2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

සුපිරි කුණාටුව

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 08:47 94

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයක 2016.12.20 දිනය ඇතිව මාධ්‍ය ආවරණයක් සඳහා ෆැක්ස් පණිවුඩයක් එවා තිබුණි. එහි විෂය යටතේ මෙසේ සඳහන් විය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඝාතනය කිරීමේ අරමුණින් පූර්ව මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීම සම්බන්ධව. මෙහි ප්‍රධානත්වය - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා බවද එහි සඳහන් විය.

මෙහි විෂයේ පැවැති බරපතළකම නිසාදෝ එම මාධ්‍ය සාකච්ඡාවට හොඳ සහභාගීත්වයක් තිබිණි. විෂය පිළිබඳව බොහෝ ප්‍රශ්නද බෝපගේ වෙත යොමු කෙරුණේය. එම ප්‍රශ්න මඟහැර යාමට ඔහුට අවස්ථාවක් ලැබුණේත් නැත.
එසේ වුවත් අවසානයේ බොහොමයක් මාධ්‍ය අදාළ විෂයට තැනක් දී නොතිබිණි. සමහර මාධ්‍ය එය මුළුමනින්ම එය අතහැර දමා තිබුණේය. ඒ වෙනුවට මන්ත්‍රීවරුන් 58කට කුලී වාහන සැපයීම සඳහා වන ගිවිසුමට තමන් අත්සන් නොකරන බවට බෝපගේ කළ ප්‍රකාශයට ලොකු ප්‍රසිද්ධියක් ලැබී තිබුණි. මූලික කාරණයට අදාළව වාරණයක් පැමිණීම ඊට හේතුව බව පසුව කරළියේ තිබූ කතාබහ විය.

රාජපක්ෂ පාලනය යටතේ ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති පදවිය දැරූ බෝපගේ 2016 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් පදවියට ඔහු පත්විය. මේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල විසින් සිදුකරනු ලැබූවකි.

එම පත්වීමෙන් පසුව මුලින්ම ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හේතුවෙන්ද දැඩි අර්බුදයක් මතුවිය. මහින්දට සහාය දක්වන එජනිස මන්ත්‍රී පිරිසට ඒකාබද්ධ විපක්ෂය නාමය භාවිත නොකරන්නැයි එම නිවේදනයෙන් මාධ්‍යයට නියෝග කෙරුණි. එසේ සිදුකිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් නීති ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එයින් අනතුරු ඇඟවීමක්ද කර තිබිණි. මේ නිවේදනයට එරෙහිව මාධ්‍ය හඬ නැගුවේ මාධ්‍යයට නීති පැනවීමට උත්සාහ කරන බවට චෝදනාවක් ද කරමිනි.

කෙසේ වුවද මාධ්‍ය ඇමැති ගයන්ත සහ සෙසු රාජ්‍ය නිලධාරීන් කිව්වේ බෝපගේ යැවූ එම නිවේදනයට තමන්ගේ සම්බන්ධයක් නැති බවය. මාධ්‍ය අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් යොමුකර තිබූ එම නිවේදනය ලේකම්වරයාගේ පෞද්ගලික මතය බවද ඔවුන් කියා තිබිණි.

බෝපගේ මෙවර මාධ්‍ය හමුවේදී පැවැසූ කරුණු කාගේ අනුමැතියක් ඇතිව කියූ දේවල්ද යන්න තවමත් දැනගන්නට නැත. වෙනකක් තබා වැඩ බලන මාධ්‍ය ඇමැති කරු පරණවිතාන පවා මේ මාධ්‍ය සාකච්ඡාව ගැන හෝ එහිදී පවසන්නට යන කරුණු ගැන හෝ නොදැන සිටි බවද පැවැසෙයි. 

කෙසේ වුවද දැනගන්නට ලැබුණේ ලේකම් බෝපගේට එරෙහිව ජනාධිපතිවරයා කිසියම් පියවරක් ගැනීමට ඉඩ තිබෙන බවය. ජනපතිත් තවත් ඇමැතිවරුන් කීපදෙනකුත් බෝපගේට දැඩිලෙස අනතුරු අඟවමින් කියා ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසටය.

