2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ආප්ප කතා

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 869

 

හරියටම දැනට අවුරුදු දෙකකට පෙර එනම් 2015 ජනවාරි 1 වැනිදා මොනවගේ දවසක් දැයි බොහෝ දෙනාට සිහියට නගා ගැනීම අපහසු විය හැකිය. හැබැයි මෛත්‍රීපාලටත් රනිල්ටත් මහින්දටත් ඒ දවස කවදාවත් අමතක වන්නේ නැත. අකාලයේ කැඳ වූ ජනාධිපතිවරණයට තව ඉතිරිව තිබුණේ දවස් අටකි. ඡන්ද ව්‍යාපාරය උපරිමයට සිදුවෙමින් ගිනියම් වී තිබුණේය. ගල උඩ සටනකට සියලු පසුබිම සැකසෙමින් තිබුණි. 

ඒ වසරේ ජනවාරි 1 වැනිදා බ්‍රහස්පතින්දා දවසක් විය. ඊළඟ බ්‍රහස්පතින්දා එනම් ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය දිනයයි. මහින්ද එදා ජනාධිපතිවරයා ලෙස නව වසරට ආසිරි පතමින් ප්‍රකාශ කර තිබුණේ ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත්කිරීමට සියලු දෙනාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා යනුවෙනි. මාතෘභූමිය සුරක්ෂිත කොට ලොව දිනීම නව වසරේ ප්‍රාර්ථනය බවද මහින්දගේ ප්‍රකාශයේ සඳහන් විය.

ඊට සති හතකට පෙර තම පක්ෂයේ ලේකම්වරයාව සිටි මෛත්‍රීපාල ද නව වසරට පණිවුඩයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් කර තිබුණේ නිදහසේ සහ යහපාලනයේ වසරක් ප්‍රාර්ථනය කරන බවය. අඳුරු යුගයක අවසානය සනිටුහන් කොට නව යුගයක් ඇරැඹෙන, සාධාරණ, නීතිගරුක, යුක්තිගරුක සමාජයක් බිහිවන වසරක් වේවායිද මෛත්‍රීපාල ප්‍රාර්ථනා කර තිබුණේය.

එයින් දින හතකට පසුව එළැඹුණු බ්‍රහස්පතින්දා (08) දවස ගෙවී සිකුරාදා (09) එළිය වැටෙන විට ජාතියට ජයග්‍රහණයක් ලබාදීමට පොරොන්දු වී සිටි මහින්ද පරාජය වී තිබුණේය. නිදහසේ සහ යහපාලනයේ වසරක් ප්‍රාර්ථනා කර සිටි මෛත්‍රීපාල රටේ ජනාධිපතිවරයා වී සිටියේය. ඉන් පැය 24කට පසුව රනිල් රටේ අගමැති පදවියට පත් විය. නිහඬ විප්ලවයක් ලෙස රටේ ඇතැමුන් හඳුන්වාදී තිබූ මේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන ලොවේ බොහෝ රටවල මාධ්‍ය සඳහන් කර තිබුණේ මේ පරාජය මහින්දට ෂොක් එකක් වූ බවය. 

මහින්ද තවමත් ඉන්නේ ඒ ෂොක් එකෙන්මද?

දැන් පෙනෙන හැටියට නම් මහින්ද එම ෂොක් එකෙන් ගොඩඑමින් සිටී. කොටින්ම ඔහුගේ ඇතැම් ප්‍රකාශ ආණ්ඩුව කරවන ඇත්තන්ට ෂොක් එකක් බවට පත්වෙමින් තිබෙන බවක්ද පෙනෙන්නේය. ඔහු ඉන් හරියටම වසර දෙකකට පසුව කියන්නේ කුමක්ද? 

මම 2017දී ආණ්ඩුව පෙරළනවා්‍.

මහින්ද මේ කතාව කියන්නට තෝරාගත්තේ කොළඹ මූලික කොටගත් විදෙස් මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ඔහු මේ සාකච්ඡාව පැවැත්වීමට තෝරා ගත්තේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසය.

රාජකාරි මේසය පසුපස අසුන්ගෙන මහින්ද විදෙස් මාධ්‍යවේදීන්ට කතාකළේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. සුපුරුදු කුරහන් සාටකය සහිත ඇදුමක් වෙනුවට කොටු සහිත කමිසයකින් සහ සරමකින් ඔහු සැරසී සිටියේය. තමන්ගේ ෂොක් පරාජයෙන් පසුව විදෙස් මාධ්‍යවේදීන් සමූහයකට මහින්ද සාකච්ඡාවක් ලබාදුන් පළමු අවස්ථාවද එය විය. 

