- කිෂු ගෝමස්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ කීර්තිමත් විධායක නිලධාරියකු වන කිෂූ ගෝමස් මහතා සමඟ රට මුහුණ පා තිබෙන ආර්ථික, රාජ්‍ය ව්‍යාපාරික ප්‍රතිපත්ති, ඍජු විදේශ ආයෝජන, දේශීය කර්මාන්ත, නිෂ්පාදන හා ශ්‍රම බලය සම්බන්ධයෙන් දේශය කළ සාකච්ඡාවයි.
ඔබ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම ගිය විධායක නිලධාරියෙක්. ඔබ මේ රජය ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරන ගනුදෙනු ගැන දකින්නේ කොහොමද?
රජයක් හැටියට එක මතයක් දැක්මක් තීරණය කර එකට ගමන් කිරීමේ වැඩපිළිවෙළේ අඩුපාඩුකම් මම දකිනවා. සමහර වෙලාවට වගකිවයුතු අමාත්‍යවරුන් එකිනෙකා එක් එක් දේ කියනවා. මේ රජයේ විතරක් නෙවෙයි, ලංකා ඉතිහාසය පුරාම දේශපාලනය තුළ තිබුණු ගැටලුවක් මේ. විශේෂයෙන් මෑත ඉතිහාසයේ දී. ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය ඉතාමත් අඩු මට්ටමක තියෙන නිසා ප්‍රතිපත්ති පැහැදිලිභාවයක් සහ නිවරැදිභාවයක් නෑ කියලයි මම හිතන්නේ. එනිසා මේ සම්බන්ධයෙන් වෙනසක් අවශ්‍යයි.
එහෙම නම් අපේ ප්‍රතිපත්තිවල වැරැද්ද තියෙන්නේ කොතැනද?
දේශීය කර්මාන්ත ගොඩනගන්න ඕනෑ, දේශීය නිෂ්පාදන වැඩි කරන්න ඕනෑ, පිටරටට ගලාගෙන යන අපේ වත්කම් නවත්තගන්න ඕනෑ කියලා නිරන්තරයෙන්ම ආණ්ඩු විසින් මේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නට යෙදුණත් ඒ ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධව වැඩ කරන අවස්ථාවල් අපි දකිනවා. දේශීයව භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය ගෙන්වන සමාගම් හා නිමි ද්‍රව්‍ය ගෙන්වන සමාගම් අතර බදු වෙනස 13% ක් තිබුණා. නමුත් පහුගිය අයවැයෙන් 7% දක්වා අඩු කළා. එතකොට මොකක්ද ලංකාවේ නිෂ්පාදනය කරගෙන යන සමාගමකට තියෙන ප්‍රතිලාභය?
අප රටේ නිෂ්පාදන අඩුවෙන්න හේතුව ඒක විතරද?
ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි විශාල වෙළෙඳපොළක් එක්ක සංසන්දනාත්මකව බලද්දි කුඩා වෙළෙඳපොළක් තියෙන රටක් වන ලංකාවේ නිෂ්පාදන වියදම ඉතාමත් වැඩියි. ඒ නිසා එම රටවල්වලින් භාණ්ඩ ආනයනය කර විකිණීම ලංකාවේ නිෂ්පාදනය කරනවාට වඩා ලාභ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ශ්‍රමය විකිණෙන්නෙත් ඉහළ මිලකට. ඊට අමතරව විදුලි හා ජල පරිභෝජන වියදම අධිකයි, ප්‍රවාහනය සඳහා ගතවන කාලය අධිකයි. වියදම කාර්යක්ෂමතා ඉතාමත් අඩුයි. මේවා ඍජුවම බලපානවා නිෂ්පාදනය අඩුවෙන්න.
රටක ආර්ථිකය ඒ රටේ රජයේ ප්‍රතිපත්ති මත තමයි රැඳිලා තියෙන්නේ. එතකොට මේ වැරැද්ද කොතැනද තියෙන්නේ?
