2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

සහෘදයන් සමඟ

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

පේරාදෙණිය සරසවියේ ජෝර්ජ් කීට්ට ලැදි හතරදෙනාගේ කල්ලිය පිළිබඳව මම පසුගිය තීරු ලිපියෙන් හඳුන්වා දුන්නෙමි. ඔවුන් හතර දෙනා මහාචාර්යවරුන් වූ රැල්ෆ් පීරිස්, ඇස්.බී. දිසානායක, ඩොරික් ද සූසා හා ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති වූ ඉයන් ගුණතිලක විය. ඩොරික්ගේ බිරිඳ වූ වයලට්ද සිල්වා මැතිනියද එහිම සහකාර පුස්තකාලයාධිපතිනියක් වූයෙන් මෙම කණ්ඩායමට නිතරම ඈ අනුබල දුන්නීය.

මොවුන් හතරදෙනා අතුරින් මට වඩාත් ළංවුයේ රැල්ෆ් පීරිස්ය. ඔහු සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් මට ගුරුහරුකම් දුන් අතර, සරසවියෙන් පිටවීමෙන් පසුවත් අප අතර දැඩි බැඳීමක් තිබුණි. මහනුවර අනිවත්තේ දර්ශනීය කඳුගැටයක් මත ඔහුගේ නිවස පිහිටා තිබුණේය. කාමරයක් පුරවා තිබු පොතපතද නිවසේ බිත්තිවල එල්ලා තිබූ ලාංකික හා ඉන්දියානු චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රද එහි ගිය කාගෙත් හිත හා නෙත ඇඳ බැඳ ගත්තේය. එකල රැල්ෆ් විවාහ වි සිටියේ උඩරට ප්‍රභූ පවුලක සාමාජිකාවක් වූ මෝහිනී දඹවින්න සමඟය. මෝහිනීට උඩරට රදළ පවුල් සමග කිට්ටු සබඳතාවයක් තිබුණේය.  ඇය නිවාසය අලංකාරව තබා ගැනීමටත් රැල්ෆ්ගේ මිතුරන්ට මිත්‍රශීලීව සංග්‍රහ කිරීමටත් හැකියාවක් තිබූ කාන්තාවක් වූවාය. මෝහිනී විසින් පදවාගෙන යන පොක්ස්වැගන් රථය එකල අප නිතර නෙත ගැටුන දසුනක් විය. උඩරට උසස් කාන්තාවකට උරුමවන පැරණි මාල වළලු කට්ටල් කිහිපයක්ම ඈ සතු විය. දඹවින්න දම්පතීන්ට සිටියේ දුවරුන් දෙදෙනෙක් පමණි. මෝහිනී රැල්ෆ් ගේ බිරිය වූ අතර ඇගේ සහෝදරිය ලිවර් සමාගමේ ඉහළ තානාන්තරයක් දැරූ කොළඹ සුප්‍රසිද්ධ චරිතයක් වූ කන්බර්ට් ජයසූරිය මහතාගේ බිරිඳ වුවාය.

සරසවි සිසුන් වන අපි තුන්දෙනෙක් වරක් නිවාඩු කාලයේ ඉන්දියානු සංචාරයක නිරත වුවෙමු. ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කළ අපව කල්කටාවේදී පිළිගත්තේ එහි යුනෙස්කෝ ආයතනයේ විශේෂඥයෙකු ලෙස සේවය කළ රැල්ෆ් සහ ඔවුගේ බිරිඳයි.  එය කල්කටාවේ හින්දු ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් එකිනෙකා මරාගන්නා කාලයක් විය. ලස්සන දිග රැවුලක් වවාගෙන සිටි මා ඔහුගේ නිවසට ගොඩවනවාත් සමඟම රැල්ෆ් ඔහුගේ නළලේ අත ගසා ගත්තේය. වහාම ගොස් රැවුල කපා ගන්නා ලෙස මට අණ කළ මහාචාර්යවරයා කියා සිටියේ හින්දුන්ට රැවුල්කාරයෙක් අහු වුණොත් ඔහුව මුස්ලිම්කාරයෙකු යැයි සැකකොට පීඩාවට පත්කිරීම නිසැක බවයි. මම රැවුල බා ගත්තායින් පසුව රැල්ෆ් සහ මෝහිනී අපව කල්කටාවේ ඉස්තරම්ම ආපනශාලාවට ගෙන ගොස් රිසි සේ ඉන්දියානු කෑම අනුභව කිරීමට සැලැස්වීය. මුදල් හිඟය නිසා සති කිහිපයක් හොඳින් අහාර නොගත් සිසුන් වූ අප තිදෙනා බඩකට පුරවාගනු දැක මහාචාර්යවරයා හා ඔහුගේ බිරිඳ මහත් සතුටක් ලැබූහ.

