2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

හිට්ලර් බංකරේ අවන්හල

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

1970ට  කලින් බර්ලින් නුවර ලාංකිකයන් සිටියේ කීප දෙනෙක් පමණි. එවකට බටහිර ජර්මනියේ අගනුවර වූයේ කොලෝන් නගරයට ළගින් පිහිටා තිබූ බැඩ්ගොඩස්බර්ග් නමැති කුඩා භූමි භාගයයි. එය නගරයක් නොව ගමක් යැයි දේශපාලන විචාරකයෝ විහිළුවට මෙන් කීවෝය. හිට්ලර්ගේ පාලනයෙන් පසු ජර්මනියේ නායකයා වූ කොන්රඩ් ඇඩනවර්ගේ නිජභූමිය වූ බැඩ්ගොඩස්බර්ග් තාවකාලික අගනුවරක් වශයෙන් හඳුන්වන ලදී. සියලුම ජර්මන් ජාතිකයින්ගේ අභිලාෂය වූයේ ඔවුන්ගේ ඉතිහාසයේ අද්විතීය වු බර්ලින් නගරය නැවතත් අගනුවර කර ගැනීමයි. එහෙත් යුද්ධයෙන් පසු රට දෙකට කඩා තිබූ නිසා එවකට එය සිහිනයක් පමණක්ව පැවතුණේය. රුසියාවට හිමි කොටස් එක්කොට නිර්මාණය කරන ලද ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (ජී.ඩී.ආර්.) පමණක් බර්ලීනයේ කොටසක් සිය අගනුවර කර ගත්තේය. 

ලංකාවේ 1983 කළු ජූලියට පසු මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ලංකාවෙන් පලා ගිය දහස් ගණන් දමිළ වැසියෝ බර්ලීන් නුවර පදිංචියට ගියෝය. දේශපාලන වශයෙන් මරැ කටේ තිබූ බර්ලින් නගරය ජර්මානුවන් දුටුවේ අවදානම් වාසස්ථානයක් හැටියටයි.  කොයි මොහොතේ හෝ බටහිරත් කොමියුනිස්ට් අධිරාජ්‍යයත් අතර ගැටුමක් ඇති වුවහොත් බර්ලිනය තත්පර කීපයකින් සුණු විසුනු වන බව ඔවුහු දැන සිටියහ. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී නොයෙක් කම්කටොළුවලට ලක්වූ ජර්මන් ජාතිකයෝ නැවතත් එම අත්දැකීම ඇතිවේදැයි බියෙන් දහස් ගණනින් බර්ලින් නුවරින් පළා ගියහ.  එම රික්තය පුරවන ලද්දේ සංක්‍රමණිකයින් විසිනි. 

