2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

සාරිපොටේ හැංගුණු පලහිලව්ව

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

මහනුවර දිස්ත්‍රික්කයට අයත් අලවතුගොඩ ප්‍රදේශයේ පාසලක දැරියන් තුන්සීයක් විතර මනමාලියකගේ මීටර් දෙසීයක් පමණ දිග රෙද්දක් ඔසවා තැබීමට යොදා ගැනීම ගැන මහත් ආන්දෝලනයක් මේ දවස්වල මාධ්‍ය හරහා දක්නට තිබේ. මම හාරිස්පත්තුව ආසනයේ  දේශපාලන සංවිධායක වශයෙන් කටයුතු කළ අතීත කාලයේ අලවතුගොඩ මාගේ ඡන්ද බල කොටුවක් හැටියට සැලකුවෙමි. එම ප්‍රදේශයේ සියලුදෙනාම පාහේ මාගේ මිතුරන් වූහ. එම නිසාම මේ සිද්ධිය ගැන මාගේ විශේෂ අවධානය යොමු විය.

අලවතුගොඩ බලපුළුවන්කාර පවුල්වල සෑම දෙනාම පාහේ මහනුවර හෝ මාතලේ ප්‍රසිද්ධ පාසල්වලට යන අයයි. යථෝක්ත අලවතුගොඩ පළාත් සභා පාසලට යන්නේ එතරම් වත්පොහොසත්කමක් නොමැති අයයි. මෙම මඟුල ගැන මුහුණුපොතේ දක්වන ලද රූපවලින් පැහැදිලිවම පෙනී යන්නේ එම කුඩා දැරියන් බොහෝ දෙනෙකුට ඉහළ වර්ගයේ පාවහන් පවා නොතිබුණ බවයි. අලවතුගොඩ නගරය අසල තේ වතුවල වැඩ කරන වැසියන් බොහෝ දෙනෙක් එදා වේල පමණක් සපයා ගනිමින් තම දරුවන්ට සෑහෙන අධ්‍යාපනයක් දීමට අපමණ වෙහෙසක් දරන අයයි. නගරය අවට කඳු අතර පිහිටා ඇති නිවාස මෙන්ම තේ වතුවල ලැයින් කාමර වෙත මා නොයෙක් විට ගොස් තිබේ. එම නිසා ඒ ජනතාවගේ අසරණකම ගැන මම හොඳින් දනිමි.

හරිහමන් ඇඳුමක් හෝ සපත්තු කුට්ටමක්වත් නැති කුඩා දැරියන් සිය ගණනක් පාන්දරින්ම ගෙන්වාගෙන මහාමාර්ගයේ ප්‍රදර්ශනය කිරීම කොතරම් අමානුෂික ක්‍රියාවක්ද? වත්පොහොසත් අය වෙනුවෙන් මෙසේ බැලමෙහෙවර කරන අතර ඔවුන්ගේ සිඟිති සිත්වල ඇති වන්නේ කුමන සිතුවිල්ලක්ද? එපමණක් නොව දේශපාලන බලය හා සල්ලි බලය ඉදිරියේ අසරණවන ගම්වැසියන් අතර ඇති වන්නේ කවර වහල් මානසිකත්වයක්ද?

ඇත්ත වශයෙන් මේ අදහාගත නොහැකි තකතීරු අමන සිද්ධියෙන් විශාල සමාජ ප්‍රශ්නයක් අප ඉදිරියට එයි. එම ප්‍රශ්නය නම් අපේ සමාජය ගමන් කරන්නේ කුමන දිසාවටද යන්නයි. කිසිසේත්ම පිළිගත නොහැකි සමාජයීය ඉසව්වකට නොවේද අප රට ගමන් කරන්නේ? සිංහල සමාජය ලුම්පන්කරණයට සීඝ්‍රයෙන් ලක්වන බවට මීටත් වඩා ජුගුප්සාජනක උදාහරණ තවත් ඇද්ද? සමාජ සාධාරණත්වය ගැන කෑමොර ගහන දේශපාලඥයින් මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට සම්බන්ධ වන්නේ ඇයි?

