2025 ජුලි 12 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩු හදන මැතිවරණ ක්‍රමය විසිකරන්න ඕනෑ

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

විධායක අධ්‍යක්ෂ පැෆරල් සංවිධානය රෝහණ හෙට්ටිආරච්චි

  • ජනාධිපති මාධ්‍ය අංශය වුණත් තොරතුරු දෙන්න බෑ කියන්න බෑ
  • ඇත්තටම ආණ්ඩුවට තොරතුරු කොමිසම ඉතාම වැදගත්
  • ස්වාධීන කොමිෂන් සභාපතිවරුන්ට ජනතා විශ්වාසය ඕනෑ
  • දේශපාලන සගයන් ලොකු තැන්වලට දාගැනීම ආණ්ඩුවකට විනාශයක්
  • අල්ලස – දූෂණය නවත්වන්න නම් හොඳම තැන මේකයි
  • තොරතුරු කොමිසමෙන් පුරවැසියන් ප්‍රයෝජන ගන්නවා මදි

 

 

ඔබේ සංවිධානයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්. මොකක්ද දැන් මෙතැන ඇතිවෙලා තියෙන ගැටලු‍ව?

එතැන කාරණා ගොඩක් තියෙනවා. තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමත් සමඟ ඒ සාමාජිකයන් පත් කර ගැනීමේ යම්කිසි ගැටලු‍වක් ඇතිවෙලා තියෙනවා. ඒක ව්‍යවස්ථාදායක සභාවේ වගකීම. ජනාධිපතිවරයාගේ පැත්තෙන් තමයි සභාපතිවරයා පත් කරන්නේ. දැන් ඒකෙ ප්‍රමාදයක් තියෙනවා.

දැන් මේ කොමිසම ජනතාවට වැදගත් වෙන්නේ ඇයි?

මේ කොමිසම සෑහෙන්න වැදගත්. ලංකාවේ අල්ලස දූෂණය වංචාව නතර කරන්න පුළුවන් හොඳම තැන මෙතැන. අල්ලස් කොමිසම ප්‍රධාන තාක්ෂණික කටයුතු කළාට තොරතුරු කොමිසම හරහා තමයි මිනිසුන්ට මේ දේවල් දැනගැනීමේ අයිතිය තියෙන්නේ. රටේ තියෙන විනිවිදභාවය එළියට එන්නේ මේ තොරතුරු කොමිසම හරහා. ඒ කොමිසමට පත් කරන්න ඕනේ ඒ වගේ සුදුසුකම් තියෙන අය.

මොනවද ඒ සුදුසුකම්?

එකක් පුළුල්ව වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. හොඳ දැනුමක් තියෙන්න ඕනේ. අනික විනිවිදභාවය. ඔය ටික නැත්නම් කවුරු හරි වෙන කෙනෙක් කියන මතයේ ඉන්න බෑ.

ආණ්ඩුවෙන් පත් කරන්න හදනවා කියන කෙනාට මේ සුදුසුකම් නැද්ද?

අපි එක එල්ලේ කියන්නේ නෑ මේ පත් කරන කෙනා නුසුදුසුමයි කියලා. අපි කියන්නේ ඉක්මනින් පත් කරන්න කියලා. පත් කරනකොට ඔය ඉහත කාරණා ගැන පැහැදිලිව දැනුවත් වෙන්න ඕනේ.

දැන් මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරන නිසා මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ විස්තර දෙන්න බෑ කියලා ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද?

එහෙම හැකියාවක් නෑ. මහජන මුදලින් නඩත්තු වෙන ආයතන නම් ඒ තොරතුරු ජනතාව දැනගන්න ඕනේ. මේ ළඟදී අධිකරණයෙන් තීන්දු කිහිපයකුත් ලබා දීලා තිබුණා. තොරතුරු කියන දේ මහජනයාට අයිති දෙයක්. දෙන්න බැරි වෙන්නේ පෞද්ගලික කාරණා විතරයි. ලෙඩ රෝගයක් වගේ දේවල්. ඒ වගේම ගිවිසුම් සම්බන්ධයෙන් යම්කිසි සීමාවක් තියෙනවා. රාජ්‍ය රහස් කියන අංශයට වැටෙන ඒවා. විශේෂයෙන් ජනතාවගේ මුදල් මත ගන්න තීන්දු තීරණ. ඒ වගේම ජනතාවගේ ජීවිත වෙනුවෙන් ගන්න තීන්දු තීරණ වගේ දේවල් ගැන ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා.

එහෙම තොරතුරු නොදෙනවා නම් මොකද කරන්නේ?