පහුගිය වසර 15, 20 තුළවත් ව්‍යාපාර සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති තිබිලා නෑ. ඒ කියන්නේ ව්‍යාපාර රඳාපවත්වාගෙන යා හැකි ප්‍රතිපත්ති තිබිලා නෑ. ඇත්තටම පහුගිය කාලය තුළ ලංකාවට ආයෝජකයෝ ඇවිල්ලා නෑ. ඉන්න ආයෝජකයොත් යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. එයට හේතුව ප්‍රතිපත්ති ඉක්මනින් වෙනස් වීමේ ස්වභාවය. එය නිවැරදි කළේ නැත්තම් අපේ රටේ නිෂ්පාදනය ගොඩනගන්න බෑ. අපේ වත්කම් ප්‍රසාරණය වෙන්නෙත් නෑ. එබැවින් මේ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් අවශ්‍යයි.
රට දැනට බරපතළ ආර්ථික ආර්බුදයක ගිලී සිටින බවක් සඳහන් වෙනවා. රටේ සැබෑ ආර්ථික තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?
ඉදිරිපත් වෙන දත්ත අනුව රටේ ආර්ථිකය නරක තත්ත්වයක තමයි තියෙන්නේ. ඒත් එක්කම අපි වගේ හිටපු රටවල්වලටත් රටේ ආර්ථිකය දියුණු කරන්න ණය ගන්න සිද්ධවෙලා තියෙනවා. පහුගිය රජය ණය ගත්තා කියලා අපි දෝෂාරෝපණය කරනවා. නමුත් මේ රජය විසින් අඩුවෙන් ණය ගැනීමක් මම දකින්නේ නෑ. ණය ගැනීම වරදක් නෙවෙයි. රටට අවශ්‍ය ආදායමක් තියෙනවා නම්, ඒ ණය නියම ආකාරයෙන් ආයෝජනය කර රටේ ඉදිරි අනාගතය සකස් කරනවා නම්, ණය ගෙවීමේ හැකියාව තියෙනවා නම්, දියුණු වෙන්න තියෙන කෙටිම මාර්ගය එයයි.
සයිටම් ගැටලුව, විදුලි වර්ජනය, බදු ප්‍රශ්නය ආදී කාරණාවලදී මේ රජය ප්‍රශ්න විසඳන්න තියෙන අවස්ථා බොහෝමයක් මඟහරින බවක් පේනවා. ඇයි මෙහෙම වෙන්නේ. ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ ප්‍රශ්නයක් ද මේවා?
මම පෞද්ගලිකව වර්ජනය යන කාරණයට කැමති නෑ. වැඩ කරන මිනිස්සුන්ට වර්ජනය කරන්න වෙලාවක් නෑ. වර්ජන කරන්නේ කරන්න වැඩ නැති රාජ්‍ය ආයතනවල තමයි. නැත්තම් පෞද්ගලික අංශයෙත් වර්ජන තියෙන්න ඕනෑ. පෞද්ගලික අංශයට ඇතුළත් වුණාට පස්සේ උදේ සිට හවස් වනතුරුම රාජකාරි තියෙනවා. එහි වැඩ කළොත් ප්‍රතිලාභත් ලැබෙනවා. තමන්ගේ දක්ෂතාවය අනුව හම්බ කිරීමේ, උසස් වීම් ලබාගැනීම හෝ තත්ත්වය උසස් කර ගැනීම හා පඩි වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා. වර්ජනවලට හේතුව රජය තුළ එවැනි ප්‍රතිපත්තියක් නැතිකම.
වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නම්?
රජය සියලු දෙනාට සාධාරණ ප්‍රතිපත්ති මාලවක් තුළ සාධාරණයක් වෙන ක්‍රියාපටිපාටියක් සකස් කරගත යුතුයි. සියලු දෙනාටම නිවැරදි ආකාරයෙන් සැලකිය යුතුයි. නමුත් රටට ආදරය කරන පුද්ගලයෙක් හැටියට කියන්නේ වර්ජන යනු අද කළ නොයුතු තත්ත්වයක්. මොන පක්ෂයෙන් කළත් කුමන කාල සීමාවක කළත් කුමන ආයතනයේ කළත් එය වැරදියි.
මේ ආණ්ඩුව එනකොට ඍජු විදේශ ආයෝජන ගැන මේ ආණ්ඩුව විශාල විශ්වාසයක් තියාගෙන හිටියා. ඒත් එහෙම බලාපොරොත්තු වුණ විදිහට වුණේ නෑ.