සම්ප්‍රදායික සිංහල සමාජය දැන් දැඩි පීඩනයකට ලක්වී සිටී. හොඳින් හෝ නරකින් මුදල් උපයාගත් මුදලාලිලා හා ඔවුන්ගේ දූදරුවන් දෙලොවක් අතර සැරිසරමින් ජුගුප්සාජනක ලුම්පන් ක්‍රියාවන්වල යෙදෙන බව පෙනේ. ඔවුන් පරමාදර්ශ ජීවිතය හැටියට සැලකෙන්නේ තම දෙමව්පියන්ට හුරු වූ පැරැණි සිංහල සමාජ ජීවිතය නොව රූපවාහිනියෙන් හෝ සංගීත සංදර්ශනවලින් මවා පෙන්වන පැන්ටසි ජීවිතයයි. මේ සංස්කෘතික සංදර්ශන බොහෝවිට ආදර්ශයට ගන්නේ පහත් පෙළේ ඉන්දියානු කලා වැඩසටහන්ය. ඉස්සර සිංහල චිත්‍රපට නිෂ්පාදකවරුන් නිතරම කියා සිටියේ හින්දි හා දෙමළ චිත්‍රපට කොපි කොට සාදන ලද සිංහල චිත්‍රපට නිසා නිර්මාණශීලී දේශීය කලාකරුවන්ට අවස්ථා ඇහිරෙන බවයි. ලංකා ඇම්.ජී.ආර්, ලංකා දිලිප් කුමාර් හා ලංකා බෙගම්පාරාලා එකල සිංහල සිනමාව අරක්ගත් අතර ගායනයට ලතා මංගේෂ්කාර්, ජික්කි වැනි අය යොදා ගන්නා ලදී. වඩාත්ම සාර්ථක සිංහල චිත්‍රපට නිෂ්පාදකයා වූ කේ. ගුණරත්නම් හින්දි චිත්‍රපට කොපි කරමින් විශාල ධනස්කන්ධයක් රැස්කර ගත්තේය. 
මේ සිංහල සිනමාව ඉන්දියානුකරණයෙන් මුදා ගැනීමට අලුත පිහිටවන ලද ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ අරමුණ විය.  මා එහි මුල් සභාපතිවරයා වු අතර, සාමාන්‍යාධිකාරී වුයේ ඩී.බී. නිහාල්සිංහය. චිත්‍රපට සංස්ථාවේ මුල් නියෝග පිළිගැනීමට අකමැති වු ගුණරත්නම් බලෙන් තම ඉන්දියානු චිත්‍රපට සිය සිනමාහල්වල ප්‍රදර්ශනය කළේය. රහසින් උසාවි නියෝගයක් ගත් නිහාල්සිංහ සහ මා මැදියමේ එම සිනමාහල්වලට කඩා පැන ඉන්දීය චිත්‍රපට “රීල්” සියල්ලම අප භාරයට ගතිමු. එයින් කෝපයට පත් ගුණරත්නම් ඔහුගේ කල්‍යාණ මිත්‍රයෙකු වු මෛත්‍රිපාල සේනානායක ඇමතිතුමා හරහා අපට හිරිහැර කරන්නට පටන් ගත්තේය. එසේ ද්‍රවිඩ හා හින්දි චිත්‍රපටවලට විරෝධය දැක්වු සිංහල සමාජය දැන් රූපවාහිනිය තුළින් එකල ප්‍රතික්ෂේප කළ සීනිබෝල ලෝකයට සතුටින් ඇතුළු වී තිබේ. කබල් සංගීත සන්දර්ශන සඳහා දහසක් තරුණ තරුණියන් ඇදී එති. ගම්බද පළාත්වල මන්ත්‍රීවරුන් හැටියට අප දන්නා කරුණක් නම් එවැනි සංදර්ශන සඳහා තරුණ තරුණියෝ සැතැප්ම ගණනක් වුවද ඇවිදීමට මැලි නොවන බවයි. දේශපාලන රැස්වීම් ද සාර්ථක වන්නේ එවැනි නැටුම් හා ගැයුම් ඇතුළත් කළ විටයි.  ඡන්දය දුන්නත් නැතත් දහස් ගණන් සෙනග පෙන්වීම දැන් දේශපාලන රැස්වීම් නැමති සංගීත පුටු තරගයේ ලකුණක් වී තිබේ.

එසේනම් මේ ලුම්පන් සංස්කෘතිය කුමක්ද? මාක්ස්වාදි චින්තකයන්ගේ අදහස් අනුව කම්කරු හා දුප්පත් පංතියෙන් එළියට එන ජන කොටසකට උසස් සංස්කෘතියක අග්‍රපල නෙළා ගැනීමට නොහැකිය.  එය ඔවුන් දකින්නේ තමන්ට ග්‍රහණය කළ නොහැකි උසස් “කූල්ටූර්” සමාජයක හරයන් ලෙසටය. මේ ලෝක දෙකටම මැදිවු සමාජ කොටස සන්තර්පනය කරනු ලබන්නේ පහත් පෙළේ ලුම්පන් සංස්කෘතියක් විසිනි. එය කිසිම වැදගත් හර සංග්‍රහයකට අනුබද්ධ නොවන ප්‍රදර්ශනාත්මක සංඛේත එකතු කිරීමක් බවට පත් වේ. පහළ පංතියෙන් එළියට එන අයට ඔවුන්ගේ ජාතික සංස්කෘතියේ මහ සම්ප්‍රදායේ හරයන් සමඟ බද්ධ විය නොහැකිය. එබැවින් ඔවුහු තමන්ගේම ජුගුප්සාජනක සංදර්ශනාත්මක සංස්කෘතියක් නිර්මාණය කරති. බොහෝවිට ඔවුන් තමන් තුළ හීනමානය ඇති කළ ප්‍රභූන්ගේ සංකේත නව අරුතකින් නැවත සංස්කරණය කරති. මඟුල් ඇඳුම මෙයට හොඳ නිදසුනකි. ඉස්සර රදළවරුන්ගේ තුප්පොට්ටිය පැළඳ ගැනීමට බිය වූ බොහෝමයක් අය රෙද්දයි බැනියමයි තම නිල ඇඳුම කරගත්හ. මහජන රුචිය පිළිබඳ හොඳ ඉවක් තිබූ බණ්ඩාරනායක මහතා සිය බටහිර ඇඳුම බැහැර කර රෙද්ද බැනියම හැඳ එසේ නැගී එන මැද පන්තිය සමඟ සංකේතාත්මකව එක්වීමට තරම් උපායශීලී විය. පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන හා ඇස්.ඒ. වික්‍රමසිංහ වැනි වාමාංශිකයන් ද රෙද්දයි බැනියමයි ඇදීමට පටන්ගත්තෝය. දැන් දැඩිව නැඟී එන ලුම්පන් පංතිය රෙද්ද බැනියම බැහැර කර හීනමානය තුනී කිරීමට උඩරට රදළ ඇඳුම  යොදාගෙන තිබේ. අලවතුගොඩ ඔසරියේ මීටර් සිය ගණන සමඟ තහනම්ව තිබූ තුප්පොට්ටියත් මහ පාරට වැටී තිබේ.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00