ප්‍රභාකරන් පරාජය කරන බව මම කිව්වා. මම ඒක කළා. මට ඒ විශ්වාසයම මෙතනදිත්  තිබෙනවා. මහින්ද කිව්වේය. පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණත් වත්මන් දේශපාලන තත්ත්වය සළකා බැලීමේදී ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් විය හැකි යැයිද මහින්ද සඳහන් කළේය. ඒගොල්ලො එකිනෙකා ගහගන්නවා. මේ විදියට ඉස්සරහට යන්න බෑ. ඒක රටට හොඳ නෑ. මහින්ද ප්‍රකාශ කර තිබුණි.

එහිදී විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද මහින්ද මෙසේ උත්තර දී තිබුණේය.

ප්‍ර.- 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයකුට පත්වෙන්න පුළුවන් දෙවතාවක් පමණයි. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව ඔබට රටේ නායකයා  වෙන්න බෑ නේද?

පි. - මට මේ රටේ නායකයා වීමට අදහසක් නෑ. රටේ නායකයා නොවී මට රට පාලනය කරන්න පුළුවන්.

ප්‍ර. - වත්මන් ජනාධිපතිවරයා යටතේ ඔබට අගමැති පදවියේ වැඩ කරන්න පුළුවන්ද?

පි. - දැන් ඉන්න අගමැතිවරයාට ඒ දේ කරන්න පුළුවන් නම් 1970 ඉඳලා හොඳට අඳුරන පුද්ගලයෙක් එක්ක මට වැඩ කරන්න බැරිද? එහෙම තත්ත්වයක් උදාවුණොත් ඒ දේ වෙන්නේ මට අවශ්‍ය කොන්දේසි අනුවයි.

ප්‍ර. - ශ්‍රී.ල.නි.ප.ය බෙදිලා පළාත් පාලන මැතිවරණයට ගියොත් ඒ වාසිය යන්නේ එ.ජා.ප.ය.ට නේද?

පි. - මම ඒ කතාව පිළිගන්නේ නෑ. මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරලා එ.ජා.ප. පාක්ෂිකයෝ විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැළකී ඉදීවි.

ප්‍ර. - අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඔබගේ සහයෝගය දෙනවද?

පි. - ඒකට සහයෝගය දෙනවද නැද්ද කියල මට කියන්න පුළුවන් ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ මතය ප්‍රකාශ කළාමයි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් වෙයිද කියල මට සැකයි.

ප්‍ර. - හම්බන්තොට වරාය චීනයට පැවරීම හා ඒ පළාතට චීන ආයෝජන ලැබීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

පි. - චීනයට ඉඩම් අක්කර 15,000ක් පැවරීමට මම විරැද්ධයි. මම ඒ ගැන චීන සමාගමකටත් දැනුම් දුන්නා.

ප්‍ර. - ඉන්දියාව යුද ජයග්‍රහණයට දායක වුණා කියලා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කරන ප්‍රකාශය නිවැරදිද?

පි. - ඔව්.

ප්‍ර. - ඔබට සහයෝගය දැක්වූ ඉන්දියාව පසුව වෙනස් වෙන්න  හේතුව මොකක්ද?

පි. - වැරදි අවබෝධයන්. ඒ වගේම ඇමරිකානු බලපෑමත් එන්න ඇති.

ප්‍ර. - පසුගිය ජනාධිපතිවරණයෙන් ඔබ පරාජයට පත්වුණේ ඇයි?

පි. - ඇමරිකාව, ඉන්දියාව හා එරට රෝ ඔත්තු සේවය සහ බටහිර රටවල මැදිහත් වීම නිසා මට ඒ මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දෙන්න බැරිවුණා. ඒ වැඩපිළිවෙළ 2011 සිට ආරම්භ වෙච්ච වැඩපිළිවෙළක් යැයිද පැවසීය. 

මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ මහින්දගේ නිල නිවෙස, සෞඛ්‍ය ඇමැති ධූරය දැරූ කාලයේ මෛත්‍රීපාලගේද නිල නිවෙස විය. ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවද මාස කීපයක්ම මෛත්‍රීපාල රාජකාරි කළේ මේ නිවහනේම රැඳී සිටිමිනි. ඒ කාලයේ එහි බිත්ති ලෝ ප්‍රකට කොමියුනිස්ට් නායකයන් වූ කාල් මාක්ස් සහ ලෙනින්ගේ ආලේඛ්‍ය චිත්‍රවලින් සැරුසී තිබුණි.