ප්‍රථමයෙන් කලාපය තුළ සහ ලෝකය තුළ තිබෙන තරගකාරිත්වය අවබෝධ කරගත යුතුයි. ආයෝජකයෝ එන්න නම් අනිත් රටවල්වලට සාපේක්ෂව යම් කිසි දෙයක් ආයෝජකයන්ට අපෙ රටේ තිබිය යුතුයි. ඒ ආයෝජකයන් පැමිණෙන්නේ යම් කිසි දෙයක් ලබාගැනීම සඳහා. අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ලංකාවට ආදරෙන් ආයෝජනය කරලා ලංකාව සංවර්ධනය කරයි කියලා, ඒක සිද්ධවෙන්නෙම නැති පුහු මතයක් විතරයි. ආයෝජකයෝ එන්නේ ඒ අයට වාසියක් වන වාතාවරණයක් තියෙනවා නම් පමණයි.
එහෙනම් ඔවුන්ගේ කලාපයේ අනික් රටවල් කරා ආයෝජකයන් යන්නේ?
මියන්මාරය, වියට්නාමය, චීනය වගේ රටවල්වල අසුභවාදී අහිතකර ප්‍රතිපත්ති තිබුණත් ඒ රටවල්වල ආයෝජකයන්ගේ නැඹුරුවක් තියෙනවා. හේතුව ඒ රටවල්වල දේශීය වෙළෙඳපොළේ ප්‍රමාණය අපේ වෙළෙඳපොළට වඩා විශාලයි. එනිසා ඔවුන්ට අඩු වියදමින් තරගකාරී මට්ටමකින් තමන්ගේ නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් ලංකාවේ ජනගහනය මිලියන විසි එකයි. ඒ තුළත් පාරිභෝජන සීමාවන් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න බෑ. නමුත් ප්‍රතිපත්තින් වෙනස් කරගත හැකිය. ලෝකයේ ප්‍රවණතාවය අනුව ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් ස්ථිර ඉලක්කයක් ඇතිව ගමන් කළ යුතුයි. රජය මාරුවන විට ඇමැතිවරු මාරුවන විට කාලෙන් කාලෙට ප්‍රතිපත්ති මාරැවෙනවා නම් මේ ගැටලුව නිරාකරණය වෙන්නෙත් නෑ.
ලංකාවට චීනයේ ආයෝජනය වැඩියි, ලංකාව චීනයේ කොළනියක් වෙයි, මේවා ව්‍යාපාරික ආයෝජන නෙවෙයි, කලාපයේ දේශපාලන ආයෝජන කියලත් චෝදනා එල්ල වෙනවා.
මම දකිනවා චීනෙන් කොන්ත්‍රාත්තු අරගෙන ගොඩනැගිලි හදනවා. නමුත් එවැනි දේ සිද්ධවෙනවද කියන්න මම දන්නේ නෑ. ඉන්දියාවට ව්‍යාපෘතියක් දෙනකොට චීනෙටත් දෙනවා. චීනෙට දෙනකොට ඉන්දියාවටත් දෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ අය මත ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දැනගන්න ඕනෑ ඒ රටවල් එක්ක, ඒ රටවල්වල තියෙන ශ්‍රමය එක්ක, ඒ රටවල්වල තියෙන දැනුම එක්ක අපිත් තරග කරන්න අවශ්‍යයි. මේ ලෝකය තුළ අපි රටක් හැටියට වෙන්වෙලා නෑ. වෙන්වෙලා ඉන්නත් බෑ. වෙනත් රටවලින් අපේ රටට ඇවිත් තරගය එනකොට අපිටත් පුළුවන් වෙන්න ඕනෑ චීනයට, ඉන්දියාවට, අමෙරිකාවට ගිහින් තරග කරන්න. ඒ හැකියාව අපට තියෙනවා. නමුත් කීයෙන් කීදෙනාද කරන්නේ. මේ චින්තනයට රටේ ප්‍රතිපත්ති අනුකූලයි ද යන්නත් ප්‍රශ්නාර්ථයක්.
මේවා අධ්‍යාපනය තුළින් කළ යුතු දෙයක් නේද?
ඔව්. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. දැනුම දැනුම සඳහා පමණක් නොව වානිජමය වටිනාකමක් ඇති දැනුමක් බවටත් පත් කළ යුතුයි. විකිණිය හැකි දැනුම දිය යුතුයි. අපේ ළමයි තුළින් ලෝකය ඉල්ලන දැනුම අපි මෙහෙ නිෂ්පාදනය කළ යුතුයි. එතකොට අපේ ළමයින්ට පුළුවන් ලෝකයේ ඕනෑම තැනකට ගිහින් දැනුම විකුණා උපයන්න. එතකොට ආර්ථිකයත් සංවර්ධනය කරන්න පුළුවන්.
