යුද්ධය නිමවීමෙන් පසුව කාලයක් යනවිට කොටි ගැන කතා කාටත් අමතක විය. ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව කොටින් සමඟ තිබූ යුද්ධයේ කතාබහ වෙනුවට උතුර සමඟ සංහිදියාව ආදේශ විය. පුළුල් පරමාර්ථ ඇතිව යුද්ධයකින් තොරව ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට සංහිඳියා වැඩපිළිවෙළ අර්ථවත් පියවරක් වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය.
මේ විශ්වාසය පළුදු වන කතා උතුරින් වරින් වර වර්තා විය. ඊළඟට එවැනි කතා සමඟ ආවා ගෘෘප් නම් කල්ලියේ ප්‍රචණ්ඩකාරී හැසිරීම්ද එළියට ආවේය. මුලින් එය කප්පම් කල්ලියක් වශයෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ චිත්‍රපට බලා ඒවායින් ඔළු නරක් කරගත් නොහික්මුණු තරුණයන් පිරිසකගෙන් මේ කල්ලිය සමන්විත වූ බවත් ඔවුන් අහිංසක යාපනේ වැසියන් තලාපෙළා හිරිහැර කරන කප්පම් කල්ලියක් බවක් සඳහන් විය. ඒ ටික කලකට පෙරය.
ඊළඟට ඇසෙන්නට වූයේ ලබ්බට තිබ්බ අත පුහුලටත් තබන කතාවකි. අහිංසක සිවිල් වැසියන්ට එල්ල කළ මන්නා පහර, වෙඩි පහර ඊළඟට උතුරු පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් දෙසටද එල්ල විය. ඇතැම් ගැටුම් සහ සිදුවීම් හේතුවෙන් පොලීසිය අතින්ද තරුණයන්ට වෙඩි වැදිණි. කිහිප දෙනෙක් අවස්ථා ගණනාවකදී මරණයටද පත්වූහ. එවැනි ක්‍රියා උතුරට පමණක් නොව දකුණටද පොදුය. දකුණේ ඇතැම් අවිගත් පාතාලයක් අතින් පොලීසියට තුවක්කු එල්ල වූ අවස්ථාත් එසේම පොලීසිය විසින් අපරාධකාරයන්ට වෙඩි පහර එල්ල වූ අවස්ථාත් තිබිණි. එහෙත් මේ එකම සිදුවීමක්වත් ජාතික ආරක්ෂාවට ගැටලුවක් වූයේ නැත. කොටින්ම දකුණේ සිදුවන්නේ පාතාලය සහ පොලීසිය අතර නිරන්තර ගැටුම් කොටස් වශයෙන් දිග හැරීමටය. නමුත් උතුරේ පසුගියදා වූ සිදුවීම් කාගේත් ඇස් අරවන්නක් වන්නේ එවා සෘජුවම ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වීමට ඉඩකඩ තිබෙන බව පැහැදිලිව පෙනෙන බැවිනි.
මේ කතාව කිව්වේ දේශපාලනඥයකු නොවේ. එසේ කී කතාවක් නම් එය ජනතාව කුලප්පු කිරීමට ගෙතූ කතාවක් හැටියට හංවඩු ගසන්නට ඉඩක් තිබිණි. යාපනයේ පසුගිය දිනවල පොලීසියේ නිලධාරීන්ට එල්ල වී තිබූ ප්‍රහාර කිහිපයක් හේතුවෙන් මතු වූ තත්ත්වය සොයාබැලීමට උතුරට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම කතාව කියා තිබුණේය. ත්‍රස්තවාදය සහමුලින්ම අවසාන වී නැති බවත් එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින් පටන්ගත් ආකාරයට යළි එන්න දරණ උත්සාහය නැවැත්විය යුතු බවත් ඔහුගේ කතාවේ සඳහන් වී තිබිණි. ඔහු තවදුරටත් කියා තිබුණේ වසර 30ක යුද්ධයක් පැවැති රටක ත්‍රස්තවාදය අවසන් කළා යැයි කිව්වත් එහි යම් විෂබීජ ඒ ආකාරයෙන්ම අවසන් වූවා යැයි කිසිවකුට හෝ කිව නොහැකි බවය.