මුලින්ම පැමිණියේ තුර්කි ජාතික කම්කරැවන්ය. ජර්මනියේ ආර්ථික වර්ධනයට අවශ්‍ය කම්කරු පිරිස් බලය සැපයූවේ තුර්කි ජාතිකයින් විසින්ය. අද ඔවුහු බර්ලිනයේ සුපිරි තැනක් උසුලති. තුර්කියේ බැංකු, ගුවන් සේවා හා කම්කරුවන් සපයන ආයතන අද බර්ලීනය පුරාම දැකගත හැකිය.  ඉන් පසුව සංක්‍රමණය වූයේ ලංකාවෙන් පලාගිය දමිළ ජාතිකයින්ය. කළු ජූලිය කොතෙක් කෲර වුවද එහි ප්‍රතිඵලයක් වශයෙන් අද යුරෝපයේ හා අමෙරිකාවේ බලගතු ද්‍රවිඩ කඳවුරක් නිර්මාණය වී තිබේ. ඔවුන් තුර්කි ජාතිකයින්ට වඩා ඉහළ මට්ටමේ රැකියා සොයා ආ අයයි. දැන් ඔවුන්ගේ දෙවැනි හා තුන්වැනි පරපුරවල් එම රටවලට දක්ෂ වෘත්තිකයින් සේ සේවය කරති. දෛවයේ සරදමක් වශයෙන් ඔවුන් දැන් “ඩයස්පෝරාව” වශයෙන් ලංකාවෙන් වාඩුව ගැනීමට තරම් ශක්තිමත්ව සිටී. අප රටට මෙම අවදානම ළඟා කර දුන්නේ කළු ජූලිය නිර්මාණය කළ ජාතිවාදී තක්කඩියන්ය. ප්‍රංශයේ මා විසූ කාලයේ ප්‍රංශ ජනාධිපතිගේ නිල නිවස අසල ආසියානු කෑම සපයන ආපනශාලාවක් විය. ප්‍රංශ ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ අය ආසියානු කෑමට ප්‍රිය වූ නිසා නිතර එම ආපනශාලාවට පැමිණියහ. එහි අයිතිකාරයා වූයේ ලංකාවෙන් පලා ආ දමිළ ජාතිකයෙකි. ලංකාවෙන් පලා ආ දමිළ ජාතිකයින් වැඩිම කොටසක් බර්ලීනයේ පදිංචි වූයේ එකල අඩු මිලකට කාමර ගත හැකි ක්‍රොයිෂ්බර්ග් නැමති පෙදෙසෙහිය. බර්ලීන් තාප්පයට නුදුරින් මේ පෙදෙස යුද අවදානමට ලක්වීම නිසා සුදු ජාතිකයින් එයට එතරම් කැමැත්තක් දැක් වූයේ නැත. එහෙත් දැන් තාප්පය බිඳ දමා ඇති නිසා ක්‍රොයිෂ්බර්ග් පෙදෙස බර්ලීනයේ වඩාත්ම ඉල්ලුමක් ඇති භූමියක් බවට පත්වී තිබේ. 

1970 කාලයේදී සංක්‍රමණිකයින් තොර කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනිය පාළු කාන්තාරයක් බදුවිය. බර්ලීනයේ අපේ තානාපති කාර්යාලයක් නොවීය. එහි ගියවිට මට හමු වූයේ අබේ ගුණපාල මෙන් වැඩිදුර ඉගෙනීමට ගිය ලාංකික ශිෂ්‍යයින් කිහිපදෙනෙක් පමණි. මාගේ වාසනාවට ගුණපාල බර්ලීනයේ සිටි නිසා එහි ඇතුළාන්ත ජීවිතයට පිවිසීමට මට හැකිවිය. බටහිර බර්ලීනයේ හෝටලයක නවාතැන්ගෙන සිටි මට ගුණපාල නැගෙනහිරට පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව දුම්රියපොළින් බැස දිග ගමනක් මම පයින්  ගියේ ඔහු විසින් නම් කරන ලද බාර් එක සොයමිනි. එදා නිවාඩු දිනයක් නිසාද මා ජර්මන් භාෂාව නොදන්නා නිසා ද පාළු නැගෙනහිර බර්ලීනයේ එම බාර් එක සොයාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවීය. කෙසේ නමුත් අමාරුවෙන් එය සොයාගත් පසුය එම ප්‍රදේශය පාළුවට තිබුණේ ඇයි දැයි මට වැටහුණේ.  එම බාර් එක පිහිටා තිබුණේ යුද්ධ අවසානයේ දී හිට්ලර් සැඟවී සිට සියදිවි නසා ගත් බංකරයට නුදුරැවය. එතැන නැරඹීම පවා කොමියුනිස්ට් පාලනය විසින් සිය පුරවැසියන්ට තහනම් කර තිබුණේය. ඔවුන් හිට්ලර්වාදීන් යැයි සැක ඇතිවිය හැකි නිසා බර්ලීන් ජනතාව ද එතැන ගැවසුණේ නැත.  බාර් එකේ සිටියේ ඒ අසල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පැමිණි කම්කරුවන් කීපදෙනෙක් පමණි. පමාවී හෝ එතැනට අබේ ගුණපාල පැමිණියේ මා වැරදි බාර් එකකට පැමිණියේ දැයි සිත තුළ සැකයක් ගොඩ නැගෙමින් සිටින විටමය.   