කෙසේ වුවද මහින්ද එම නිවහන නිල නිවෙස බවට පත් කරගැනීමෙන් පසුව වෙනම පින්තූර සෙට් එකක් බිත්තියේ එල්ලන්නට ගෙන ඇවිත් තිබේ. ඒ සියල්ලම තමන්ගේ සහ තම පවුලේ ජායාරූප වීම විශේෂයකි. වෙනෙකක් තබා තේ පැන් පිළිගැන්වු බඳුන්වල පවා රාජපක්ෂ පරපුරේ අනන්‍යතාව පෙන්නුම් කරන කුරහන් සාටකය මුද්‍රණය කර තිබුණේය.

තමන් සහ තම පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප වලින් සැරුසුණු බිත්ති මැද කුරහන් සාටකය මුද්‍රිත තේ පැන් බඳුන්වලින් සංග්‍රහ කළද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ මහින්ද යළි බලයට පැමිණීමට නම් එය සිදුවීමට ඉඩකඩ ඇත්තේ මෛත්‍රීපාල සමඟ සිදුවන සමගි සන්ධානයක් හරහා පමණක් බවය. මෛත්‍රීපාල ජනාධිපති යටතේ අගමැති පදවිය හෙබැවීමට මහින්දට ඇති අවස්ථාව කොපමණදැයි ගණන් බැලිමට පවා සමහරැන් පෙළැඹී සිටින බවද සමහර විචාරකයන්ගේ මතයයි.

එසේ ගණන් බලන පිරිසගේ මතය නම් වන්නේ එවැන්නකට දැනට තිබෙන ඉඩකඩ නම් ඉතා පටු බවය. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද දක්වන ජාතිකවාදී ආගම්වාදී ආකල්පවලට මෛත්‍රීපාල මෑතකදීත් පහරදී තිබුණි. එසේම මහින්ද මේ මාධ්‍ය හමුවේදී මෛත්‍රීපාල විවේචනය කරන ගමන් ඔහු සමඟ එකතු වී වැඩ කිරීමට තිබෙන හැකියාව ගැනත් එකවිට කතාකර තිබීමත් විශේෂයකි. ඔහු මට ජනවාරි 09 වැනිදා සිටම පහර ගැහැව්වා. මාස දෙකක් මම ඔහු ගණන් නොගෙන හිටියා. නමුත් ඊට පස්සෙ උත්තර දෙන්න මට සිදුවුණා. මා යළිත් දේශපාලනයට එන්න පෙළඹුවේ ඔහු මට සැලකූ ආකාරය නිසායි මහින්ද කියා තිබුණේය. 

මම දැන් ඉන්න ශ්‍රීලනිප නායකයා දන්නේ 1970 ඉඳන්. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ වැඩකරනවා. ඔහු මා සමඟ බොහෝ කාලයක් වැඩ කරලා තියෙනවා යැයිද මහින්ද පවසා තිබුණි. 

මහින්ද සමඟ මේ සාකච්ඡාවට ජී.එල්.පීරිස් ද සහභාගි වී සිටියේය. මහින්ද අසළින්ම අසුන්ගෙන සිටි ඔහු පැවැසුවේ ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ තරගකරන බවය. අලුත් පක්ෂයේ නායකත්වයට හිටපු ජනපතිවරයා පත්වනු ඇති බවට ඔහු තුළ ඇති බලාපොරොත්තුවද ජී.එල්. එහිදී හෙළි කෙරුවේය. ශ්‍රීලනිප පාක්ෂිකයන් තම පක්ෂය වටා රොක් වී ඡන්දය ජයගනු ඇතැයිද ජී.එල්. බලාපොරොත්තු වන බවක්ද පෙනෙන්නට තිබිණි.

කෙසේ වුවද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ ශ්‍රීලනිපය තමන්ගේ ප්‍රශ්න පැත්තකින් තබා එකට එකතු වී තරග නොකළහොත් පළාත් පාලන මැතිවරණයේ වාසිය යූ.එන්.පියට අයිතිවීම වැළැක්විය නොහැකි බවය. එක් අයකු ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ නායකත්වය දුන්නත් අලුත් පක්ෂයට ශ්‍රීලනිප පාක්ෂිකයන් විශාල ප්‍රමාණයකගේ සහාය ලබාගැනීමට හැකියාවක් නැති බවයි. ඔහුගේ නායකත්වයෙන් අලුත් පක්ෂ ඡන්දයට බලපෑමක් කළ හැකි වුවද එය ඔහු යළිත් නායකත්වයට එන බවට සහතිකයක් නොවන බවද තවත් විචාරකයෙක් කියයි. මේ අතර තවත් ප්‍රකට විචාරකයෙක් කියා තිබුණේ ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත් ප්‍රබල තුන්වැනි බලවේගය මහින්ද නිර්මාණය කරමින් සිටින බවය. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වයට ස්ථිර වෙනසක් ගෙන දෙනු ඇති. නමුත් මේ අවස්ථාවේදී නම් මහින්ද රාජපක්ෂ යළිත් මේ රටේ අගමැති හෝ ජනාධිපති වීමට අවස්ථාවක් නැහැ යැයිද ඔහු පවසයි. 