තමන් බලයට පත්වන්නේ සමාජ මාධ්‍යවලින් ලැබුණු ප්‍රබල තල්ලුවක් සමඟ බව අමතක කර කටයුතු කිරීමට රජයට හැකියාවක් නැත. රාජපක්ෂ පාලන සම‍යේ වැරැදි බොහෝදුරට උලුප්පා පෙන්වනු ලැබුවේ සමාජ වෙබ් අඩවි ඔස්සේය. සමහර විට සමාජ වෙබ් අඩවිවලින් ඡන්දයක ජනමතයට කළහැකි බලපෑම ගැන නිවැරදි තක්සේරුවක් රාජපක්ෂ රජයට නොතිබෙන්නට ඇත. එවැනි තක්සේරුවක් තිබුණත් පාලන කාල දෙකකට පසුව ආණ්ඩුවක් කියන දේට වඩා අසන්නේ විපක්ෂය කියන දේ බව යථාර්ථයයි. මේ නිසා ඕනෑම රජයක් ජනමතයට වඩාත් බලපෑම් කළහැකි මාධ්‍ය සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරන්නේ පාලනයේ අවසන් අවුරුද්දේ දීය. නමුත් වත්මන් රජය කළින්ම මාධ්‍යයට එරෙහිව වේවැල අතට ගන්නා බවක් පෙනී යයි. 

ආණ්ඩුව මීළඟට තවත් ගිනි පෑගිල්ලකට පය ඔසොවන බව පෙනෙන්නට තිබේ. සුපිරි ඇමැති අර්බුදය වශයෙන් හැඳින්වෙන මෙම ගැටලුවට හේතුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන සංවර්ධන විශේෂ විධි විධාන පනත යි. රටේ සංවර්ධන වේගය වැඩි කරගැනීම සඳහා අවශ්‍ය බලතල ලබාගැනීම මේ පනත හරහා සිදුවන බව ආණ්ඩුව කියයි.

මේ පනත ගෙන එන්නේ ආණ්ඩුව යැයි කිව්වාට එහෙම නැත. මතුපිටින් ආණ්ඩුව යැයි කිව්වාට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් ඊට විරුද්ධය. ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් කඹුරුපිටියේ ශ්‍රීලනිප බලමණ්ඩලයේ රැස්වීමේදී ඒ ගැන කිව්වේ මෙසේය.

එදා සන්ධාන ආණ්ඩුවේ සිටි වන් මෑන් ෂෝ සුපිරි ඇමැති බැසිල් නිසා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කම්පාවෙලා හිටියේ. ඒ වගේම සම්මුතිවාදී ආණ්ඩුවේ සුපිරි බලතල සහිත ඇමැති තනතුරක් ඇති කිරීමට කටයුතු කරන බව එහෙන් මෙහෙන් ආරංචි වෙනවා. මහින්ද රාජපක්ෂ වගේ පතාක යෝධයකු පරාජය වීමට එක් හේතුවක් වු‍ණේ සුපිරි ඇමැති බැසිල්. සහෝදර සමාගමක් හැටියට සුපිරි ඇමැති නමක් ආවත් එකයි, සහෝදර සමාගම් වෙනුවට මිත්‍රසමාගම් ගහගෙන සුපිරි ඇමැති ආවත් එකයි. සම්මුතිවාදී ආණ්ඩුවේ අපි ඉන්නා තුරු එවැනි සුපිරි ඇමැතිකම්වලට ඉඩ දෙන්නෙ නෑ.

ඩිලාන් එසේ කියන විට යූ.එන්.පීයේ වජිර අබේවර්ධන ඇමැති මෙසේ කියා තිබුණේය.

