2025 ජුලි 26 වන සෙනසුරාදා

වැඩි වැටුප් සහ වතු කම්කරුවෝ

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

පෞද්ගලික අංශයේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කෙළින්ම කොළ එළිය පත්තු කර තිබේ. පසුගිය අඟහරුවාදා (22) පාර්ලිමේන්තු පනතක් වශයෙන් එය සම්මත කරනු ලැබීමෙන් එය නීතියක් බවට පත් කෙරෙන කොළ එළිය දැල්වීමේ ස්විචය ආණ්ඩුව දැම්මේ එම වැටුප් වැඩි වීම අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බවට කළ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රකාශය ද සමඟිනි.

මේ රටේ ආණ්ඩුවේ සේවකයන්ට වැටුප් වැඩි වූ හැම අවස්ථාවකදීම පෞද්ගලික අංශයේ සේවකයන් වැඩි පිරිසකගේ සිත් රිදුණි. බොහොමයක් පෞද්ගලික අංශයේ ආයතන ආණ්ඩුව කරන ඉල්ලීම්වලට කන් දුන්නේ නැත. හැම ආණ්ඩුවක්ම කළේ රජයේ සේවක වැටුප් වැඩි කරන අවස්ථාවලදී පෞද්ගලික අංශයේ සේවකයන්ටද වැටුප් වැඩි කරන ලෙසට ඉල්ලීමක් කිරීම පමණි. එතැනින් එහාට කිසිදු බලපෑමක් සිදු නොවුණි. නමුත් ඇතැම් පෞද්ගලික ආයතන සේවක වැටුප රජයේ සේවක වැටුපට වඩා වැඩි වීම ඒ අවස්ථාවලදී මතු කර පෙන්වා තිබේ. එහෙත් පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප ආදායම් බද්දට හසුවීමේ අවාසියක් තිබීම ගැටලුවකි.

කෙසේ වුවද පෞද්ගලික අංශ සේවක වැටුප් වැඩි කිරීමේදී අසාධාරණයට ලක්වෙන තවත් පිරිසක් වෙති. ඒ වතු කම්කරු ජනතාවයි. දැනට වතු කම්කරුවන්ට දිනකට ලැබෙන අවම වේතනය රුපියල් 1350 කි. එය ප්‍රමාණවත් නැත. වතු කම්කරු අවම වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ නංවන බවට ආණ්ඩු පක්ෂය පොරොන්දු කප්පරක් ලබා දුන්නේ මැතිවරණවලට කලිනි. එය මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වී තිබීමෙන් වතු කම්කරු ජනතාවට සැලසෙන සෙතක් නැත.

වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන් සහ සේවක වෘත්තීය සමිති අතර කිසිදු සංවාදයක් නොතිබීමද මේ ප්‍රශ්නය උග්‍ර කරවීමට තවත් හේතුවකි. මෙරට වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති වතුකරයේ දේශපාලනය සමඟ ගහට පොත්ත මෙන් ඇලී තිබෙන්නකි. වෙනත් වෘත්තීය සමිති මෙන් නොව වතු කම්කරු සමිති ඍජුවම දේශපාලනයට සම්බන්ධය. කාලයකට ඉහතදී මෙරට ආණ්ඩු පිහිටුවීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ වතු කම්කරු ජනතාව නියෝජනය කළ වෘත්තීය සමිති නායකයන්ගෙන් සැදුම් ලත් දේශපාලන පක්ෂයි.

එවැනි අවස්ථාවලදී වරින් වර ඉල්ලීම් කරමින් වතු කම්කරු වැටුප් වැඩි කර ගැනීමට එම නායකයෝ සමත් වූහ. නමුත් වතු කම්කරුවන්ට යටිතල පහසුකම් සැපයීමට ඔවුන් එතරම් උනන්දුවක් ගත්තේ නැත. වතු කම්කරුවන් ඒ අයුරින්ම පීඩිත පන්තියට සිර කර තබා ගනිමින් තමන්ට ඡන්දය ලබා ගැනීම ඒ නායකයන්ගේ අරමුණ වූ බැවිනි. වතු කම්කරුවන් තවමත් වැඩි වැටුප් ඉල්ලා හඬ නගන තත්ත්වය ඇතිවූයේ එවැනි පටු දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමේ එක් ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් අද තත්ත්වය වෙනස් වී තිබේ. වතුකරයේ දේශපාලනයේ හැඩතල ද ඊට අනුරූපව වෙනස් විය. අද ආණ්ඩුව නියෝජනය කිරීමට තොණ්ඩමන්ලා නැත. කැබිනට් ඇමැති ධුර ඇතුළු වරදාන ප්‍රදානය කර ඔවුන් ආණ්ඩුවට ගැනීමේ ක්‍රමයට ද දැන් වැට බැඳී තිබේ. වතුකරයෙන් ආණ්ඩුව නියෝජනය කිරීමට තොණ්ඩමන්ලා වෙනුවට අම්බිකාලා බිහි වී සිටිති. එහෙත් අම්බිකාලාගේ හඬට එතරම් තැනක් ඇති බවක් පෙනෙන්නේ නැත. වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු යටිතල පහසුකම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආණ්ඩුව අම්බිකා වැනි වතුකරයේ ජනතාවට විවිධ පොරොන්දු ලබා දී ඡන්දය ලබාගත් ජනතා නියෝජිතයන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් බොහොමයක් ගැටලුවලට විසඳුම් සොයාගත හැකිවනු ඇත.

ඒ සමඟ කිව යුත්තේ වැඩි කෙරෙන වැටුපට සරිලන ලෙසට සේවකයන්ගේ ඵලදායීතාවද වැඩි කර ගැනීම අත්‍යාවශ්‍ය බවය. රජයේ සේවකයන්ට මේ ආණ්ඩුව කැපී පෙනෙන වැටුප් වැඩි කිරීමක් කළේය. එහෙත් ඵලදායීතාවයේ කැපී පෙනෙන වෙනසක් තවම නැත. පෞද්ගලික අංශ සේවකයන්ගේ ඵලදායීතාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නැති වුවද ආදායම් වැඩි කර ගැනීම සඳහා පෞද්ගලික අංශය ක්‍රියාශීලීව කටයුතු කිරීම අවශ්‍යය. වතු කම්කරු ජනතාව ද වැඩියෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ලබා ගැනීමේ මානසිකත්වයක් හදා ගැනීමට උනන්දු කළ යුතුය. රජය වැටුප් වැඩි කළ බවට ප්‍රශස්ති ගායනා කිරීමෙන් පමණක් රටට වැඩක් නැත. තමන්ට ද වැඩක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

 

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00