2025 ජුලි 19 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩු කොටඋඩ යාම

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

පළාත් පාලන මැතිවරණය පවත්වා දැන් මාස දෙකහමාරකි. එහෙත් තවමත් ආයතන 50 ක් පමණ පිහිටුවා ගැනීමට හැකියාව ලැබී නැත. උසාවි තීන්දු සහ ගණපූරණ ගැටලු හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි වාර්තා වී තිබේ. ඇතැම් සභිකයන්ගේ නම් ගැසට් නොකිරීමද අඩුපාඩුවක් බවත් සඳහන්ය.

මෙය අවාසනාවන්ත තත්ත්වයකි. වසර 07 කට පසුව පුංචි ඡන්දය පැවැත්වූයේ එම ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් රටේ මහජනතාව අතුරින්ද දැඩි කනස්සල්ලක් පළවෙමින් තිබියදීය. පළාත් පාලන ආයතන මට්ටමින් සිදුවිය යුතු යටිතල පහසුකම් ප්‍රමාණවත් අයුරින් සංවර්ධනය කිරීම සඳහා එම ආයතනවලට මෙතෙක් කල් මහජන ඡන්දයෙන් පත් කෙරෙන සභිකයන් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් වශයෙන් කැපී පෙනිණි. ජනතාව තමන් කැමැති ආකාරයට එම ආයතනවලට දැන් බලය ලබා දී තිබේ. ඔවුන් එසේ බලය දී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන බලය උරගා බලන විසූක දස්සන නැරඹීමට නොව තමන්ගේ පළාතට වැඩක් කරවා ගැනීමටය. කුමන හේතුවක් මත හෝ ආයතන පිහිටුවා ගැනීම ප්‍රමාද වන්නේ නම් එහි වින්දිතයා වන්නේ ආණ්ඩුව හෝ විපක්ෂය හෝ නොව අදාළ පළාත්වල වෙසෙන මහජනතාවයි.

පළාත් පාලන නීතියේ හැටියට යම් සභාවක් රැස්වීමට මුළු සභිකයන්ගෙන් සියයට 50 ක් සිටීම අවශ්‍යය. මේ බව සියලු දෙනාට වඩා හොඳින් දැන සිටිය යුත්තේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයන්ය. එයට ඔවුන් නියෝජනය කරන පක්ෂය හෝ කණ්ඩායම හෝ අදාළ නැත. මේ සියලු දෙනා ඒ හැම පක්ෂයකින්ම සහ කණ්ඩායමකින්ම තේරී පත්ව සිටින්නේ තමන්ගේ බඩවඩා ගැනීමට නොව පළාතේ ජනතාවට සේවය කිරීමටය. එසේ තිබියදීත් කුමක් හෝ ප්‍රශ්නයක් ඇදගනිමින් සභා රැස්වීම් කඩාකප්පල් වන ආකාරයට කටයුතු කිරීමට එම සභිකයන්ට හැකියාවක් නැත. ගණපූරණය නැති වන ආකාරයට සිතාමතා සභා රැස්වීමට නොපැමිණ සිටින සභිකයන් සිදු කරන්නේ මහජනතාවගේ අයිතිය පැහැර හැරීමකි. එය බරපතළ වැරැද්දකි.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා රජය වැය කළ මුදල රුපියල් කෝටි 1100 කට ආසන්න බවද සඳහන් වෙයි. අපේක්ෂකයන් අටදහසකට අධික සංඛ්‍යාවක් තරග වැදුණු මෙම ඡන්ද විමසීම ප්‍රාදේශීය සභා 274 ක් මහ නගර සභා 27 ක් සහ නගර සභා 36 ක සභිකයන් තෝරා ගැනීම සඳහා පැවැත්විණි. එසේ වුවද ජනතාවගේ ඡන්දයෙන් තෝරාගනු ලැබූ සභිකයන් තමන්ට ඡන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සේවය අමතක කරලීම සමාව දිය හැකි වරදක් නොවන බව ඔවුන් තේරුම් ගැනීම අවශ්‍යය.

රජය මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ පක්ෂවල හෝ සභිකයන්ගේ හෝ විවිධ ප්‍රශ්න හේතුවෙන් පිහිටුවා ගැනීමට නොහැකිව තිබෙන ආයතන සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලා හැකි ඉක්මනින් ඒවා පිහිටුවා ගැනීමට කිසියම් ක්‍රමවේදයක් සැකසීමයි. මෙසේ ආයතන 50 ක් පමණ අකර්මණ්‍යව පැවතීම පිහිටුවා ගන්නා ලද ආයතන පවත්වාගෙන යාමට පවා බාධාවක් බව සැලකිල්ලට ගත යුතුය. මේ ගමේ ආණ්ඩු වැඩ කරන ආකාරය දැක බලා ගැනීමට රටේ මහජනතාවද කැමැත්තෙන් සිටින බවද අමතක නොකළ යුතුය. වසර 07 ක් පමණ කාලයක් ඔවුන්ට මේ අවස්ථාව ලැබී නොතිබිණි. දැන් ලැබී තිබෙන අවස්ථාවද තම තමන්ගේ පක්ෂ දේශපාලනයේ කෙනෙහිලිකම් හේතුවෙන් ගිලිහී යාමට ඉඩ දිය යුතු නැත. හැකි ඉක්මනින් ඒ ගැටලු විසඳාගෙන ජනතාවගේ ගැටලු විසඳීමට මුල් තැනක් දීම අවශ්‍යය. සිතාමතා නොපැමිණෙන සභිකයන් හේතුවෙන් ගණපූරණය නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකිවීම වැනි අවස්ථා යළිත් ඇතිවීමට ඉඩක් තැබිය යුතු නැත. එය තම වගකීම සම්පූර්ණයෙන් පැහැර හැරීමකි.

මේ අතර පළාත් පාලන ආයතනවල සභාපතිලා සහ උප සභාපතිලා තෝරා පත්කර ගැනීමේදී මේ ආකාරයේ සංකීර්ණ දේශපාලන ගැටලු ඇති කිරීමත් ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා දක්වා ඒවා ව්‍යාප්ත වීමත් පවතින පළාත් පාලන මැතිවරණ (සංශෝධිත) පනතේ අඩුපාඩුවල බරපතළකම පෙන්වා දී තිබේ. වැඩි සභිකයන් සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට හැකි වන පක්ෂයට හෝ කණ්ඩායමට හෝ වුවද සභාපති සහ උප සභාපති පත්කර ගැනීමට හැකියාවක් නොමැතිවීම එම අඩුපාඩු අතුරින් ප්‍රධානය. මෙවැනි බාගෙට තැම්බුණු අණ පනත් වලින් සිදුවන්නේ ජනතාව තුළ පළාත් පාලන ඡන්ද ක්‍රමය කෙරේ පවතින විශ්වාසය ගිලිහී යාම පමණි. එය එසේ වීමට ඉඩ හැර බලා සිටීම ආණ්ඩුවේ වගේම විපක්ෂයේද යුතුකම නොවේ.

 

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00