2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ජෝර්ජ් කීට් පේරාදෙණියට එයි

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

1958 දී පේරාදෙණිය සරසවිය තුළ පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනය තම කලා ජිවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වූ බව ජෝර්ජ් කීට් මට පසුව පැවසීය. ඒ වනවිට කොළඹ චිත්‍ර ශිල්පීන් හා විචාරකයින් අතර ඔහුට ගෞරවනීය තැනක් හිමිව තිබුණේය. මුලින්ම ලයනල් වෙන්ඩ්ට්ගේ හතළිස් තුනේ කණ්ඩායමට අයිති වූ ඔහු පසුව හැරල්ඩ් පීරිස් නමැති ධනවත් චිත්‍ර ශිල්පියා හා අනුග්‍රාහයකයාගේ ඇසුර ප්‍රිය කළේය. හැරල්ඩ් පීරිස් විවාහ වී සිටියේ ජෝර්ජ් කීට් ගේ සහෝදරිය වූ පෙගී සමඟය.

හතළිස් තුනේ කණ්ඩායම සමඟ එක්වූ කීට් පසුව අවුරුදු කිහිපයක් ඉන්දියාවේ ගත කළේය.  ඔහු වැඩිපුරම විසුවේ බොම්බායේය. ඉන් පසුව ඔහු කල්කටාවේද කලක් ගත කළේය. දෙවන මහ යුද්ධය අවසන් වු යුගයේ බොම්බාය ඉන්දියාවේ වඩාත්ම ජාත්‍යන්තර කලාවට නැඹුරු වූ නගරය විය. එය විවිධ ඉන්දියානු ජාතිකයන් පමණක් නොව විදේශිය ජාතිකයන්ගේද වාසස්ථානයක් විය. එපමණක් නොව එය වාමවාදී, වෙසෙසින්ම කොමියුනිස්ට් කණ්ඩායම්වල මර්මස්ථානයක් ද විය. එම යුගය ගැන සඳහන් පොත්පත්වල කීට්ගේ මිතුරන් වූ මුල්ක් රාජ් ආනන්ද් හා චිත්‍ර කලා විචාරක කාල් කන්ද වාලා ගැන සටහන් තබා ඇත.  මීට අමතරව ලාංකිකයන් වූ පීටර් කේනමන් හා අනිල් ද සිල්වා මැතිනිය ගැනද සඳහන් වී තිබේ. මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වාගේ දියණියක වූ අනිල් ද සිල්වා පසුව විජියර් නමැති ප්‍රංශ ජාතිකයෙකු විවාහ කරගෙන පැරිසියේ පදිංචියට ගියාය. එවකට පැරීසියේ සිටි ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර ශිල්පීන් හා සෙසු කලාකරුවන් ඈ ළඟින් ඇසුරු කළාය. ඔවුන් අතුරින් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ලා කාබුසියේ නමැති සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියාගේ සහකාරිය හැටියටයි. ඔහු විසින් ඇයට එවන ලද ලියුම් කියුම් හා කටුසටහන් මෑතකදී ග්‍රන්ථයක පළකර තිබේ.

මේ යුගයේදී ජෝර්ජ් කීට් වඩාත් ඇසුරු කළේ වාමවාදි කලාකරුවන්ය. ඔවුන් චිත්‍ර ශිල්පය හා සාහිත්‍යය පමණක් නොව වේදිකා නාට්‍යය තුළත් විප්ලවයක් කළ අයයි. පසුව හින්දි සිනමාවේ බල්රාජ් සහානි වැනි දක්ෂ නළුවන් මුලින්ම පිවිසියේ මෙම වාමාංශික වේදිකා නාට්‍ය කලාව හරහාය. සුප්‍රසිද්ධ කලා සඟරාවක් වූ “මාර්ග්ද” උපත ලැබුවේ බොම්බායේදීය.  කාල් කන්ද වාලා හා මුල්ක් රාජ් ආනන්ද්ගේ කර්තෘත්වයෙන් පළ වූ මේ සඟරාවේ පිටු අතර කීට්ගේ රේඛා චිත්‍රද ඔහුගේ චිත්‍ර කලාව ගැන විචාර ලිපිද දක්නට තිබේ. මා පාසල් සිසුවෙක්ව සිටි කාලයේ “මාර්ග්” සඟරා කිහිපය පරණ පොත් සාප්පුවකින් මිලදී ගත්තෙමි.  කුඩා කාලයේ පටන්ම චිත්‍ර කලාව රස විඳීමට මෙම සඟරා ගොන්න මට මහත් පිටුවහලක් විය. එම කාලයේදීම පිටවූ  සිංහල “සංස්කෘති” සඟරාවද මට හමුවිය.  “මාර්ග්” සඟරාවත් “සංස්කෘති” සඟරාවත් කලාව හා සාහිත්‍යය පිළිබඳ උසස් ගණයේ දැනුමක් මා තුළ ඇති කළේය. “ සංස්කෘති” සඟරාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන ලේඛකයා වූ අමරදාස වීරසිංහ ගිය සතියේ අභාවප්‍රාප්ත විය. ඔහු සිංහල සාහිත්‍යය හා සිනමාව පිළිබඳව රස විඳීමට බොහෝ දෙනාට මඟ පෙන්වූ උසස් ගණයේ සාහිත්‍යධරයෙකි.

