2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

අපේ කාලයේ මිතුරෙක්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

දිගු කලක් මාගේ මිතුරෙකු වු ආචාර්ය අබේ ගුණපාල දැනට මාස තුනකට පමණ පෙර මිය ගිය බව මම දැනගත්තේ ඔහු පිළිබඳ ගුණකථනයක් පුවත්පතක පළ වු විටය. ඔහුගේ පරණ පාසැල වූ කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ආදී ශිෂ්‍යයින් විසින් සපයන ලද එම ලිපිය මා ආසාවෙන් කියවූවද මෑත කාලයේදී ගුණපාල ඇසුරු කීරීමට නොහැකිවීම ගැන මා තුළ බලවත් කනගාටුවක් ඇතිවිය. මා ඔහුගේ එකම දුව වූ මදාරාට දුරකථනයෙන් ඇමතූ විට ඈ සිය පියතුමාගේ අවසන් දවස් ගැන මට දුක්මුසු ස්වරයෙන් විස්තර කළාය.

අබේ සහ මා අතර තිබුණේ දිගු කාලීන මිත්‍රත්වයකි. ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයට සමගාමීව මා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා වූවද පාසල් සිසුවෙකු වශයෙන් ඔහු හමුවීම මාගේ මතකයට නැගෙන්නේ නැත. අප පාසල් දෙක අතර කථික තරග හා විවාද පැවතුන ද ඔහු සමඟ මා තුළ ඇයි හොඳයිකමක් නොවීය. අනික් අතට ධර්මසේන විජේසිංහ වැනි ධර්මරාජයේ ශිෂ්‍ය නායකයින් අප පේරාදෙණිය සරසවියේ මුණගැසීමට පෙර පවා මම හැඳිනගෙන සිටියෙමි. අබේ මා හා සිසුවන් වශයෙන් සම්බන්ධ නොවීමට තවත් හේතුවක් වූයේ ඔහු ටික කලෙකින් ධර්මරාජය අතහැර ඔහුගේ නිජබිම වූ කුරැණැගල පිහිටි ශාන්ත ආනා විදුහලට ඇතුළත්වීමයි.

ඔහු කුරුණෑගල ප්‍රභූ පවුලකින් පැවත එන්නෙක් විය. රජයේ සේවකයෙකුවූ ඔහුගේ පියාට විශ්‍රාම යනවිට වාසලමුදලි නමැති නම්බුනාමය බ්‍රිතාන්‍ය පාලකයින් විසින් පිරිනමන ලදී. එපමණක් නොව ඔහු කුරුණෑගල මොන්නෑකුලම පවුලේ ද හිතවතෙක් විය. මා මෙන්ම අපේ කාලයේ පේරාදෙණිය සරසවියේ සිටි සිසුන්ට අබේව මුල්වරට හමුවූයේ ඔහු  පුස්තකාල සහකරැවෙක් ලෙස පත්වීමක් ලැබ එහි ආවායින් පසුවය. ඉතාම විනීත කෙනෙක් වූ ඔහු ඉක්මනින් සිසුන්ගේ සිත් ගත්තේය. සරසවියක කේන්ද්‍රස්ථානය විය යුත්තේ පුස්තකාලයයි. කෙතරම් දේශනවලට සවන් දුන්නද ඒවා අභිබවා අපට දැනුම උකහා ගැනීමට හැකිවූයේ පුස්තකාලයේ ගොඩගසා තිබූ පොත්වලිනි. අවාසනාවකට සිංහල පමණක් ප්‍රතිපත්තිය අමනෝඥ ලෙස ක්‍රියාත්මක කිරීම නිසා අද සරසවි පාළු පිටි වැනිය.  ඕනෑම විෂයක් ගැන සිංහලෙන් ලියන ලද පොතපත රාක්ක දෙකකට තුනකට පමණක් සීමා කළ හැකිය. අපේ කාලයේ පේරාදෙණිය සරසවියේ තට්ටු කිහිපයක්ම විවිධ භාෂාවලින් ලියන ලද පොත්වලින් පිරී තිබුණේය. එපමණක් නොව අපට අවශ්‍ය පතපොත  “කැටලොග්” කර තිබුණ අතර ඒවා ලබා ගැනීමට පුස්තකාල සහකරුවන්ගේ සහය එකල ලබා ගැනීමට සිදුවිය. තම අවශ්‍ය පොත පිළිබඳ විස්තරයක් තුණ්ඩු කෑල්ලක සටහන්කර පුස්තකාල සහකාරවරයා අතට දුන්පසු ඔහු ඒ පොත රාක්ක අතුරින් සොයා ගෙනැවිත් අප අත තබන්නේය. දැවැන්ත පුස්තකාලයක් ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේත් අනුගමනය වන්නේ එම පිළිවෙතයි. මා එහි මෙන්ම සුප්‍රසිද්ධ අමෙරිකන් සරසවියක්වූ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ වයිඩ්නර් පුස්තකාලයේ පර් යේෂණ කරන කාලයේද ද ක්‍රියාත්මක වූයේ අප පේරාදෙණියේදී උගත් එම පොත් ලබා ගැනීමේ ක්‍රමයමයි. මෙයට &කැරල්” ක්‍රමය යැයි සඳහන් කෙරේ.

