෙනාම ඉගෙනීමට හපන්නු වූහ. ගණිත විශේෂඥයෙකු වු කුලරත්න රිච්මන්ඩ් හා වෙස්ලි වැනි පාසල්වල ඉංග්‍රීසි ගුරුවරුන් යටතේ අත්පොත් කර රජයේ ශිෂ්‍යත්වයක් දිනාගෙන එංගලන්තයට ගියේය. ඔහුගේ ප්‍රධාන සගයා වු මලලසේකර පරමවිඥානාර්ථ සමිතියේ ආධාර ඇතිව එංගලන්තයට ගොස් පාලි පුස්තක සමාගමේ සේවය කරන අතර, විශිෂ්ට සාමාර්ථයකින් උපාධියක් ලබා ගත්තේය. ආචාර්ය ඒ.පී. ද සොයිසා ද දුක්කම්කටොලු මැද ලන්ඩනයේ රැඳී සිටිමින් ලන්ඩන් මහා බෝධි විහාරයේ අනුග්‍රහය ලබමින් සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් මෙන්ම බැරිස්ටර් විභාගයෙන් ද සාමාර්ථයක් ලැබීය. පසුව කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ ද මුලින්ම පරමවිඥානාර්ථ සමිතියට සම්බන්ධ වී ලන්ඩන් හි කල් ගත කරමින් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. එසේ ඉගෙනගන්නා අතර හතරදෙනාම ඉන්දියානු නිදහස් සටනින් කුල්මත් වූ අතර,  එම නායකයින්ගේ ඉරියව් ද අනුගමනය කිරීමට මැලි නොවුහ. මේ වනවිට ගාන්ධි හා නේරු වැනි ඉන්දීය නායකයින් ලන්ඩන්වලට පැමිණ ඉන්දියානු නිදහස් සටන මුවහත් කරන ගමන් අප හතරදෙනා වැනි ශිෂ්‍යයින් ප්‍රබෝධමත් කළහ.  එම නායකයින් ඉස්මතු කළේ ජාතික අනන්‍යතාවය පිළිබඳ අයිතිවාසිකම හා එහි වර්ධනය කිරීමේ අවශ්‍යතාවයයි.  

හතරදෙනාම ලන්ඩනයේ පරමවිඥානාර්ථ සමිතිය හා ලන්ඩන් විහාරය ළඟින් ඇසුරු කළහ. සොයිසා ඇරෙන්නට අන් අය ඉන්දියානු ජාතිකයින් අනුගමනය කරමින් සුදු ජාතික ඇඳුමක් නිර්මාණය කළහ. එය දකුණු ඉන්දියාවේ වස්ත්‍රවලට සමාන විය.  කුලරත්න, මලලසේකර හා වික්‍රමසිංහ ලංකාවට පැමිණි පසු තම පාසල් ක්‍රමය තුළින් මේ ජාතික ඇඳුම ජනප්‍රිය කළහ. ආනන්දයේ හා නාලන්දයේ ගුරුවරු එම ඇඳුම පිළිගත් අතර, ඇතැම් කාන්තාවෝ ඉන්දියානු කාන්තාවන් අනුගමනය කරමින් සාරි ඇඳීමට පටන් ගත්හ. ලංකාවේ “ජාතික” ඇඳුමේ නිර්මාතෘවරැන් ඉහත සඳහන් බුද්ධිමතුන්ය.  ඔවුන් හරහා, නැගී එන සිංහල මැද පන්තිය රෙද්ද හා බැනියම ජාත්‍යන්තර ලකුණක් බවට පත්කර ගත්තේය. එම ව්‍යාපාරයට මහත් රැකුලක් වෙමින් බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන ද ජාතික ඇඳුම යොදාගත් නමුත් ගෙදරට ඇන්දේ කලිසම් කෝට්ය.  මීළඟ ලිපියෙන් අපේ හපනුන් හතර දෙනා ඉංග්‍රිසි කුළ කාන්තාවන් විවාහ කර ගැනීම ගැන ලියන්නට බලාපොරොත්තු වෙමි.

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00