2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

බුරුමයට කඩාවැටුණු කරුමය

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

1995 දී දිනයක මට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ආචාර්ය නීලන් තිරැචෙල්වම් හමුවිය. නීලන් මා හමුවීමට ආවේ පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කිරීමට මාගේ සහාය පැතීමටයි. එවකට හිර අඩස්සියේ සිටි බුරුම නායිකාව වු අවුන් සාන් සුචි වහාම නිදහස් කරන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙයින් එය ස්ථිර කිරීමට මා කැමැත්තේදැයි ඔහු මගෙන් විමසීය. මේ සාකච්ඡාව අසා සිටි තවත් මන්ත්‍රීවරයෙක් (ඔහුගේ නම මෙතැන හෙළිදරව් කිරීමට අවශ්‍ය නැත) පසුව මා හමුවී අවුන්සාන් සුචි ක්‍රිස්තියානිකාරියක් බවත් ඇය විවාහ වි සිටින්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමඟ බවත් බුරුම යුද්ධ හමුදාවට නායකත්වය දෙන්නේ බෞද්ධ නිලධාරින් බවත් ඒ නිසාම එම යෝජනාවට පක්ෂවීම නුසුදුසු බවත් කියා සිටියේය. එම ඇවටිලි ප්‍රතික්ෂේප කර මා එම යෝජනාව ස්ථිර කළා පමණක් නොව එයට පක්ෂව පාර්ලිමේන්තුවේ දී කථාවක් ද කළෙමි. මා එසේ තීරණය කළේ ප්‍රජාතාන්ත්‍රවාදි නායකත්වය හමුදා ආධිපත්‍යයට වඩා සුදුසු බව එදත් අදත් විශ්වාස කරන නිසාය.

ඉන් කලෙකට පසුව මට බුරැම යුද සේනාධිපතියා වු ජනරාල් තියෙන් හා බුරැමයේ ප්‍රධාන දේශපාලන නායිකාව වු සුචි ද මුහුණට මුහුණ හමුවීමට අවස්ථා සැලසුණි. තියෙන් සෙනෙවියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ලංකාව තුළ සංවාරයක යෙදුණි. ඒ අතර ඔහු මහනුවරට පැමිණ දන්තධාතුන් වහන්සේට පුද සත්කාර කිරීමටද බලාපොරොත්තු වුවේය. එම පැතුම ඉටුවු අතර, ඉන් පසුව අප ජනාධිපතිතුමා විසින් ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් මහනුවර ජනාධිපති මැදුරේදි පවත්වන ලදී. ප්‍රධාන අමුත්තා වු ජනරාල්වරයා දැක්වුයේ මහත් භක්තිමත් බෞද්ධයෙකුගේ ලීලාවයි. අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර, ඔහු අපට ඔහුගේ පවුලේ අය මෙන්ම දියණියන් දෙදෙනා ගැනද විස්තර කළේය. ඉන් කලකට පසුව ජාත්‍යන්තර බලපෑම් නිසා අවුන් සාන් සුචී නිදහස් කරනු ලැබුවා පමණක් නොව ජාතික ඡන්දයකින් ජයග්‍රහණය කොට රටේ බලවත්ම තැනැත්තිය බවට පත්විය. ඇයට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය ද පිරිනමන ලදී. පසුගිය දා බීජීං නුවර පවත්වන ලද ජාත්‍යන්තර නායක නායිකාවන්ගේ රැස්වීමකදී මට ඇය හමුවිය. මා සමඟ ත්‍රිත්ව විද්‍යාලයේ එකට උගත් මයිකල් ඔං ගැන කරුණු විමසු විට ඈ සිනාමුසු මුහුණින් පිළිතුරැ දුන්නේ එම නම ඇති විශාල පිරිසක් බුරුමයේ සිටින බවයි. බුරුමයට පැමිණෙන ලෙස ඇය අපට ආරාධනා කළාය.

අප පාසල් යන කාලයේ බුරුම බැතිමතුන් විශාල ප්‍රමාණයක් දළදාව වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණියෝය. ඔවුන් සඳහා වෙන්කරන ලද විශාල නිවසක් අප පාසල අසල ත්‍රිකුණාමල වීදියේ පිහිටා තිබුණේය.  ඒ ගේ මැද ලොකු පොකුණක් විය. ඒ පොකුණ අසල පැදුරු එළාගත් බුරුම උපාසක උපාසිකාවන් නිතර අප නෙතට හසුවුණි. එම විශාල නිවෙස “බර්මීස් රෙස්ට්” යනුවෙන් හදුන්වනු ලැබීය. එය තවමත් එතැන පිහිටා තිබේදැයි මම නොදනිමි.  එතැන බුරුම සුරුට්ටු උරමින් ඇණ තියාගෙන සතුටු සාමිචියේ යෙදෙන බුරැම උපාසිකාවන් හා ඔවුන්ට ගුරුහරුකම් දෙමින් සුරැට්ටු උරමින් පුටුවල වාඩි වී සිටි වයස්ගත  බුරැම භික්ෂුන් ගැන ඇති වු ගෞරවපූර්ව හැඟීම තවමත් මා මතකයේ රුඳී තිබේ. ලාංකාවේ භික්ෂූන්ට මෙන් හොරෙන් දුම් පානය කිරීමට එම රටේ සංඝ විනය නීති බල කළේ නැත.  අපේ කාලයේදී මහනුවර නගරය තුළ බුරැම හා තායි උපාසිකාවන්, මුස්ලිම් බැතිමතුන් හා ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි පොලියට ණය දෙන යෝධයන් වැනි “බායියන්” ද යාපනයෙන් පැමිණි සිල්ලර වෙළෙඳුන් ද නිතර දකින්නට සිටියහ.