ඉන්දියාවෙන් ආපසු පැමිණි ජෝර්ජ් කීට් පිටරට මෙන්ම කොළඹ අග නගරයෙන්ද ඈත්වී මහනුවර සිරිමල්වත්තේ පදිංචි විය. ඒ ඔහුගේ සිංහල භාර්යාව වූ මැණිකේගේ ගම ගුන්නෑපාන වූ නිසාය. මැණිකේ ලයනල් වෙන්ඩට්ගේ ප්‍රියතමයෙක් වූ ශ්‍රී ජයනා ශූරීන්ගේ වැඩිමහල් සහෝදරිය වූවාය. උඩරට සුප්‍රසිද්ධ නැටුම් පරපුරකින් පැවත ආ ජයනා හා ඔහුගේ සහෝදරිය කොළඹ ඉහළ පන්නයේ කලාකාමීන් විසින් මහ ඉහළින් පිළිගන්නා ලදී. මේ වනවිට ජෝර්ජ් කීට්, ප්‍රේම් හා සචින් නමැති කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියාව සිටියේය. ඒ අනුව ඔහු මහනුවර අසල රැඳී සිටීමට තීරණය කර තිබුණේය. මේ කාලය ඔහු උසස්ම ගණයේ නිර්මාණ ඉදිරිපත්කළ යුගයකි. වෙසෙසින්ම භාරතීය හා බෞද්ධ දේව කථා මෙන්ම “නායිකා” නමින් කාන්තා රූප සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු නිර්මාණය කළේය.  ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ඔහුව ලුහුබැඳීමට පටන් ගත්තේය. යුද සමයෙන් පසුව හා බොම්බායේදි කීට්ව හඳුනාගත් මාටින් රසල් ඔහුගේ චිත්‍ර විශාල ප්‍රමාණයක් එක්රුස් කරගත්තා පමණක් නොව එම රූප ඇතුළත් වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද පළ කළේය. මාටින් රසල් සුප්‍රසිද්ධ දර්ශනවාදියා වූ බර්ට්‍රන්ඩ් රසල්ගේ ඥාතිවරයෙකි.  

මා 1980 ගණන්වල ප්‍රංශයේ ජීවත්වන කාලයේ කීට් මට කතා කර ප්‍රංශයේ ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කළ හැකිදැයි විමසීය. මා එකල යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කළ නිසා එම ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක් ඒ සඳහා යොදාගත හැකි බව මට වැටහුණේය. ඊට අවශ්‍ය චිත්‍ර මාටින් රසල්ගෙන් ලබාගන්නා ලෙස කීට් මට උපදෙස් දුන් බැවින් මා මාටින්ට ලියුමක් ලියා පසුව දුරකථනයෙන් ද ඇමතුවෙමි.  ඒ වනවිට මාටින් රසල් හොඳටම වයස්ගතව සිටියේය. ඔහු සතු චිත්‍ර විශාල මුදලකට රක්ෂණය කිරීමට අවශ්‍ය වූ නිසා ඔහු තම චිත්‍ර පැරිසියට එවීමට අකමැති විය. නූතන චිත්‍ර කලා ලෝකයේ මර්මස්ථානය වන පැරිසියේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කීට් තුළ ඇති වු ආශාව එයින් ව්‍යර්ථ විය.  කෙසේ වුවත් එහි හොඳ ප්‍රතිඵලයක් ඇති විය.  එයින් රසල්ගේ චිත්‍ර එකතුව ගැන ප්‍රසිද්ධියක් ලැබුනෙන් කල් යෑමේදි ලංකාවේ ජෝන් කීල්ස් සමාගමට විශාල මුදලක් ගෙවා ඒවා මිලයට ගෙන ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන් විය.  එයට මුල්වී කටයුතු කළේ එම සමාගමේ සභාපතිවරයා වු මා මිතුරු කෙන් බාලේන්ද්‍රය.  ඒත් සමඟම ජර්මනියේ ප්‍රසිද්ධ සංචාරක සමාගමක ප්‍රධානියා වූ එන්ගල් මහතා ජෝර්ජ් කීට් සමඟ මිතුරු වී ඔහුගේ චිත්‍ර කිහිපයක්ම මිලදි ගත්තේය. එම චිත්‍ර දැන් කොළඹ සිනමන්ලේක් හෝටලයේ ප්‍රදර්ශනය කර තිබේ.

පේරාදෙණියේ පැවැත් වූ චිත්‍ර ප්‍රදර්ශනය තුළින් පිළිබිඹු වූයේ චිත්‍ර ශිල්පියා නැවතත් මහනුවර ස්ථීරවම පදිංචියට පැමිණි බවයි. ඒ සමගම ඔහු පේරාදෙණිය සරසවියේ ඉයන් ගුණතිලක, රල්ප් පීරිස් හා මහාචාර්ය එස්.බී. දිසානායක සමඟ දැඩි මිත්‍රත්වයක් ඇතිකර ගත්තේය.

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00