රට සංවර්ධනය කරන්න සුවිශේෂ බලතල අවශ්‍යයි. නැත්නම් අපට රට සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා රටේ ප්‍රශ්න විසඳන්න ආර්ථික විශේෂ බලතල තියෙන පනතකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ඔව්. අපි විශේෂ ආර්ථික බලසම්පන්න පනතක් ගේනවා. බයද? නීති විරෝධී නම් අධිකරණයට යා හැකියි. අපි මේ පනත ඉදිරිපත් කරන්නේ ඊළඟ සියවසේ ඉලක්ක දිනාගන්නයි. ඒ පනත ආර්ථික විශේෂ බලතල තිබෙන පනතක්. කැබිනට් මණ්ඩලය අනුමත කරපු මේ පනත අපි පාර්ලිමේන්තුවටත් ගේනවා. පනතේ හොඳ නැති දේ ඇත්නම් වෙනස් කළ හැකියි.
මේ අතර ඩිලාන් කොළඹ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ සුපිරි ඇමැති ධූරයට විරුද්ධව ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී නැගූ හඬ ප්‍රබල සුළඟක් වී කැබිනට් මණ්ඩලයේදී මහ කුණාටුවක් වී අවසානයේ සුපිරි ඇමැති ධූරය ගසාගෙන ගිය බවය. ඒ බව සංවර්ධනය උපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමට කියන්නට සිදු වූ බවය. එසේම පනත සංශෝධනය නොකළොත් ශ්‍රීලනිපය එයට සහාය නොදෙන බවද ඩිලාන් කියා තිබුණේය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ හැලහැප්පීම් මැද පසුගිය 21 වැනිදා බදාදා සිය අමාත්‍යාංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. සාමාන්‍යයෙන් ඉතා අඩුවෙන් මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගි වන මලික් එහිදී කියා තිබුණේ සුපිරි අමැති ධූරයක් නිර්මාණය කිරීමේ අරමුණක් ආණ්ඩුවට නැති බවය. ආයෝජන සහ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සකස්කළ සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරියේදී මැතිසබයට ඉදිරිපත් කරන බවද ඔහු කියා තිබිණි. මෙම පනත් කෙටුම් පතට ජනාධිපතිවරයාගේ අවසරයද ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය. 

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබේ නම් ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන්ට මෙසේ සංවර්ධන පනත පට්ට ගසන්නට ඉඩක් ලැබුණේ හයියක් ලැබුණේ කෙසේද කාගෙන්ද යන්න පැහැදිලි නැත. නමුත් මේ පනත දැනට තිබෙන අයුරින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබිය යුත්තේ ශ්‍රීලනිපයේ මැති ඇමැතින්ලාගෙනි. ශ්‍රීලනිප මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රී පිරිස මේ පනතට පමණක් නොව රජය ගෙන එන සෑම පනතකටම විරෝධය පායි. මේ නිසා පනත මේ ආකාරයට පාර්ලිමේන්තුවට ගෙනැවිත් තනි අතින් අත්පුඩි ගසන්නට යූ.එන්.පීයට හැකියාවක් නැත.

මේ බව තහවුරු වෙන තවත් සිදුවීමක් වන්නේ පළාත් සභාවල ශ්‍රීලනිප මහ ඇමැතිවරුන් හත් දෙනාම මේ පනතට විරුද්ධ බව ප්‍රකාශ කර තිබීමය. මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක ප්‍රකාශ කර තිබුණේ එහෙයියන් වීමට තමන් සූදානම් නැහැ කියාය. මේ පනත හරහා පළාත් සභා බලතල තර්ජනයක් එල්ල වන බව ඒ මහතාගේ අදහස වී තිබේ. 
තත්ත්වය සංකීර්ණ වෙද්දී අගමැතිවරයා අදාළ පනත පිළිබඳව සියලුම මහ ඇමැතිවරුන් දැනුවත් කිරීමට තීරණය කළේය. එම රැස්වීම  සිකුරාදා හැන්දෑෙව් (23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වී සිටිෙය් මහ අැමැතිවරුන් හතර දෙදෙනකු පමණි. ඔවුන් ප්‍රකාශ කර තිබුෙණ් පළාත් සභා විෂයයන්වල බලතල කපා හරින පනතකට සහාය දැක්වීමට තමන්ට නොහැකි බවය. එහිදී අගමැතිවරයා ඔවුන්ට කියා තිබුෙණ් ඒ් සම්බන්ධ සංශෝෂන ඉදිරිපත් කරන ලෙසටය. නමුත් මේ සාකච්ඡාව පැවැත්ෙවන විටත් උෟව, උතුරු මැද සහ උතුරු පළාත් සභා තුනේම එම පනත ප්‍රතික්ෂේප වී තිබිණි. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට පෙර පළාත් සභා වලින් සම්මත වී තිබීම අවශ්‍යය. පනත මගින් පළාත් සභා විපක්ෂයන්ට අදාළ වෙනස්කම් ගණනාවක් යෝජනා කිරීම නිසා මහ ඇමැතිවරුන් ඇතුළු පළාත් සභාවේ බලතල හෑල්ලුවීමකට ලක්වීම නිසා මේ පනතට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට රජය හැකියාවක් නැත. දකුණු පළාත් සභාවේද මේ සඳහා සිදුකෙරෙන ඡන්ද විමසීම ලබන අඟහරුවාදා (27)ට යෙදී තිබේ. එහි ප්‍රතිඵලයකද මීට වඩා වෙනස් වීමට ඉඩක් නැත.

