2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

වමේ රණ්ඩු!

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

අපේ කාලයේ පේරාදෙණිය සරසවියේ ඇදුරුතුමන් හතරදෙනාගේ කල්ලියේ වඩාත්ම ප්‍රසිද්ධ සාමාජිකයා වූයේ ඩොරික් ද සූසාය.  ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසයේ සුවිශේෂ තැනක් දරයි.  කොල්වින් ආර් ද සිල්වා වැනි ඔහුගේ මිතුරන්ට ඔහු බුද්ධිමතුන් අතුරින් අග්‍රගන්‍ය බුද්ධිමතෙකු විය. එහෙත් පිලිප් ගුණවර්ධන වැනි සමසමාජ නායකයින්ට ඩොරික් “තුප්පහියෙක්” පමණක් නොව පක්ෂ හා පන්ති ද්‍රෝහියෙක් ද විය. එසේ ඩොරික්ගේ ක්‍රියාකාරිත්වය ගැන ඇතිවු මත භේදය නිසා සමසමාජ පක්ෂය දෙකඩ විය. හතරවෙනි ජාත්‍යන්තරයෙන් මේ ගැටුම් සමනය කිරීමට කමලේශ් බැනර්ජි නමැති උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙක් පැරිසියේ මධ්‍යස්ථානයෙන් එවන ලද නමුත් ඔහුගේ තීරණ පිළිගැනීමට පිලිප් එකඟ නොවූ නිසා ඔහු වෙනම හුදෙකලා දේශපාලන මාවතකට ප්‍රවිශ්ට විය.  එසේ දෙකඩ වූ සමසමාජ නායකයින් කොතෙකුත් බලපෑම් කළද නැවතත් දිගු කලක් එක්වූයේ නැත. 1963 පමණ ටික කලකට එක්සත් වාමාංශික පක්ෂය වශයෙන් පිලිප්, ඇන්.ඇම්. හා දොස්තර වික්‍රමසිංහ එකම වේදිකාවට පැමිණියහ. තරුණයෙකු වශයෙන් මම ද එම ගෝල්ෆේස් රැලිය නැරඹීමට මගේ මිතුරන් සමඟ ගියෙමි. එකල අප ගෝල්ෆේස් පිටියට නුදුරින් පිහිටි රීජන්ට් තට්ටු නිවාසවල පදිංචිව සිටි නිසා එම රැස්වීම මුල සිට අගටම නැරඹීමට අවස්ථාව ලැබුණි. එදා මුළු ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩකි. වමේ එකතුවෙන් ආස්වාදය ලැබු රටේම වාමවාදීන් එම පිටියට එක්රැස් වී සිටින බව අපට පැහැදිලි විය. හදිසියේම ඔල්වරසන් මැද ජනතාව මැදින් විවෘත ජිප් රථයක් සෙමෙන් සෙමෙන් ඇදුනේය. එය පදවාගෙන ආවේ පිලිප් ගේ බෑනා කෙනෙක් මෙන්ම සුමිත්‍රා පීරිස්ගේ සහෝදරයා වූ ගාමිණි ගුණවර්ධන විසිනි. කවර හේතුවක් නිසා හෝ ඔහුගේ යහළුවන් ගාමිණීව ඇමතුවේ “කුරු” ගුණවර්ධන හැටියටය.  මනස්කාන්ත චරිතයක් වූ කුරු ගැන පසුව වෙනම තීරු ලිපියක් වෙන් කළ යුතු යැයි සිතමි. කුරු සමඟ ජීප් රථයේ ඉදිරි අසුනේ හිඳගෙන සිටියේ දැන් ජෙට්වින් සංචාර කර්මාන්තයේ හිමිකරු වූ හිරාන් කුරේගේ පියාය. සංචාරක හෝටල් ඉදිකිරීමේ නියැලුන කුරේ මහතා ඉතාම කඩවසම් පෙනුමක් ඇත්තෙක් පමණක් නොව ඉහළ පෙළ කොන්ත්‍රාත්කරැවෙක් ද විය. වාමාංශික දේශපාලනය සඳහා ඔහු නොමසුරුව සිය මුදල් යෙදවිය. ජිප් රථය පසුපස ආවරණයක් නොමැති තට්ටුවක් මත ජනතාවට ආචාර කරමින් ඉදිරියට ඇදෙන පිලිප්, ඇන්.ඇම්. හා වික්‍රමසිංහ වෙනුවෙන් ඔවුන්ගේ ගෞරවය පිරිනමමින් ජනතාව ඔල්වරසන් දුන්නෝය.  එහෙත් ඉන් සති කිහිපයකට පසු පිලිප් එම සන්ධානයෙන් කැඩී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක සමඟ සන්ධානගත විය.