මෙසේ පුස්තකාල සහායක හරහා පොත් ලබාගැනීම නිසා සිසුවාත් පුස්තකාල සහායකත් අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇතිවේ. මා අබේ ගුණපාල සමඟ එවැනි බැඳීමක් ඇති කරගත්තේ ඔහු මාගේ පුස්තකාල සහායක මිතුරාවූ නිසාය. මාගේ ඉල්ලීම පිට ඔහු බොහෝ වෙහෙස මහන්සිවී මට අවශ්‍ය පොතපත මා අත තැබීය. අපගේ පේරාදෙණිය ඇසුර හදිසියේම කැඩි ගියේ ගුණපාල ඔහුගේ දේශපාලන මිතුරන් හරහා නැගෙනහිර ජර්මනියට ශිෂ්‍යත්වයක් ලබා එරටට සංක්‍රමණය වු විටය. එකල මෙරට කොමියුනිට්ස් පක්ෂයේ නිර්දේශ පිට සමාජවාදී රටවලට ශිෂ්‍යත්ව ලබා ගැනීමට සමහර තරුණයෝ සමත්වූහ. මට ආරංචි වුණ හැටියට ප්‍රබල ශ්‍රී ලංකා නායකයෙක්වූ කුරුණෑගල ඩී.බී. මොන්නෑකුලමගේ සහයෝගය ඇතිව අබේ නැගෙනහිර ජර්මනියට ශිෂ්‍යත්වයක් ලබාගෙන එහි විද්‍යා  සරසවියක අධ්‍යාපනය සඳහා ගොස් තිබුණි. 

හදිසියේ පේරාදෙණියෙන් පිටත්වූ අබේ මට නැවතත් මුණ ගැසුණේ ඊට දශකයකට පමණ පසුවයි. 1970 දී මම බර්ලීන් නුවරට පළමු වරට ගියෙමි. එහිදී මට අබේව නැවතත් හමුවූ අතර මුළු කාලයම පාහේ මා ඔහු සමඟ ගත කළෙමි. එකල ලෝක ඉතිහාසයේ තීරණාත්මක අවධියක් විය. බර්ලීන් නුවර හරි මැදින් බෙදන දිග තාප්පයක් කොමියුනිට්ස් රජය විසින් ඉදිකරන ලදී. එයට කෘෂ්චොප්ගේ තාප්පය යැයි කොමියුනිට්ස් විරෝධීන් විසින් නම් කෙරිණ. මට ආරාධනාව ලැබුණේ බටහිර බර්ලීනයේ සංචාරයකටයි. අබේ ඒ වන විට නැගෙනහිර බර්ලීනයේ ස්ථීර පදිංචිකරැවෙකු වූවා පමණක් නොව පසුව ඔහුගේ බිරිඳ වූ ගබ්රියෙලා සමඟ ප්‍රේම සම්බන්ධයක් ද ගොඩනගා ගෙන තිබුණි. අබේ මෙන්ම අප ද ඇය ඇමතුවේ “ගැබී” යන කෙටි නමිනි. තාප්පය තිබුණත් ලාංකික අපට බර්ලීනයේ කොටස් දෙකේම යෑම් ඊම් කිරීමට අවසර තිබුණි. බටහිර සු ස්ටේෂන් නමැති දුම්රියපොළින් රේල්ලුවට නඟින අපට විනාඩි කිහිපයකින් නැගෙනහිර බර්ලීනයේ මර්මස්ථානයක් වන ප්‍රෙඩ්රිච්ස්ට්‍රාස් නමැති දුම්රියපොළින් බැසගත හැකි විය. බ්‍රෙෂ්ට්ගේ රඟහල හා නිවාසය ද තිබුණේ එම දුම්රියපොළ අසලය. එසේ අපට නිදහසේ නගරය තුළ සැරිසැරිය හැකිවූවද ජර්මන් ජාතිකයන්ට ගමන් බිමන් කිරීම කොමියුනිට්ස් රජය විසින් තහනම් කර තිබුණි. 

මටත් අබේටත් බටහිරට පහසුවෙන් ගියහැකි වූවද ගැබී නැගෙනහිර කොටසේ සිරවී සිටියාය. එම බර්ලීන් ජීවිතය හා අබේ සහ ගැබී ගැන මීළඟ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00