අපේ රටේ ශ්‍රම බලකාය සම්බන්ධයෙන් තිබෙන ගැටලු විසඳන්නෙ කොහොමද?
ශ්‍රම බලකාය සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා. රැකියා නෑ කීවට රස්සා තියෙනවා. රස්සා නැත්තම් නැත්තේ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නිසා මිසක් රටේ ප්‍රශ්න නිසා නෙවෙයි. නොයෙකුත් ආකල්ප තියෙන කම්මැලි අය රස්සාවල් නොමැතිව ඉන්න පුළුවන්. නමුත් තමන්ට දැනුම තියෙනවා නම් ඇගේ ශක්තිය තියෙනවා නම් මානසිකත්වය හොඳින් තියෙනවා නම් දවසකට රුපියල් දාහක් දෙදාහක් හොයාගන්න පුළුවන්. සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රය ආදී නොයෙකුත් කර්මාන්ත හා ක්ෂේත්‍රවල මානව සම්පත හා ශ්‍රම බලකාය ප්‍රමාණවත් නෑ. නමුත් ශ්‍රම බලකායෙන් ලක්ෂ 13 ක් ත්‍රීරෝද රථ රියැදුරෝ, කාන්තාවෝ විශාල සංඛ්‍යාවක් විදෙස්ගතව ගෘහ සේවයේ ඉන්නවා, විදෙස්ගත රියැදුරන්, කාර්මික ශිල්පීන් සහ අනෙකුත් කම්කරුවන් බැලමෙහෙවරකම් කර මසකට උපයන්නේ හතලිස් දාහයි. ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දී වෘත්තිමය පුහුණුවක් දුන්නා විදෙස්ගත නොවී හැත්තැ දාහක් පමණ උපයන්න පුළුවන්.
තවත් චෝදනාවක් තියෙනවා ලංකාව විදේශ ව්‍යාපාරිකයන්ට මුල්තැන දීලා රටේ ව්‍යාපාරිකයන් සමඟ ගිවිසුම් ඇතිකරගෙන ඔවුන් හවුල් කරගන්නේ නෑ කියලා?
ලංකාවේ නිසා විශේෂ වාසි ලැබිය යුතු යැයි ලංකාවේ ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වීම නරකයි. ප්‍රතිපත්තිය සියලු දෙනාට සමාන විය යුතුයි. දේශීය සමාගම්වලටත් තරග කරන්න අවශ්‍ය වාතාවරණයක් ප්‍රතිපත්තිය තුළ සාධාරණ අන්දමින් සැකසිය යුතුයි. දේශීය සහ විදේශීය සමාගම් අතර තරගකාරීත්වය තිබිය යුතුයි. නමුත් දෙපාර්ශ්වයටම එය සාධාරණ විය යුතුයි.
දේශපාලනඥයන්ගෙන් සිදුවෙනවා කියන හොරකම් රටේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ?
අනිවාර්යයෙන් බලපානවා. එදත් වුණා කියලා කියනවා. අදත් වෙනවා කියලා කියනවා. හොරකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ එකිනෙකාට කුලල් කාගන්නවා. එම පක්ෂයේම එම ආණ්ඩුවේම අය සිදු වුණා කියලා පිළිගන්නවා. මේ තත්ත්වය ලෝකයට රට ගැන යන ප්‍රතිරූපයට ඉතාමත් අහිතකරයි. දේශපාලනය තුළ රජය තුළ හොරකම් සිදුවෙනවා නම් ලංකාව කෙරේ කිසි කෙනෙක් විශ්වාසය තියාගනියි කියන්න අමාරුයි. එහෙම විශ්වාස නැති වුණොත් දේශපාලනිකව රාජ්‍ය මට්ටමින් ආර්ථිකමය වානිජමය වශයෙන් හා ව්‍යාපාරික මට්ටමින් අනිවාර්යයෙන්ම රටට අසුභ අයුරින් බලපානවා.
සංවාදය හා සටහන I සකීෆ් සාම් තන්වීරි.
සේයාරූ : සුමුදු හේවාපතිරණ.