යාපනයේ පසුගිය දිනවල ඇති වූ සිදුවීම් කිහිපය පොලිස්පතිවරයාගේ කතාව සමඟ ගලපාගත් විට සිතන්නට යමක් ඉතිරි වන බව නොරහසකි. මේ රටේ කිසිදු ජනකොට්ඨාසයකට අයත් කිසිවකු හෝ රට තුළ යළි යුද්ධයක් ඇති වෙනවාට කැමැති නැත. එහි සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද කියා වෙනසක් නැත. එවැනි තත්ත්වයකට යන්තමින්වත් ඉඩක් නොතැබීම කාගේත් වගකීමකි. යාපනේ වැසියන්ට පහරදී ඔවුන් භීතියට පත් කළ කල්ලිය ඊළඟට මහාධිකරණ විනිසුරුවරයකුගේ ආරක්ෂක නිලධාරියකුට වෙඩි තබන විට එතැන හිටපු කොටි සාමාජිකයකුගේ නම් සඳහන් විය. පොලිස්පතිවරයා කියන්නේ එම සැකකරු පුනරුත්ථාපනය නොවු කොටි සාමාජිකයකු බවය. තවදුරටත් කියා තිබුණේ අවි ආයුධ ලක්ෂ ගණනින් බාර දුන්නත් ඒ සියලු අවි ආයුධ ඉවරයි කියා කිව නොහැකි බවය. පුනරැත්ථාපනය නොවූ කොටින් සහ බාර නුදුන් අවි යනු ගින්දරයි පුළුනුයි වැනි සුසංයෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පොලිස්පතිගේ කතාවේ සඳහන් වූ තවත් වැදගත් කාරණාවක් වූයේ පොලීසියේ කිහිපදෙනකු අතින් සිදුවූ වැරැදි ද අදාළ සිදුවීම්වලට බලපා තිබූ බවය. අප කලින් කිව්වාක් මෙන් එයත් උතුරට පමණක් අදාළ ගැටලුවක් නොවේ. දකුණටත් අදාළ ගැටලුවකි. පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ වැරදි නිසා සාමය කඩවන අවස්ථා අපමණ තිබේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය ඉතාම අපහසු තත්ත්වයන් යටතේ ඉටුකළ යුතු අවස්ථා යෙදෙන බව අපි දනිමු. එහෙත් එසේ වූ පමණින් සිවිල් වැසියන්ට හානි පැමිණිය හැකි මෙහෙයුම්වල යෙදීමට පොලීසියට අවසර නැත. යාපනයේ ටික කලකට පෙර රාත්‍රි කාලයේදී පොලිස් මුරපොළක් අසලදී අණ නොතකා ධාවනය කළ මෝටර් සයිකලයකට වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනකු මිය යාම මීට හොඳම උදාහරණයකි. එවැනි සිදුවීම් හැකි තරම් වළක්වා ගත හැකි නම් බොහොමයක් ගැටලු පැන නොනගින බවත් තේරුම් ගැනීම අවශ්‍යය.
පොලිස් නිලධාරීන්ට මන්නා පහර එල්ල කොට තුවාල සිදුකළ පිරිස සම්බන්ධයෙන් උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් මහතා කියා තිබුණේ බීමත් තරැණයන් පිරිසකට යාපනයේ ජන ජීවිතය කඩාකප්පල් කිරීමට ඉඩ නොතැබීය යුතු බවය. ඔවුන් අල්ලා හිරේ දැමිය යුතු බවය. එහෙත් එම සිදුවීම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි ඔහු කියා තිබුණේ නැත.
යාපනේ තරුණ කල්ලියක ප්‍රචණ්ඩ ක්‍රියා දෙස එකවරම ත්‍රස්තවාදී ඇසකින් බැලීමට අපි නොපෙළඹෙමු. එය සාධාරණ නැත. එහෙත් පොලිස්පතිවරයාගේත් සම්පන්දන් මහතාගේත් ප්‍රකාශ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය යැයි අපි සිතමු. කොරහේ කිඹුලන් දැකීම අවශ්‍ය නැතුවා සේම සර්පයන් ගෙතුළට කැඳවාගෙන කනවෝ... කනවෝ යැයි කෑගැසීමද නිෂ්ඵල ක්‍රියාවකි. එල්.ටී.ටී.ඊ.ය යළි එන්න දරණ උත්සාහය නැවැත්විය යුතුය යන පොලිස්පතිවරයාගේ ප්‍රකාශය කෙරෙහි ගැඹුරින් සිතා බැලීම අවශ්‍ය වන්නේ එබැවිනි.