තොරතුරු ලබා දෙන නිලධාරියාට අපි ඉල්ලීමක් කරලා ඇරියාම එයා දින 14 ක් ඇතුළත තොරතුරු දෙන්න පුළුවන්ද බැරිද කියන එක කියන්න ඕනේ. දින 28 ක් ඇතුළත අනිවාර්යෙන් තොරතුරු දෙන්න ඕනේ. යම් විදියකට තොරතුරු දෙන්න තව සාධාරණ කාලයක් යනවා නම් තව සති දෙකක් ඉල්ලන්න පුළුවන්. ඒත් ඒ කාලෙදි තොරතුරු දෙන්න බැරි වුණොත් අපිට පුළුවන් අභියාචනා ඉදිරිපත් කරන්න ඒ ආයතනයේ ප්‍රධානියාට.

ඔහුත් ප්‍රතික්ෂේප කරනවා නම්?

එතකොට අපිට යන්න පුළුවන් තොරතුරු කොමිසමට. තොරතුරු කොමිසම මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිද්ධ කරනවා. ඒවා මහජනයාට වැදගත් වෙන්නත් පුළුවන්. නැත්නම් පෞද්ගලික තමන්ට වැදගත් වෙන්නත් පුළුවන්. දැන් පාසලක හදිසියේ එක ළමයෙක් අරගෙන ඔබේ ළමයා පාසලට නොගත්තොත් ඔබට පුළුවන් අහන්න ඇයි මගේ දරුවා නොගත්තේ, මොකක්ද හේතුව කියන කාරණය. පෞද්ගලික කාරණා වුණත් අහන්න පුළුවන්. ඒ අනුව තොරතුරු කොමිසම මේ සම්බන්ධයෙන් හොයලා බලලා ඒ අය මැදිහත් වෙලා තොරතුරු අරගෙන දෙනවා. ඒ කරලත් ප්‍රතික්ෂේප කළොත් පුළුවන් අපිට අධිකරණයට යන්න. එහෙම අධිකරණයට ගිහිල්ලා සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මේකේ තියෙන හොඳම දේ තමයි ඉතාම කෙටි කාලයක් තුළ ප්‍රතිචාර දක්වන්න ඕනේ. මේ තොරතුරු කොමිසම හරහා ජනතාව තොරතුරු දැනගන්නෙම දූෂණය වංචා වගේ කාරණා සම්බන්ධයෙන්. අන්න ඒ නිසයි අනෙකුත් කොමිසම්වලට වඩා මේකේ වටිනාකම වැඩි වෙන්නේ.

ආණ්ඩුවට තොරතුරු කොමිසමේ වැදගත්කමක් තියෙනවද?

ඇත්තටම ආණ්ඩුවට තොරතුරු කොමිසම ඉතාම වැදගත්. මේ ආණ්ඩුවට ලැබුණු ජනවරමත් ආණ්ඩුවේ මූලික අරමුණත් හොරකම දූෂණය නැති කරන එක. ඒ වගේ අවස්ථාවක තොරතුරු කොමිසම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන එක ආණ්ඩුවේ පැත්තෙනුත් වැදගත්. හැබැයි ආණ්ඩුව තවම මාස තුනක් ගිහිල්ලත් සභාපති කෙනෙක් පත් කළේ නෑ. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ඉක්මනින් සභාපති කෙනෙක් පත් කරන්න. එයා කලින් වැඩ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ චෝදනා තියෙනවද බලන්න.

බොහෝ වෙලාවට ආණ්ඩු හිතවාදී පුද්ගලයෙක් තමයි ඔය සුදුසුකම්වලට යන්නේ. 100% ක් සාධාරණව කටයුතු කරයි කියලා හිතන්න පුළුවන්ද?

අපි කියන්නේ ආණ්ඩු හිතවාදී කෙනෙක් පත් කරන්න බෑ කියලා. ආණ්ඩුව හිතන්න පුළුවන් ආණ්ඩු හිතවාදීද නැද්ද කියන කාරණය. මේ කොමිෂන් සභා ගෙනාවේ මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. මේකට විශාල මුදලක් යට කරනවා. ඒ යට කරන්නේ ජනතාවගේ සල්ලි. ඒ නිසා ඒවා ස්වාධීනව තියෙන්න ඕනේ. එහෙම තත්ත්වයක් උඩ ඒ කොමිෂන් සභාවලට ආණ්ඩු හිතවාදී කෙනෙක් පත් කරනවා නම් ඒකෙ ප්‍රතිඵලයක් නෑ. පත් කරන කෙනා සමහර විට ආණ්ඩු හිතවාදී හරි වෙනත් පක්ෂ හිතවාදී හරි වෙන්න පුළුවන්. අපි කියන්නේ ඔහු ප්‍රතිපත්තිගරුකව වැඩ කළ යුතුයි කියලා. විශේෂයෙන් මධ්‍යස්ථව අන්තගාමී නොවී වැඩ කටයුතු කළ යුතුයි කියලයි අපි කියන්නේ.