දැන් ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ සංකීර්ණ ප්‍රශ්නයකට මුහුණ දී සිටී. ඔවුන්ට ආණ්ඩුවත් ඕනෑය. පනත සම්මත කර ගැනීමත් අවශ්‍යය. නමුත් තිබෙන මට්ටමින් සම්මත කර ගැනීමට අවශය ඡන්දය ලබාගැනීමට ක්‍රමයක්ද නැත. පෙනෙන අන්දමට නම් අර ඩිලාන් කියූ සුපිරි ඇමැති කුණාටුව ආණ්ඩුව කරකවා අතහරිමින් තිබේ.

මේ අතර වසර පහකට එක දිගට පවතිනු ඇතැයි කියූ යහපාලන ආණ්ඩුවේ සම්මුතිය ලබන සැප්තැම්බරයේදී අවසන් වන බවට ඩිලාන් කී ප්‍රකාශයද හොඳින් සිතාබලා කාලය මැන සිදුකළ එකක් බව පැහැදිලිය. එම කාලය දික් කරනවාද නැද්ද යන තීන්දුව ගන්නේ ශ්‍රීලනිපය බවද ඔහු කියා තිබුණි. වසර පහකට සම්මුති ආණ්ඩුව ක්‍රියාත්මක වන බවට ගත් තීන්දුව පක්ෂ දෙකේ ලේකම්වරුන් අතර එකඟතාවක් පමණක් බවද සඳහන් විය. මේ කතාවත් තමාගේ අනුමැතියක් නොමැතිව සිදුකළ එකක් බවට තවම ජනාධිපතිවරයා කියා නැත.