මෙසේ වාමාංශික සන්ධානය බිඳ දැමීමට එක් හේතුවක් වුයේ ඩොරික් ද සූසාගේ භූමිකාවයි. ඇන්.ඇම්. හා අනිල් මුණසිංහ වැනි අය පක්ෂ එකමුතුවක් ගැන කතා කෙරුවද ඩොරික්, කොල්වින් හා ලෙස්ලි වැනි නායකයෝ එක් අතකින් සුළු ධනපති පන්තිය සමගත් අනෙක් අතට ස්ටාලින්වාදින් සමගත් එක්වීමට අකමැති වූහ. පිලිප්ගේ කරණම ගැන පසුතැවිලි වූ ඇන්.ඇම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී.බි. ඉලංගරත්න සහ බදුදීන් මොහොමඩ් හරහා සමසමාජ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමගි කර සන්ධාන රජයක් පිහිටුවීමට කටයුතු කළේය.  ඔවුන් මැතිනියට කියා සිටියේ පිලිප් හා පීලික්ස් එක්ව හමුදා කුමන්ත්‍රණයකට අර අදින බවයි. පීලික්ස්ගේ දොම්පේ ආසනයත් පිලිප් ගේ අවිස්සාවේල්ල ආසනයත් එක් කිරීමට සාදන ලද සමනබැද්ද පාලම ඔවුන් දෙදෙනා එක්ව විවෘත කිරීම එම නැගී එන සන්ධානයේ ලකුණක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාමාංශික කඳවුර මැතිනියට පෙන්වා දුන්නේය.  මේ කසුකුසු කුට්ටම්වල ප්‍රතිඵලය වුයේ 1963 දී ඇති කරගන්නා ලද සමගි පෙරමුණ රජය තුළ ඇන්.ඇම්. මුදල් ඇමැති වීමය. මේ එක්වීම නිසා පිලිප් නැවතත් තනිවූ අතර, ඔහු ඩඩ්ලි සමඟ එක්වී 1965 ඡන්දය ජයග්‍රහණය කර නව රජයේ කර්මාන්ත ඇමැති විය.

උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙක් වූ ඩොරික්, ඇන්.ඇම් ගේ දේශපාලනය අනුමත නොකළේය.  වරක් ඔහු සුළු ධනේෂ්වරයෙකු ලෙස ඇන්.ඇම්ව හංවඩු ගසා ඔහුව පක්ෂයෙන් නෙරපිය යුතු යැයි යෝජනා කළේය. ඩොරික්ව නිතරම ආරක්ෂා කළේ හතරවෙනි ජාත්‍යන්තරයේ නිලතල දැරූ කොල්වින්, ලෙස්ලි හා බාලා තම්පෝයි.