හොඳටම දේශපාලනය කළ කෙනෙක් එතැනට දාලා ස්වාධීනව වැඩ කරයි කියලා හිතන්න පුළුවන්ද?

යම් පාලන කණ්ඩායමකට අනන්‍ය වුණු පුද්ගලයෙක් පත් කළහොත් වගකීම සහ විශ්වාසය නැතිවෙලා යනවා. මොකද කොමිසම්වල සභාපතිට ජනතාව ඉතාම ඉහළින් ගෞරව කරනවා. ජනතා විශ්වාසය වැදගත්. දැන් අපේ සංවිධානය ගත්තාම මම ස්වාධීනයි හොඳින් වැඩ කරනවා කියලා මම කිව්වට වැඩක් නෑ, ජනතාව ඒක කියන්න ඕනේ. මොකද එළියට සමාජයට පේන්න ඕනේ අපි එහෙම වැඩ කරනවා කියලා. දැන් මම දේශපාලන පක්ෂයකට අනන්‍ය වෙලා වැඩ කරලා තියෙනවා නම් අපි කොච්චර හොඳට වැඩ කළත් ජනතාව පිළිගන්නේ නෑ. අන්න ඒ නිසා අපි සභාපති පත් කරනකොට ඒ විශ්වාසය වගේම වගකීම තියෙන කෙනෙක් පත් කරන්න කියන්නේ.

ඔබ හිතනවද ආණ්ඩුව ඉන්නේ ඒ දේ අවබෝධ කරගෙන කියලා?

අපිට කල් වැඩියි ඒ සම්බන්ධ සම්පූර්ණ අදහසක් පළ කරන්න. සමහර තැන්වලට දේශපාලනයට සම්බන්ධ අය පත් කරගෙන තියෙනවා. දැන් ඒක අපිට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඕනෑම කෙනෙක් පත් කරගන්නේ තමන් විශ්වාස කරන අය. හැබැයි ඒක විතරක් තිබිලා බෑ. මොකද දේශපාලනික වශයෙන් තමන් ගන්න හැම තීන්දුවක්ම හිස් මුදුනින් පිළිගන්න අය එතැනට දාලා තේරුමක් නෑ. ඒක ආණ්ඩුවකට විනාශයක්. ඒ නිසා අපිට පැහැදිලිවම තාම පේන්නේ නෑ එහෙම දේශපාලනික නොවන අය තමයි මෙතැනට පත්වෙලා තියෙන්නේ කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඒ පත් කරපු අය දේශපාලනික වශයෙන් සාපේක්ෂව කටයුතු කරනවා කියලා අපිට තොරතුරු ලැබිලා නෑ. අහඹු සිදුවීම් තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ලැබිලා නෑ.

දැන් ඔය ස්වාධීන ආයතනවලින් හරි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් හරි ජනතාව ප්‍රයෝජනයක් ගන්නවද?

ඇත්තටම කනගාටුයි. මදි. සංවිධානාත්මක පුරවැසියෝ කිහිප දෙනෙක් තමයි මේකෙන් ප්‍රයෝජන ගන්නේ. අනිත් අයගේ දැනුවත්භාවය ඉතාම අඩුයි. හැබැයි එක දෙයක් තියෙනවා. අර සංවිධානාත්මක පුරවැසියෝ ගන්න තොරතුරු ගන්නේ පෞද්ගලික වාසියට නෙමෙයි. ඒ පොදුවේ මහජනතාවට දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ගන්නා තොරතුරු. ඒ කියන්නේ ඒ තොරතුරු රටේ පොදු ජනතාවටම වැදගත් වෙන තොරතුරු. ඒවා අරගෙන නිකන් ඉන්නේ නෑ. ඒවා ඒ අය සමාජයට බෙදනවා. ඒ නිසා අපි කියන්නේ මේ තොරතුරු දැන ගැනීම හරිම වටින දෙයක්. ඒක නිසයි අපි කියන්නේ ස්වාධීන කෙනෙක් පත් කරන්න කියලා. අද ලෝකයේ තොරතුරු තමයි බලය. තොරතුරු කියන්නේ මහජනයා සතු අයිතියක්. ඒකටයි වෙනම කොමිසමක් පිහිටෙව්වේ. අන්න ඒක පිළිගන්න කෙනෙක් තමයි සභාපති වගේම එහි සාමාජිකයෝ විය යුත්තේ.

