හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට රජය ගත් තීන්දුව දෙමංතලාවක යන බවක් පෙනී යයි. එය අසාධාරණ සහ අයුක්ති සහගත තීන්දුවක් වශයෙන් හිටපු මැති ඇමැතින් බහුතරයකගේ විරෝධයට ලක්වූ අතර වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතින් පෙන්වා දෙන්නේ එය තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් වශයෙනි.
වසර 05ක් පමණ කෙටි කාලයක් මන්ත්‍රී ධුරය දැරූ අයකු විශ්‍රාම වැටුපකට හිමිකම් කීම වසර 30ක් 40ක් රජයේ සේවකයකු වශයෙන් රාජකාරි කර විශ්‍රාම වැටුප් ලබන ජනතාවට කරන අසාධාරණයක් වශයෙන් මෙරට බහුතරයක් ජනතාව දකිති. ඒ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත්වී පසුව සුපිරි ධනවතුන් බවට පත්වූ ඇතැම් මැති ඇමැතින් පිළිබඳ තොරතුරු ජනතාව අතර කාන්දුවීම හේතුවෙන්ද මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රටේ මහජනතාව අතර දැඩි ලෙස අප්‍රසාදයට පත්වූ මාතෘකාවක් බවට පත්විය. මේ හේතුවෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුපක් ලබාදීම බොහොමයක් දෙනාගේ විරෝධයට ලක්වෙයි.
ඒ කෙසේ වුවද විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එම තීන්දුව නැවත සලකා බලන ලෙසටය. මේ සම්බන්ධයෙන් සංසදය වෙනුවෙන් කරූ ජයසූරිය මහතා සිදුකර ඇති ප්‍රකාශය අපගේ දේශය පුවත්පතේ මුල් පිටුවේ පුවතකින් හෙළිකර තිබේ.
හිටපු කතානායකවරයා එම ප්‍රකාශයෙන් පෙන්වා දෙන්නේ විශ්‍රාමික මන්ත්‍රීන්ගෙන් බහුතරය එම විශ්‍රාම වැටුපෙන්ම දිවිගෙවන සෑහෙන දිළිඳු තැනැත්තන් බවය. ඒ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 04 දෙනකුද සිටින බවත් මේ වනවිට විශ්‍රාමික මන්ත්‍රීන් සහ වැන්දඹුවන් 490ක් පමණ එම වැටුප් ප්‍රතිලාභය ලබන බවත් සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුම දූෂිතයන් නොවන බව සත්‍යයකි. නමුත් මේ බව ජනතාවගෙන් බහුතරයක් පිළිගන්නේ නැත. රජයේ මුදල් සොරකම් කළ, තම බදු මුදලින් සුරසැප විඳි මැති ඇමැතින් පිළිබඳ මතකය මහජනතාවගේ සිත් සතන් තුළින් පහසුවෙන් බැහැර වන්නේ නැත. එසේ වුවද ඇතැම් මන්ත්‍රීවරුන් තම වැටුප පවා සමාජ සත්කාරක වැඩට යොදවන බව බොහෝ දෙනකු දන්නේ නැත. එසේ කරන පක්ෂ නායකයෝද වෙති. නමුත් ඒ සියලු හොඳ වැඩ යටපත් කිරීමට ඇතැම් හිටපු මැති ඇමැතින් සිදුකළ අමන ක්‍රියා හේතු වී තිබේ. මන්ත්‍රී වැටුප් අහෝසි කිරීම යහපත් වැඩක් වශයෙන් බොහෝ දෙනා දකින්නේ එබැවිනි.
වංචා සහගත ලෙස මුදල් හම්බ නොකළ, සොරකම්ද නොකළ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ද එම වැරැද්ද කළ මන්ත්‍රීවරුන්ගේ පිට තබා ඔවුන් සියලු දෙනාගේ වරප්‍රසාදයක් කැපූ බවටද චෝදනා නැගෙයි. විශ්‍රාම වැටුපක් වරප්‍රසාදයක් වශයෙන් ගණන් නොගැනෙයි. විශ්‍රාම වැටුප ජීවිත කාලයක් පුරාවට සිදුකළ සේවයට ලැබෙන පාරිතෝෂිකයකි. රජයේ සේවකයන්ට ජීවිතයේ හොඳම කාලය රාජ්‍ය සේවය වෙනුවෙන් කළ කැපකිරීමට විශ්‍රාම වැටුපෙන් පිදෙන්නේ උපහාරයකි.
එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණ එහි ගත කරන කාලය තුළදී තමන්ගේ පවුලේ හත්මුතු පරම්පරාවට සෑහෙන තරම් ධනයක්ද උපයාගෙන දූ දරුවන්ට පමණක් නොව තම නිවෙස්වල ඇතිදැඩි කරන සුරතල් සතුන්ට පවා සුරසැප දෙන තරමට තම මන්ත්‍රී වරප්‍රසාද භාවිත කර ඇති බව ඔවුන් පසු කාලයකදී ගත කරන සුවපහසු ජීවිතවලින්ද පෙන්වා දී තිබේ. තැපැල් නයින්ටි යතුරුපැදිය තල්ලු කරගෙන දේශපාලනයට පිවිසි ඇතැමුන් පසුව මන්ත්‍රීලා, ඇමැතිලා, මහ ඇමැතිලා වී අහස උසට තැනූ මාලිගා පමණක් නොව නැව් පවා හිමිකරගෙන සිටින බවත් නොරහසකි. මේ සිද්ධි හෙළිදරව් වනවිට ඒ පිළිබඳ අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගවලදී කරුණු දක්වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මොන විශ්‍රාම වැටුප්දැයි පොදු මහජනතාවට සිතෙන එක ගැන එක අතකට පුදුමයක්ද නැත.
මන්ත්‍රී ධුරය යනු රැකියාවක් නොව මහජන සේවයක් වශයෙන් සැලකෙන බැවින් ඇතැම් රටවල් මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන්නේ නැත. එසේ වුවත් ඉන්දියාව වැනි ආසියානු රටවල පමණක් නොව අමෙරිකාව සහ එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල්වල පවා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවන බවද සඳහන්ය. එසේ වුවද එම රටවල කිසිදු මන්ත්‍රීවරයකුට තමන් ධුරය දරණ කාලය තුළදී සිතූ සිතූ පරිදි ධනය රැස්කළ නොහැකිය. බොහෝ මහජන මන්ත්‍රීවරුන් පමණක් නොව ඇතැම්විට අගමැතිවරුන් පවා තම පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදවා ගන්නේ පොදු ප්‍රවාහන සේවාවයි. රාජකාරි සඳහා ලබාදෙන වාහනය කිසිදු පෞද්ගලික කටයුත්තකට යොදාගත නොහැක. එවැනි රටවල විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ගැන කිසිදු විරෝධයක් නැත්තේ මේ හේතුවෙනි.