2025 ජුලි 12 වන සෙනසුරාදා

ජූලියේ ජූරිය

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ජූලි 13 මෙරට මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සටහන් කළ දවසකි. රටේ දේශපාලනය 2022 ජූලි වනවිට එකම ගිනි විජ්ජුම්බරයක් වී තිබිණි. කොළඹ නගරය රටේ නන් දෙසින් පැමිණි ජනතාව විසින් ආක්‍රමණය කර තිබූ අතර රට පුරා පැවතුණේ අරාජක තත්ත්වයකි. අගමැති වශයෙන් ඒ ආණ්ඩුවේ සිටි මහින්ද රාජපක්ෂ ඒ වනවිට ඉල්ලා අස්වී සිටි අතර යූ.එන්.පී.ය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටි එකම මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කරනු ලැබ සිටියේය.

හැම අතින්ම පැමිණි ජනතාව කොළඹ දෙසට ඇදෙමින් සිටියදී ඔවුන්ගේ ඉලක්කය ජනාධිපති මන්දිරය බව වටහා ගැනීම අසීරු වුණේ නැත. එහෙම වුණත් රටේ ආරක්ෂාවට සිටි පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවද ඒ වනවිට සිටියේ කරකියා ගත නොහැකි තත්ත්වයකිනි. කළ යුතු දේ ගැන නිසි ලෙස අණ දීමක් කොතැනකින්වත් සිදු නොවූ බව සමහරුන්ගේ මතය විය. තවත් පිරිසක් කිව්වේ ඉහළින් නිකුත් කරන අණදීම් පහළ මට්ටමින් ක්‍රියාත්මක නොවූ බවකි. දහස් ගාණක නිරායුධ පිරිසක් බලය පා මෙල්ල කර ගැනීමට නොබියව ඉදිරිපත් වන නිලධාරීන් සොයා ගැනීම කොහොමත් අමාරුය. ඒ වනවිට රටේ උද්ගතව තිබූ තත්ත්වය අනුව කිසිම නිලධාරියකු ඒ සඳහා ඉදිරිපත් වීමට සිතන්නේවත් නැත. මේ තත්ත්වය යටතේ සිදුවිය හැකිව තිබුණේ එකම දෙයක් පමණි. එය සිදුවුණේ 2022 ජූලි 13 වැනිදා දිනයේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලා ගියේය. ජනතාව කොතරම් ඉල්ලීම් කළත් ඔහු ඒ වන විටත් ඉල්ලා අස්වී සිටියේ නැත. එහෙම අස්වෙලා හිටියා නම් ගෝඨාභයට රටින් නිරුපද්‍රිතව පිටව යාමට අවශ්‍ය කරන විධිවිධාන කිසිවක් යොදා ගැනීමට නොහැකි වනු ඇත. ඔහු එදා කළේ අගමැති රනිල් වික්‍රමසිංහව වැඩබලන ජනාධිපති වශයෙන් පත්කර සිංගප්පූරුවට පලා යාමයි. සිංගප්පූරුවට පැමිණි ජනාධිපති ගෝඨාභය ජූලි 14 වැනිදා ඊමේල් හරහා ධුරයෙන් ඉල්ලා අස්විය. ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වශයෙන් තෝරා පත් කරගනු ලැබීය.

එයට වසර දෙකකට ඉහතදී ජනතාව විසින්ම වාර්තාගත ජයක් ලබා දෙමින් රටේ ජනාධිපති ධුරයට පත් කරගත් ගෝඨාභයට ජනතාව සමඟම බල අරගලයකට පැටලීමට සිදුවීම දෛවෝපගත සිද්ධියකි. ජනාධිපති වීමට කලින් ගෝඨාභය රටේ සිටි බලවත්ම රාජ්‍ය නිලධාරියා විය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ අණ දීම නීතිය විය. ඔහුගේ අණට උඩින් සිටියේ ජනාධිපති මහින්ද පමණි. ආරක්ෂක ලේකම් වශයෙන් දුෂ්කරම යුගයකදී ඉටුකළ පුළුල් කාර්යභාරය විසින් ගෝඨාභය ඒ තැනට ඔසවා තබා තිබුණි. ජනාධිපති මහින්දට හැරුණුකොට ඉහළම ආරක්ෂාව සලසා තිබුණේද ගෝඨාභයටය. මේ නිසා ඒ කාලයේ ත්‍රිවිධ හමුදාවේ හිටපු දක්ෂ නිලධාරීන් බොහෝ දෙනකු සමඟ ගෝඨාභය සමීප සබඳකම් ගොඩනගාගෙන සිටියේය.