මහින්ද 2017දී ආණ්ඩුව පෙරළන කතා කියමින් ඉදිරියට එනවිට ආණ්ඩුවේ නායකයෝ කරන්නේ කුමක්දැයි සොයා බැලිය යුතුය. පෙනෙන විදියට නම් ආණ්ඩුව ආර්ථික වශයෙන් නම් සිටින්නේ අවදානම් සාධක ගණනාවක් හිසින් දරා ගෙනය. නව වසරට ආණ්ඩුවේ කිරිබත ඉදෙන්නේ ආර්ථික ගින්දරක් මැදින් බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. මේ බව ගෙවී ගිය වසරේ ආණ්ඩුවේ නායකයන්ම කීප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබුණි.
මේ බරපතළ ආර්ථික ගිනිකන්ද පිපිරීමට පදනම වැටුණේ 2012 වසරේදී බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. මේ ගැන ආර්ථික විශ්ලේෂකයන් විසින් එකල පාලකයන්ට කළ සියලු අනතුරු ඇඟවීම් බීරි අලින්ට වීණා වැයීමකට වඩා වෙනස් වූයේ නැත. අර්බුදය මඟහරවා ගැනීමට පියවර ගන්නවා වෙනුවට පවතින ආර්ථිකය සුවපහසු යහනාවක් බව පෙන්වීමට සමහරුන් උත්සාහ කළ බවද පෙනෙන්නට තිබිණී. ආර්ථික දත්ත සියුම් ආකාරයට වෙනස් කිරිමද ඒ කාලයේ සිදුවිය. ආර්ථික වර්ධන වේගය, ජීවන වියදම් දර්ශකය පමණක් නොව රැකියා වියුක්තිය පවා සංඛ්‍යාත්මකව පෙන්වූයේ සුබවාදී පින්තූරයක් මැවෙන ආකාරයටය.

එසේ තිබියදී 2015දී බලයට පැමිණි ආණ්ඩුව ආර්ථිකයේ ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතුව තිබිණි. අනතුරු ඇඟවීමකින් තොරවම මේ ආර්ථික ගිනිකන්ද පුපුරා යන ලකුණු හැම අතින්ම පහළ වෙමින් පැවැතුණද ආණ්ඩුව එවැනි අර්බුදයක් පිළිබඳව හැමවිටම නිහඬ විය. අර්බුදයට විසඳුම් සෙවීම තබා එහි ස්වභාවය හඳුනාගැනීමට පවා උත්සාහයක් දැරූ බවක් පෙනෙන්නට නැත. ගෙවී ගිය වසර දෙක තුළදී මේ ආණ්ඩුව රටේ ආර්ථිකය අර්බුදයෙන් ගොඩ දැමීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසුවොත් ලැබෙන පිළිතුර බින්දුව මිස වෙනකක් නොවේ. ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක් සකසා ගැනීමට රජයට තවමත් හැකි වී නැතැයි බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. 

මේ තත්ත්වය මැද්දේ එළඹෙන 2017 වසර සහ පසුව එළඹෙන කාලය රටට යහපතක් වනු ඇතැයි පැවැසීම අපහසුය. රටේ මුළු ආර්ථිකයම ගිලගනිමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුව ඉක්මණින්ම ක්‍රියාත්මක වීම අවශ්‍යය. 

එසේ වුවද අපට පෙනෙන්නට තිබෙන්නේ ආර්ථික අර්බුදයට අමතරව ආණ්ඩුව ඇතුළේද වර්ධනය වෙමින් පවතින අර්බුදයද පුපුරායාමට ආසන්න තත්ත්වයේ පවතින බවය. සිකුරාදා (30) වනවිට දේශපාලන කරළිය පුරා පැතිර තිබුණේ පක්ෂ මාරු ගණනාවක් සිදුවීමට තිරය පසුපස සූදානමක් තිබෙන බවය. යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශ්වය වන යූ.එන්.පීයෙත් ශ්‍රීලනිපයටත්, ශ්‍රීලනිපයෙන් යූ.එන්.පීයටත් මැති ඇමැතින් මාරු වීමට පිඹුරුපත් සැකසෙන බව දැනගන්නට ලැබිණි.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවද 2017 වසර ආරම්භ වන්නේ දේශපාලන ගිනි කන්දක් මත බව පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ තමන්ගේ නිල නිවහනේ සිට එදා සිදුකළේ හරියටම නිලය බලා ඇනීමක් යැයි කෙනකුට සිතුණොත් පුදුම වීමට දෙයක් නැත.

ශශින්ද්‍ර