2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

චරිත දෙකක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

වික්‍රම් සෙත් සුප්‍රසිද්ධ ඉන්දියානු කවියෙකු හා නවකතාකරුවෙකි. දැනට ලෝකයේ ඉංග්‍රීසි බසින් ලියන ලද සාහිත්‍ය කෘති අතුරින් ඉහළම තැනක් ඔහුගේ රචනාවලට හිමිවේ. එමෙන්ම ජාත්‍යන්තර සාහිත්‍ය තෑගි බොහෝමයක් ඔහුට ලැබී තිබේ. වික්‍රම් සෙත් විසින් මෑතක ලියන ලද රචනා අතර විශේෂ තැනක් ගන්නේ ඔහුගේ “ජීවිත දෙකක්” යන ග්‍රන්ථයයි. 

ඔහු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබන අවධියේ ළඟින් ඇසුරැ කිරීමට ලැබුණේ ඔහුගේ බාප්පා වූ උතුරු ලන්ඩනයේ විසූ දන්ත වෛද්‍යවරයෙකි. එම වෛද්‍යවරයාගේ නම වූයේ ශාන්ති සෙත්ය. ශාන්ති තරැණ වයසේදී දන්ත වෛද්‍ය විද්‍යාව  ඉගෙන ගැනීම පිණිස ඔහුගේ මව්පියන් විසින් ජර්මනියේ අගනුවර වූ බර්ලිනයට යවන ලදී.  ඔහු ශිෂ්‍යයෙක් වශයෙන් පදිංචිව සිටියේ කැරෝ නම් වූ යුදෙව් ජාතික පවුලක් සමඟය. මුලින්ම කල්ලෙක් හැටියට කොන්කරන ලද ශාන්ති පසුව කැරෝ පවුලේ දරුවන් සමඟ කුළුපග විය. ඔවුන් අතුරින් ඔහුගේ සිත් ගත්තේ හෙනී කැරෝ නැමති රෑමත් තරැණියයි. සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ ශාන්ති සිය මිතුරැ මිතුරියන්ගෙන් සමුගෙන එංගලන්තයට පැමිණ උතුරු ලන්ඩන්වල සිය ඩිස්පැන්සරිය පිහිටෙව්වේය. ඒ අතර ඔහු බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳී මැද පෙරදිගට අනුයුක්තව දන්ත වෛද්‍යවරයෙක් හැටියට ද කටයුතු කළේය. 

එහෙත් දෛවයේ බලපෑමක් හැටියට ජර්මනියේ හිට්ලර්, බලයට පැමිණ යුදෙව්වන් දඩයම් කිරීමට පටන් ගත්තේය. මැද පාන්තිකයන් මෙන්ම දේශහිතෛශි ජර්මන් ජාතිකයන් වූවද කැරෝ පවුලේ අය යුදෙව්වන් නිසා අනන්ත පීඩාවන්ට ලක්විය. එම පීඩනය හමුවේ යුදෙව් තරුණ තරුණියන් අමෙරිකාවට හෝ එංගලන්තයට පැන ගත්තෝය. ජර්මනියේ රැඳී සිටි යුදෙව්වන් හිට්ලර්ගේ සහචරයන් විසින් ඝාතනය කරන ලදී. තරුණ හෙනී කැරෝ එංගලන්තයට පැන යන විට ඇයව පිළිගන්නට සිටියේ පාසැල් සමයේ මිතුරා වූ වෛද්‍ය ශාන්ති සෙත්ය. ටික කලකින් ඔවුන් දෙදෙනා විවාහවී සාර්ථක ජීවිතයක් ගතකළේය. එහෙත් හෙනිගේ මරණයෙන් පසු අප කතුවරයා ඇගේ අල්මාරියේ සඟවා තිබූ දිනපොත් සහ ලියුම් මිටි කියවීමට පටන් ගත්තේය. ඒවායින් පිළිබිඹුවූයේ වෙනම කථාවකි. එය යුදෙව්වන්ගේ සෝකාලාපයක් වැනි හෙයින් අප සිත තුළ බලවත් සංවේගයක් ඇති කරයි. 

මේ වටිනා ග්‍රන්ථය කියවන විට මගේ සිතට නැඟුණේ එසේ යුරෝපීයයන් හා විවාහවූ අප හඳුනන ප්‍රසිද්ධ ලාංකික චරිත ගැනයි. තරැණ ලාංකිකයන් වැඩිදුර ඉගෙනීම සඳහා බටහිරට ගොස් එහි යුවතියන් සමඟ විවාහ වී ලංකාවට පැමිණි විවිධ සේවාවන් කළ අයුරැ ගැන කවුරුත් දනිති. කුමාරි ජයවර්ධන මෙම විෂය ගැන වෙනම ග්‍රන්ථයක් ද සම්පාදනය කර තිබේ. එහි සඳහන් වන්නේ ගුණපාල මලලසේකර, පී.ද ඇස්. කුලරත්න, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ හා කුමාරිගේ ද පියා වූ ඒ.පී ද සොයිසා වැනි ප්‍රභූන්ගේ බටහිර සම්භවය ලද බිරියන් ගැනයි. වැඩිහිටි පරම්පරාවකට අයිති එම සම්භාවනීය කාන්තාවන් අප ජනතාවට  සුවිශේෂ සේවාවක් කළ අයයි. ඔවුන්ගේ සමහරෙක් ටික කලෙකින් ආපසු මව්රට බලා පිටත්වූහ. මෙහි රැඳී සිටි අය අධ්‍යාපනය හා දේශපාලනය වැනි ක්‍ෂේත්‍රවල විශාල සේවයක් කළහ.