ලංකාව මෙන්ම බුරුමයත් භූගෝලීය පිහිටීම නිසා ජාත්‍යන්තරව වැදගත් වෙයි. එහි එක් පසෙකින් ඉන්දියාවය.  අනෙක් පසින් රට චීනයට ළංව පිහිටා ඇත. මේ නිසා බුරැමයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වුවද මුළු ලෝකයේම අවධානයට ලක් වෙයි. දැන් ලෝක කරළියේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එම රටේ රෝහින්ග්‍යා නමැති ජන කොටසේ අකරතැබ්බයයි.

අධිරාජ්‍යවාදී යුගයේ බ්‍රිතාන්‍යය සතු වූ ඉන්දියාවට දැන් පවතින බංගලාදේශය මෙන්ම බුරැමය ද ඇතුළත් විය. එම ප්‍රදේශයන්හි මායිම්වල වාසය කළ ජනතාව දේශ සීමාවන් නොතකා සංක්‍රමණය වීම සිරිතක් විය. බුරුමය ද බෞද්ධ රටක් වුවද වෙනත් සුළු ජාතිකයින්ගේ ද නිවහනක් විය.  ඒ අනුව බුරැම ජාතිකයින් අතර කැරන්, කචින්, මොන් හා රොහින්ග්‍යා වැනි ජන ප්‍රභේද සාමකාමීව ජීවත් වුහ. ලංකාවේ නුවර කලාවියේ “පුල් එළිය” නමැති ගම ගැන ශාස්ත්‍රීය සංග්‍රහයක් කර ඇති කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මානව සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වු එඩ්මන් ලීච් මුලින්ම පර් යේෂණ කළේ බුරැම කඳුකරයේ සිටි කචින් ජාතිකයින් පිළිබඳවය. එය වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස සැලකේ.

කචින් හා කැරන් වැනි ගෝත්‍රිකයින්ගේ ඇදහිලි බුද්ධාගමට නෑකම් කීවද රොහින්ග්‍යා වැසියන් මුස්ලිම් භක්තිකයින්ය. ආගම අනුව ඔවුන්ගේ අනන්‍යතාවය ඉස්මතු කිරීමට සෞදි ආරාබිය හා කටාර් වැනි රටවල් මුදල් යොදවා තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ විදේශ මුදල්වලින් යැපෙන අවිගත් රොහින්ග්‍යා හමුදාවක් කරළියට පැමිණිමයි. එම කැරලිකරැවන්ට නුදුරු දේශ සීමාවක් ඇති බංගලාදේශය මහත් පිටුවහලක් වී තිබේ. එය ප්‍රභාකරන්ගේ කොටින්ට දකුණු ඉන්දියාව ක්ෂේම භුමීයක් වු හැටි සිහියට නංවයි. දැන් බුරැම යුද හමුදාව රොහින්ග්‍යා සටන්කාමීන්ට  ප්‍රහාර එල්ල කරන අතර, මාධ්‍ය වාර්තා කරන්නේ  සිවිල් වැසියන්ට ද පහර දී ඇති බවයි. ආරබි සල්ලිවලින් පොහොසත් වු කැරලිකරුවන් බටහිර රටවල් ඉලක්ක කරගෙන දැවන්ත මාධ්‍ය සටනක් අරඹා තිබේ. මේ අර්බුදය දැන් බුරැමයේ පක්ෂ දේශපාලනයට ද බලපෑමට පටන්ගෙන තිබේ. බුරුම යුද හමුදාව බෞද්ධයන්ගෙන් සමන්විත එකකි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළ ජනවාර්ගික ගැටුම උත්සන්න වනවා පමණක් නොව රට තුළ නැවතත් යුදමය පාලනයක් ඇතිකරන ලෙස ඉල්ලීමට දැඩි අනුබලයක් සපයයි. මේ ප්‍රශ්නය ඉදිරියේ ඕං සාන් සුචී අසරණ වී සිටී. එක් අතකින් යුද්ධ හමුදාව සතුටු කරමින් ප්‍රජාතාන්ත්‍රවාදයට අවශ්‍ය අවකාශය රුකගැනීමට තැත් කරන අතර, ඇයට හිමි වු නොබෙල් තෑග්ග අවලංගු කරන ලෙස ජාත්‍යන්තර ලිබරල්වාදීන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00