එහෙත් රසවත් කෑමකට වඩා වටිනා අත්දැකීමක් පසුව අප වෙනුවෙන් ඔහු සකස් කර තිබුණේය. එනම් සත්‍යජිත් රායිගේ “ඔපූර් සන්සාර්” නමැති චිත්‍රපටියේ මංගල දර්ශනයට අපව කැඳවාගෙන යෑමයි. චිත්‍රපටියේ ඔපුගේ චරිතයේ කුඩා කාලය නිරූපනය කරමින් රඟපෑ දරු0වාගේ මව රැල්ෆ්ගේ කන්තෝරුවේ සේවය කළ නිසා එම ආරාධනා පත්‍ර ඔහුට ලබා ගැනීමට හැකි විය. චිත්‍රපටි ගැන පාසැල් සමයේ පටන් උනන්දුවක් දැක් වූ මට “ඔපූර් සන්සාර්” දැකීමෙන් ඇති වූ උත්තේජනය අද වුවත් මාගේ සිහියට එයි. අපට සත්‍යජිත් රායි මෙන්ම සුමිත්‍ර චැටර්ජි හා ෂර්මිලා තාගෝර් ද මුණ ගැසීමට අවස්ථාව සැලසුණි. ඒ වනවිට රායි ජාත්‍යන්තර සිනමාවට මෙන්ම හින්දි සිනමාවටද ප්‍රබලව අවතීර්ණ වී සිටියේ නැත. එදා අපේ අවධානය යොමුවූයේ සත්‍යජිත් රායි වෙතටයි.  ඔහුට ආචාර කරමින් මා කීවේ ඔහුගේ චිත්‍රපටිය නැරඹීම ඉතාම ආනන්දජනක අත්දැකීමක් වූ බවයි. ආචාරශිලී කලාකරුවෙකු වු සත්‍යජිත් රායි සිනාසෙමින් කීවේ වංග බස දන්නවා නම් රසවිඳීම තවත් තීව්‍රවීමට ඉඩ තිබුණ බවයි. ඔහු බටහිර ජීවිතයට කොතෙකුත් බැඳී සිටියත් වංග බස හා හැදියාව පිළිබඳ ඔහුගේ ආදරය මැනවින් පෙනුණේය.  කල්කටාවේ ඉහළම “භද්‍රලෝක්” නමැති සමාජ තලයට ඔහු අයත් වූයෙන් දෙලොවක් අතර සිටියත් සිය උරුමය මනා ලෙස රැක ගනිමින් සත්‍යජිත් රායි සිනමා නිර්මාණකරණය කළේය.

ඉන්පසුව කීපවිටක්ම මට සත්‍යජිත් රායිව හමුවී තිබේ. 1969 බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලදී ඔහු නැවත වරක් මට හමුවිය.  ඔහු සිය බිරිය හා දැන් ඉහළ පෙෙළ් චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වන ඔහුගේ එකම පුතා සමඟ බර්ලිනයේ හිල්ටන් හෝටලයේ නැවති සිටියේය. මාද සිටියේ එම හෝටලයේම ඔහුගේ කාමරයට නුදුරින්ය. ඔහු නිතරම ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන ආදරයෙන් කතා කළේය. මා චිත්‍රපටි සංස්ථාවේ සභාපති වශයෙන් සේවය කළ කාලයේ ඔහුගේ “ශිට්රාජ් ඊ කලාරි” නමැති චිත්‍රපටිය පුද්ගලික සිනමා ප්‍රදර්ශනාගාරයක් තුළ මා සමඟ එකට හිඳගෙන නැරඹීය. හින්දි බසින් දෙබස් ඇතුළත් හින්දි සිනමාවේ නළු නිළියන් යොදාගත් එම චිත්‍රපටිය වාණිජමය වශයෙන් අසාර්ථකවීම ගැන ඔහු කනස්සල්ලෙන් සිටියේය.

ඉන් බොහෝ කලකට පසුව මම කල්කටාවට ගිය විට සත්‍යජිත් ගේ සංකල්පයක් අනුව ඉදිකරන ලද නන්දන නැමති චිත්‍රපටි කේන්ද්‍රයට ගියෙමි. ඉන්දියානු රජය විසින් එම චිත්‍රපටි කේන්ද්‍රයට රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබුණි. ඒ වනවිට ඔහු ජීවතුන් අතර නොසිටියෙන් නන්දන චතුරශ්‍රයේ ඇති කලාත්මක නිමාව තුළින් අපට සත්‍යජිත් අනුස්මරණය කිරීමට හැකි විය.

රැල්ෆ්ගේ අනිවත්තේ නිවස ළඟින්ම කඳු මුදුනක ඔහුගේ කල්‍යාණ මිතුරා වූ මහාචාර්ය ඇස්.බී. දිසානායක ද දර්ශනීය නිවසක් ඉදි කළේය. මගේ මතකයේ හැටියට ඒ ගෙවල් දෙකම සැලසුම් කළේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී ජෙප්රි බාවාය.  ඒ ගෙවල් දෙකේම ආලින්දයට පැමිණිවිට එක් අතකින් දළදා මාළිගාව හා නුවර වැව නැරඹීමට හැකි වූ අතර, එය කිසිදා අමතක නොවන දසුනක් විය. දැනුමෙන් හා ගුණයෙන් ආඪ්‍ය වූ මෙම සහෘදයන්ගේ ජිවිත ගැන මම නිතර මෙනෙහි කරමි. කිසිවෙකුටත් අත නොපා ඔවුන් ගෙවු සුපිරිසුදු ජීවිතය අප සියල්ලන්ටම ආදර්ශයකි.

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00