2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

තීන්දු ගැනීමේදී ප්‍රමාද නොවීම අවශ්‍යමයි

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

වැඩපිළිවෙළ කොතරම් හොඳ වුවත් වෙලාවට වැඩේ නොකෙරෙන්නේ නම් පලක් නැත. වෙලාවට වැඩ කිරීම සාමාන්‍ය ආයතනයකට පමණක් නොව ආණ්ඩුවකටද එක සේ අදාළය. වැඩ කල් දැමෙන විට මහජනතාව ඒ ගැන විමසිලිමත් වීම ස්වභාවිකය. ආණ්ඩුවක් වැඩ කල් දමන විට මහජනතාව වඩාත් විමසිලිමත් වනවා පමණක් නොව සැක පහළ කිරීමටද පෙළඹෙති. දේශපාලනයේ හැටි එහෙමය.

වත්මන් ආණ්ඩුව අයි.එම්.එෆ්. එකට අදාළව ගනු ලබන තීන්දු සහ ඒ හා බැඳුණු ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීම අතින් ඉදිරියෙන් සිටින බව පෙන්වා තිබේ. බදු අයකිරීම් ගාණට මිම්මට සිදුවෙයි. නමුත් සෙසු බොහොමයක් තීන්දුව තීරණ සම්බන්ධයෙන් යම් තරමක ප්‍රමාදයක් සිදුවන බව පෙනෙන්නට තිබේ. තීන්දු ගැනීම් ප්‍රමාද වනවිට ආණ්ඩුවේ පාලනයේ හිඩැස් ඇතිවීමද බලාපොරොත්තු විය යුතුය. බලයට පත් වී වසරකට ආසන්න වන ආණ්ඩුවක් සිටිය යුත්තේ ජව සම්පන්න තත්ත්වයකිනි. තීන්දු ගැනීමත් ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමත් ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට එම ජව සම්පන්න බව රුකුලක් කරගත යුතුය.

එහෙත් බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ තීන්දු ගැනීම් ප්‍රමාදයට පත්වෙමින් තිබෙන බවය. පැල්වත්ත, සෙවණගල, ඇතිමලේ සහ හිඟුරාණ සීනි කම්හල්වල සේවකයන් පාරට බැස උද්ඝෝෂණය කිරීම එවැනි ප්‍රමාදයක ප්‍රතිඵලයකි. මාස ගණනාවක් තිස්සේ තමන්ගේ ගැටලුවලට විසඳුමක් නොමැති නිසා මෙසේ පාරට බැසීමට සිදු වූ බව එම උද්ඝෝෂණය සංවිධානය කරන ගොවි අරගල ව්‍යාපාරයේ නියෝජිතයන් කියා තිබිණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේදීම උක් ගොවීන්ගේ ගැටලුව මතු කෙරුණු අතර ඒ සඳහා  මෙතරම් කලක් ඵලදායී මට්ටමින් තීන්දු ගැනීමට අපොහොසත් වීම ඛේදවාචකයක් වීමට පවා ඉඩ තිබේ.

එසේම අපගේ දේශය පුවත්පතේ මුල් පිටුවේ පුවතකින් කියැවෙන්නේ ධීවරයන්ට පොරොන්දු වූ ඩීසල් සහනාධාරය තවමත් ඔවුන්ට නොලැබීම හේතුවෙන් ධීවර කටයුතු අඩාල වී ඇති බවය. දකුණුදිග ධීවර යාත්‍රා දහස් ගණනක් දියඹට නොගොස් වෙරළේ බැඳ තබා ඇත. මෙය ධීවර ජනතාව මුහුණ දී සිටින බරපතළ ගැටලුවකි. මෙවැනි අවස්ථාවලදී ද තීන්දු ගැනීමේ ප්‍රමාදයක් තිබීම ගැටලුව උග්‍ර කිරීමට මිස එය විසඳීමට උදව්වක් වන්නේ නැත.

පසුගිය දිනවල වැව් රක්ෂිත මත ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම පිළිබඳ විශාල කථිකාවක් ගොඩනැගිණි. ඉඩම්, වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතා අනුරාධපුර නුවර වැව් රක්ෂිතයේ ඉදිකර තිබෙන එවැනි අනවසර ගොඩනැගිලි පිළිබඳ විස්තර ඉදිරිපත් කළේ ඒවා ඉක්මනින් ඉවත් කරන බව කියමිනි. මුලින්ම වැව් රක්ෂිත ලකුණු කිරීම කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. නමුත් එම කටයුතු ඒ කියන තරම් ඉක්මනින් සිදුවන බවක් නොපෙනේ. නුවර වැව් රක්ෂිතයේ අවට පදිංචි පිරිසක් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ තමන් පරම්පරා ගාණක් තිස්සේ එම ඉඩම්වල ඔප්පු සහිත පදිංචිකරුවන් බවත් ඒවායින් ඉවත් නොවන බවත්ය. නමුත් මේ වනවිට වැව් රක්ෂිත ලකුණු කිරීම පවා සිදු නොවන බවට තොරතුරුද ලැබෙමින් පවතී. ගන්නා තීන්දු ඉක්මනින් ක්‍රියාත්මක නොවන විට එම තීන්දු යළි බලාත්මක කිරීම පහසු නැත. රජය මේ යථාර්ථය තේරුම් ගත යුතුය.

වී ගොවීන්ගේ ගැටලුද දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුව වී ගබඩා අරින බව කිව්වත් එය ඵලදායී මට්ටමින් සිදුවන්නේ නැත. ගොවීහු ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා හඬ නගති.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා යහපත් යෝජනාවකි. එය ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශයේද සඳහන් විය. නමුත් එය ඉදිරිපත් කිරීමේදී සිදු වූ යම් ප්‍රමාද දෝෂ හේතුවෙන් එම ප්‍රතිසංස්කරණවලට එරෙහි මත ප්‍රකාශවලට ලොකු ඉඩක් ලැබිණි. රටේ සෑම ජන කොටසකටම එසේම සෑම පවුල් ඒකකයකම සාමාජිකයන්ට බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුව මහජනතාවට නිසි පරිදි පූර්ව දැනුම්දීමක් කිරීමට පියවර නොගැනීමෙන් එම අවුල ඇතිවිය. ප්‍රමාද වී හෝ එම වගකීම ඉටුකිරීමට සිදුවූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකටය. ඒ සඳහා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවිය.

නිවැරදි තීන්දු තීරණ ගැනීමේදී ආණ්ඩුව ප්‍රමාද වීම සුදුසු නැත. ප්‍රමාදය පසුතැවීමට හේතු වන බව කියා ඇත්තේ කට කහනවාට නොවේ.