අප පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයන්ව සිටි කාලයේ බටහිරට ගොස් සුදු කාන්තාවන් හා විවාහ වී ආපසු පැමිණ කැම්පස් භූමියේ පදිංචිව සිටි තරැණ කථිකාචාර්යවරැන් ඇසුරැ කිරීමට වාසනාව ලැබුණි. අර්ථශාස්ත්‍රඥ හිලරි ගුණසේකරගේ බිරිඳ ඒ වන විට ආපසු මව් රටට ගොස් තිබුණි. එහෙත් අයි.ඩී.එස්. වීරවර්ධන, උපාලී අමරසිංහ හා සුගතපාල ද සිල්වා වැනි ගුරුවරුන් සිය බිරියන් සමඟ සරසවි භූමියේ ගැවසෙනු අපට සුලබ දසුනක් විය. පුදුමය නම් ඉහත සඳහන් තරුණ කථිකාචාර්යවරුන් තුන්දෙනාම අකල් මරණයට ලක්වූ අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් සිය දරැවන් ද සමඟ ආපසු එංගලන්තයට යෑමයි. ඔවුන්ගේ මිතුරන්ට පවා දැන් තරුණ වයසේ සිටින ඔවුන්ගේ දරුවන් ගැන පුවත් අසන්නට ලැබෙන්නේ දැයි මම නොදනිමි. මේ කරුණු මා ගෙනහැර දක්වන්නේ අප මිතුරු අබේ ගුණපාලගේ පෙම්වතිය වූ ගැබ්රියලා විවාහ කරගෙන ලංකාවට පෙරළා පැමිණ ඔවුන් ලැබූ දරුවා වූ කුඩා මදාරා සමඟ ද සතුටින් ජීවත්වීමට ගත් මහන්සිය ගැන සටහනක් තැබීම අවශ්‍ය නිසාය. කොමියුනිට්ස් ජර්මනියේ තරුණ තරුණියන් හට නොයෙක් තහංචි පනවා තිබුණි. බටහිරට යාමට හෝ එහි වඩාත්ම ආකර්ෂණීය වන තරැණ ජීවිතයට ඇතුළුවීමට ඔවුන්ට අවස්ථාවක් නොතිබිණි. ගැබී සහ ඇයගේ මිතුරු මිතුරියන් මට බර්ලින්වලදී මුණගැසුණේය. ඔවුන්ගේ උවමනාව වූයේ නැගෙනහිර ජර්මනියෙන් කෙසේ හෝ පැන ගැනීමටය. අපේ එක් මිතුරියක් සංස්කෘත භාෂාව හා බුද්ධාගම හැදෑරු නිසා කෙසේ හෝ ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමට ආශාවෙන් සිටින බව මට කීවාය.

අබේ සිය තරුණ ජර්මන් බිරිය සමඟ ලංකාවට පැමිණියේය. කොතෙකුත් හොඳට ජර්මන් සංස්කෘතිය දැන සිටිය ද ඔහුගේ කල්පනාව වූයේ කෙසේ හෝ මව් රටට සේවයක් කිරීමටයි. කුරුණෑගල ගැන ඔහුගේ පුදුම ආදරයක් තිබුණේය. එහෙත් එකල බටහිර ගැති දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පාලනය පැවති නිසා ඔහුට හරිහමන් රුකියාවක් ලබාගත නොහැකි විය. කොමියුනිස්ට් රටවලින් උපාධි ලබා විදේශීය කාන්තාවන් විවාහ කරගෙන මෙරටට පැමිණි බොහෝ තරුණයන්ට මෙම අකරතැබ්බයට මුහුණ දෙන්නට සිදුවිය. මෙය අපේ කාලයේ ඇතිවූ බලවත් අසාධාරණයකි. ඒ නිසා හැමවිටම පාහේ විදේශීය කාන්තාවන් බලවත් සිත්තැවුලට පත්වී සිටියෝය. ලස්සන දිවයිනක ජීවත්වීමට ඔවුන් මවන ලද සිහිනය ඉක්මනින් සිඳී බිඳී ගියේය. අබේගේ භාර්යාව වූ ගැබීද මෙම උගතෝකෝටිකයට මුහුණ දුන්නේ යැයි සිතමි. මුලින්ම ලද නිදහස ගැන සතුටු වූ ඇය කලෙකින් පසුව ආපසු බටහිරට යන තත්ත්වයකට පැමිණියාය. එකිනෙකාට ළැදි වු තරුණ ගුණපාල යුවලගේ ප්‍රශ්න වැඩී එන හැටි අප මහත් කනගාටුවෙන් බලා සිටියෙමු. අවසානයේදී 1978 දී ඈ අබේ හා කුඩා දියණිය අතහැර ආපසු ජර්මනියට ගියාය. ගුණපාලගේ පුදුම මානුෂිකත්වය ඉදිරියට ආවේ ඒ අවධියෙයි. ඉතාම සංයමයෙන් යුතුව එම ගැටලුවලට මුහුණ දුන් ඔහු දියණිය ආදරයෙන් හදා වඩාගන්නා අතර කලින් කලට ජර්මනියට ගොස් ගැබීගේ සුවදුක් ද විමසීය. ගැබී දැන් වයස්ගතව ඔත්පලව බර්ලීනයේ ජීවත්වන බව ඔවුන්ගේ දියණිය මදාරා මට දැන්වූවාය.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00