රජයේම තවත් පාර්ශ්වකරුවකු වන ජාතික හෙළ උරුමයද සුපිරි ඇමැති පනතට සහ හම්බන්තොට වරාය චීන සමාගමකට පැවැරීමට එරෙහිව පුපුරන්නට පටන් ගෙන තිබේ. පසුගිය සිකුරාදා (23) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ජාතික හෙළ උරුමය කිව්වේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත මේ තිබෙන ආකාරයෙන් සම්මත කිරීමට තමන් විරුද්ධ බවය. එසේම රට තුළ සිදුවෙමින් පවතින විවිධ ආකාරයේ අක්‍රමිකතා හමුවේ තමන් නිහඬව නොසිටින බවද එට්කා ඇතුළු රටට අවාසිදායක ගිවිසුම්වලටත් තමන් විරෝධය දක්වන බවද හෙළ උරැමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කිව්වේය. චයිනා මර්චන්ට්ස් ආයතනයට හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුමට දැඩිව විරෝධය පෑ වර්ණසිංහ සඳහන් කළේ චයිනා මර්චන්ට්ස් හරහා දස ලක්ෂයක පිරිසක් හම්බන්තොටට රැකියා සඳහා පැමිණීමට වීසා ඉල්ලා ඇතැයි දැනගන්නට තිබෙන බවය. එසේම ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ලබාගැනීමක් සිදු වී ඇති බවය. මෙය යූ.එන්.පී.යේ රැකියා දස ලක්ෂයේ පොරොන්දුවට එල්ල කළ අතුල් පහරක්දැයි එක එල්ලේ කිව නොහැකි වුවද යූ.එන්.පී. සමඟ පවතින සීතල යුද්ධයේ කොනක් එළියට පැනීමක් වශයෙන් සැලකිය හැකිය.
එකිනෙකාට වෙනස් වූ ප්‍රතිපත්ති සහිත දේශපාලන පක්ෂ දෙකකට හෝ තුනකට එක් වී ආණ්ඩුවක් කරගෙන යාම කොතරම් දුෂ්කරදැයි සම්මුති ආණ්ඩුවේ සියලුම කොටස්කරුවන්ට මේ වනවිට අවබෝධ වී ඇතුවාට සැකයක් නැත. විශේෂයෙන්ම ආර්ථිකය හැසිරවීමේදී ගනු ලබන ප්‍රධාන තීන්දු සියල්ලම පාහේ කඹ ඇදීම්වලට ලක්වූ බව පෙනෙන්නට තිබුණේය. බැඳුම්කර සිද්ධිය, මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීම, වැට් බදු පනත පමණක් නොව අයවැයද බරපතළ ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්විය. මතභේදවලට හේතුවිය. මේ තත්ත්වය මගින් ආණ්ඩුව අපේක්ෂා කරන ආර්ථික වර්ධන වේගය ලබාගැනීම සිහිනයක් පමණක් වන ලකුණු පළවෙමින් තිබේ. තනි තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ කතාබහ දෙපාර්ශ්වයෙන්ම ඇසෙන්නට පටන්ගෙන තිබීමද හොඳ නැත.

කොතරම් මතභේද, හැලහැප්පීම් තිබුණත් රට ඉදිරියට තල්ලු කර ගැනීම ආණ්ඩුවේ දෙපාර්ශ්වයේම වගකීම වී තිබේ. එයින් අසමත් වීම යනු දේශපාලන වශයෙන් හරාකිරි කර ගැනීමකි. මේ සටහන තබන විට දැනගන්නට ලැබු‍ණේ ඩොලරය රුපියල් 152 දක්වා ඉහළ නැග ඇති බවය. මෙය රටින් ගෙන්වන සියලු භාණ්ඩවලට ඉදිරියේදී බලපාන බවට සැකයක් නැත. එහෙම වනවිට ජනතාව දොස් නගන්නේ යූ.එන්.පී.යට හෝ ශ්‍රීලනිපයට හෝ නොවේ. සම්මුති ආණ්ඩුවටය.

තවත් අතකින් රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ සියලුම ආර්ථික ගිවිසුම්වලට එරෙහි වීම ප්‍රයෝගික නොවන බවත් කිව යුතුය. රජය හඳුන්වා දුන් රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යවසාය ක්‍රමයට විරුද්ධ වනවාට වඩා එහි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වාදී එය හරි පීල්ලට දමාගැනීම ආණ්ඩුවේ පාර්ශව වල වගකීමකි. අඩුපාඩු පෙන්වා දෙනවිට ඒවාට ඇහුම්කන්දී වෙනස්කම් සිදුකිරීමට නම්‍යශීලී වීමත් අවශ්‍යය. මෙවැනි හවුල් ව්‍යාපාරවලට සම්බන්ධ වන මහා පරිමාණ සමාගම් නිකම් අතලෙවකන්නට ඒවාට සම්බන්ධ නොවන බව සැබෑවකි. එසේ කියා හවුල් ව්‍යාපාරිකයන් අපට එපායැයි කියා කෑ ගැසීම රට මුහුණදී සිටින ප්‍රශ්නවලට විසඳුමක් නොවේ.

ආණ්ඩුව හරිපීල්ලට දමා ගන්නට පාර්ශවකරුවන් අසමත් වනවිට මහජනතාව නිකම් බලා සිටින්නේ නැත. ඔවුන් ඊළඟට කරන්නේ ආණ්ඩුව උවමනාවෙන්ම පීලි පන්නන එකය. එවිට සම්මුතිය ඉවර වෙන්නේ ආණ්ඩුවත් එක්කමය.

♦ ශශීන්ද්‍ර

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00