අබේ ගුණපාල සමඟ මම නැගෙනහිර බර්ලීනයේ ඇලෙක්සැන්ඩර්ප්ලාට්ස් වැනි ප්‍රදේශවල සැරිසැරුවෙමි. අවසානයේ දී අප ගියේ ස්ටාලීන්ඇලි යැයි නම්කරන ලද ප්‍රධාන මාර්ගය වෙතටයි. එය නිර්මාණය කර තිබුණේ ක්‍රෙම්ලීනය අසල පිහිටා ඇති මහා මාර්ගය අනුගමනය කරමිනි. මැයි දිනය හා යුද්ද ජයග්‍රහණ සමරමින් දැවැන්ත යුදමය සංදර්ශන පැවැත්වෙන්නේ මේ මාර්ගය දිගේය. නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට්වාදීන් එය කොපි කළ අතර, එහි එක්තරා සරදමක් ද ගැබ්වී තිබුණේය.  හිට්ලර් සහ ඔහුගේ ගෘහනිර්මාණ ශිල්පියා වූ ස්පියර්ද එවැනි මහාමාර්ගයක් නිර්මාණය කිරීම ආරම්භ කළහ. හිට්ලර් ඊස්ට්-වෙස්ට් ඇක්සස් යැයි නමින් ඉදිකළ දැවැන්ත මහාමාර්ගය කොමියුනිස්ට්වාදීන් ස්ටාලීන් ඇලි යයි නම්කර, පිළිසකර කර ඔවුන්ගේ යුදමය උපකරණ ප්‍රදර්ශන සඳහා යොදා ගත්හ. ඔවුහු මොස්කව් නගරයේ තවත් වැදගත් නිර්මාණයක් කොපි කළෝය. එනම් මහාමාර්ගය දෙපස ඉදිකරන ලද කම්කරැ තට්ටු නිවෙස් සමූහයයි. කොමියුනිස්ට් සංවර්ධනයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ මෙසේ ඉදිකරන ලද දසදහස් සංඛ්‍යාත කම්කරැ නිවෙස් සංකීර්ණයන්ය. ගුණපාල සමඟ මා එවැනි නිවසකට ආරාධනා ලැබ කෑම වේලක් ගැනීම සඳහා ඇතුළු වූයෙමු.  එහිදී ඉතාම කරුණාවන්ත මහලු කාන්තාවක් අපව පිළිගෙන ජෝගු පිට ජෝගු බියර් පිරි නැමුවාය. ඇය ගැබ්රියලාගේ මව ද නැතහොත් ගුණපාලගේ මිතුරියක්දැයි මට දැන් මතක නැත. එහෙත් ඇය සමඟ ගන්නා ලද ඡායාරෑපයක් දැනුත් මා සතුව ඇත. 

ඉන් සති කිහිපයකට පසු මම ලංකාවේ සිට නැවත නැගෙනහිර බර්ලීනයට ගියෙමි. එය ජර්මන් චිත්‍රපට කර්මාන්තය පිළිබඳ කරුණු හැදෑරීමට සිරිමාවෝ අගමැතිනිය මට දුන් උපදෙස් අනුවය. එම අවධියේ ද මම ගුණපාල හා ඔහුගේ ප්‍රේමවන්තිය වූ ගැබ්රියලා සමඟ ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් වැනි නගරවල් සංචාරය කළෙමි. එපමණක් නොව යුරෝපීය චිත්‍රපට කර්මාන්තයේ මූලාරම්භය පටන්ම කීර්තියක් අත්කර ගෙන සිටි බාර්බල්සබර්ග් චිත්‍රාගාරයේ ද දින කිහිපයක් මම ගත කළෙමි. 

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00