අප පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්නා කාලයේ මෙම හැල හැප්පීම් ගැන කිසිවක් ගණන් නොගත් ඩොරික් මා හා තවත් කිහිප දෙනෙකුට මාක්ස්වාදය, ට්‍රෝට්ස්කිවාදය, ස්ටාලින්වාදය මෙන්ම ලංකා දේශපාලන ඉතිහාසය ගැන දේශන පැවැත්වුවේය. මෙම දේශනවලට සහභාගිවීම සඳහා ඔහු අප හමුවුයේ හිඳගල පිහිටි කුඩා නිවසකය. එහි එක් කාමරයක බංකු කිහිපයක් දමා තිබු අතර, තෝරා ගන්නා ලද අපි, කිහිපදෙනා ඒවායේ වාඩිවි ඩොරික් ගේ දේශනවලට සවන් දුන්නෙමු. මා දේශිය විදේශිය මාක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගේ දේශනවලට සවන් දි ඇත.  එහෙත් ඩොරික් හා කොල්වින් තරම් නිරවුල්ව ගැඹුරින් එම න්‍යායන් විස්තර කරන අන් අය මට හමුවී නැත.  වරක් කැනඩාවේදි ජාත්‍යන්තර මාක්ස්වාදි න්‍යායචාර්ය වරයෙක් වු රොබින් බ්ලැක්බර්න් සමඟ මම සාකච්ඡාවක යෙදුනෙමි.  ඩොරික්ගේ දේශන හා සසඳන විට බ්ලැක්බර්න් ගේ දෙසුම් පහළ මට්ටමක පැවතියේයැයි මට හැඟුනි.

ඩොරික් දක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙක් විය. සෑම සවසකම පාහේ ඔහු පේරාදෙණියේ ගුරුවරුන්ගේ සමාජ ශාලාවට පැමිණ තෝරාගත් මිතුරන් සමඟ මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනේය. එම මිතුරන් අතර මහාචාර්ය හෙට්ටිආරච්චි, ඇම්.බි. ආරියපාල හා සරච්චන්ද්‍ර විය. ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ටෝනි රාජරත්නම් ද දක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙක් විය. හෙට්ටිආරච්චි හා ආරියපාල සෑම සවසකම අරැනාචලම් ශාලාව ඉදිරිපස පිහිටා ඇති ටෙනිස් පිටියේ ක්‍රීඩා කළෝය. ආරියපාල අති දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් විය.

අරුනාචලම් ශාලාවේ අප භාරකාරයා වූයේ හෙට්ටිආරච්චි මහාචාර්යතුමාය. අප ශාලාවේ වාර්ෂිකව පැවැතුණ පැසිපන්දු තරගයට ඔහු මහත් උනන්දුවකින් සහභාගි වුයේය. එක් වර්ෂයක තරගය දිනීමට අදිටන් කර සිටි මහාචාර්ය හෙට්ටිආරච්චිගේ අවාසනාවකට ඔහුගේ “ඩබල්ස්” ක්‍රීඩාවේ සහායකයා ලෙස කුසපත් ඇදීමේදී මාව තෝරන ලදී. හෙට්ටිආරච්චිගේ ක්‍රීඩා හැකියාවන්ට අලගු තබන්නටවත් බැරි මා මගේ පැත්තට එවන ලද බෝලවලට පහරදීමට බොහෝවිට අසමත් විය. මාගේ දුර්වලතාවයන් නිසා ක්‍රමක්‍රමයෙන් පරාජය දෙසට අප දෙ‍‍දෙනාම තල්ලු වෙත්ම හෙට්ටිආරච්චිගේ මුහුණ අඳුරු විය. අරුනාචලම් ශාලාවේ දක්ෂම ක්‍රීඩකයාවීමට තිබූ ඔහුගේ බලාපොරොත්තුව බිඳී යන හැටි බලා ඔහු මා දෙසට හැරී “බැරි දේවල්වලට එන්නේ මන්දැයි” කෝපයෙන් ඇසුවේය. එම ගර්ජනය ඉදිරියේ මා සෙසු පහරදීම්වලදි ඊටත් වඩා ඉක්මනින් අසමත්වීමි.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00