අපි දැක්කා සමහර පළාත් පාලන ආයතනවල සභාපතිවරු තොරතුරු දෙද්දී යම් ගැටලු‍ ඇතිවුණා. කොමසාරිස්වරුන්ට චෝදනා එල්ල වුණා. මොකද ඒ ගැන හිතන්නේ?

සමහර තැන්වල යම් ප්‍රශ්න මතු වුණු තැනක් අපිට තේරුණා. ඒ සමහර කොමසාරිස්වරු රහස් ඡන්දයකට යන්න සූදානම් වුණා කියන කාරණයත් එක්ක. නීතිමය ප්‍රතිපාදන අනුව ගත්තොත් සභිකයෝ තමයි තීන්දු කරන්න ඕනේ රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද කියන එක. පනත තියෙන්නේ දෙන්නෙක් තරග කරනවා නම් කොමසාරිස්වරයා විසින් එක එක කෙනා ගෙන්නලා කැමැත්ත විමසන්න ඕනේ. කොළඹ ගත්තාම යෝජනා සම්මතයකින් තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රහස් ඡන්දයක්ද නැද්ද කියන කාරණයත් එක්ක. නමුත් සමහර තැන්වල එහෙම සිද්ධවෙලා නෑ. අන්න එහෙම තැන්වල ප්‍රශ්නයක් තියෙනවා නම් අවසාන ප්‍රතිඵලය ගන්න වෙන්නේ අධිකරණය හරහා. ඒක අපි බලන්න ඕනේ නීතිමය සීමාව තුළ සිද්ධ කරලා තියෙනවාද නැත්නම් සද්භාවයෙන් සිද්ධ කරලා තියෙනවාද කියලා.

මේ හැමදේටම මැතිවරණ ක්‍රමයත් ප්‍රශ්නයක් නෙමෙයිද?

මේ මැතිවරණ ක්‍රමය විසි කරන්න ඕනේ. අපි කොට්ඨාස දිනුවා, අපිට සභාව පිහිටුවාගන්න බෑ කියලා කට්ටියක් කියනවා. ඒගොල්ලෝ කොට්ඨාස දිනුවට වැඩිම සභික සංඛ්‍යාව ඉන්නේ අපට, ඒ නිසා අපි පිහිටුවන්න ඕනේ කියලා විපක්ෂය කියනවා. දැන් කොට්ඨාස දිනුවට ඒ අයට හම්බවෙලා තියෙන ඡන්ද ප්‍රමාණය 30% වෙන්න පුළුවන්. 45% - 50% ඡන්ද ලබාගත්තා නම් ඒ අයට වැඩිපුර සභික සංඛ්‍යාව යනවා. එහෙම නැතුව කොට්ඨාස දිනුවාට සභාව පිහිටුවාගන්න බෑ කියන්නේ අර 30% - 35% ඡන්ද සංඛ්‍යාවේ තමයි ඒ අය ඉන්නේ. ඒ නිසා ඒ අනිත් අය ඉතුරු 70% දිනුව අයට එරෙහිය කියලා කියනවා. පළාත් පාලන මැතිවරණයේදී තනි කෙනකුට වුණත් සභාපති වෙන්න පුළුවන්. මොකද සභාවේ බහුතර කැමැත්ත තමයි අවශ්‍ය වෙන්නේ. එයා ස්වාධීන කණ්ඩායමක කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව පක්ෂයේ බහුතර කැමැත්ත දිනාගන්න කෙනා නෙමෙයි. පළාත් පාලන ආයතනවලදී ආණ්ඩු පක්ෂය විපක්ෂය දෙකක් නෑ. කාන්තා නියෝජනය සම්බන්ධ ගැටලු‍ තැන් තියෙනවා. ඒ වගේම සභික සංඛ්‍යාව වැඩියි කියලා ප්‍රශ්නයක් තියෙනවා. පළාත් පාලන ආයතන 339 තුනෙන් දෙකක එක් නාම යෝජනාවක් හෝ ප්‍රතික්ෂේප කරයි. ඒ කියන්නේ මොකක් හරි සිස්ටම් එකෙත් අවුලක් තියෙනවා. ඒ නිසා මේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන නැවත සලකා බලන්න ඕනේ. මේ කාරණා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.දැන් මේ ආණ්ඩුවට දැන් 2/3 බලයක් තියෙනවා. ඕනෑ නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේකට බලපෑම් කරන්න ඕනේ.

• ගයාන් ගාල්ලගේ

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00