2015 මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ පරාජය වීම දේශපාලන කාරණාවක් පමණක් විය. මෙරට ජනාධිපතිවරණයකදී බලයේ සිටින ජනාධිපතිවරයා පරාජය වූ පළමු වතාව එය වුණත් එම පරාජයෙන් පසුවද දේශපාලන වශයෙන් ලොකු විරුද්ධවාදීන් සිටියේ නැත. නාමල් සති දෙකකට රිමාන්ඩ් කෙරුණත් විමල්, උදය වැනි තවත් කිහිප දෙනකුත් ඒ විදියටම තාවකාලිකව ඇතුළට ගියත් ඒවා සියල්ල ජනතාව පසුව දැක්කේ ඇස් බැන්දුම් විදියටය. යහපාලනය අවසාන කාලය වනවිට පොහොට්ටුවද බිහි වී එහි ජනාධිපති අපේක්ෂකයා වීමට ගෝඨාභය සියලු සුදුසුකම් සපුරා සිටියේය.

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන ඉල්ලීම ආවේ ඔහු නියෝජනය කළ පොහොට්ටුව ඇතුළු වාමාංශික කඳවුරෙන් පමණක් නොවේ. ඇත්තවශයෙන්ම සිදුවූයේ ගෝඨාභයගේ නම ජනාධිපති අපේක්ෂකකමට යෝජනා වෙද්දී පක්ෂයේ සමහරුන් තරහ වීමය. ඒකට හොඳම උදාහරණය වූයේ කුමාර වෙල්ගමය. ඔහු ප්‍රසිද්ධියේම ඇසුවේ රාජපක්ෂලා හැර වෙන කාටවත් මේ පක්ෂයේ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න බැරිද කියලාය. කොටින්ම ඔහු දැරූ මතය වුණේ දැන් රාජපක්ෂලා රජ වුණා ඇති කියන එකය.

එහෙම සිදුවීම් තිබුණත් රාජපක්ෂලා තම ස්ථාවරය වෙනස් කළේ නැත. මේ නිසා ස්ථාවරය වෙනස් කරන්න වුණේ කුමාර වෙල්ගමටමය. ඔහුට අවසානයේ අලුත් පක්ෂයක් හදාගෙන රාජපක්ෂලාට සමුදීමට සිදුවිය.
එහෙත් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට මතයක් රට ඇතුළේ පොදු මහජනතාව අතරින්ම එළියට ආවේය. එහිදී පෙරමුණ ගත්තේ භික්ෂූන් වහන්සේලා බවත් දකුණේ සිංහල බෞද්ධ බහුතර ජනතාව ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය සමඟ එකට සිටගත් බවත් පැහැදිලිව පෙනුණේය. පාස්කු ප්‍රහාරයේ වේදනාවෙන් මුළු රටම බැටකමින් සිටියත් එම ප්‍රහාරයෙන් මාස 07 ක් ඉක්ම යද්දී පැවැත්වූ ජනාධිපතිවරණය ගෝඨාභය දිනුවේ වාර්තා පිහිටුවමිනි. එහිදී දකුණේ සිංහල බෞද්ධ අති බහුතරය ඡන්දය ලබා දී තිබුණේ ගෝඨාභයට වීම කැපී පෙනුණි.

එහෙම ජනතාවගේම කැමැත්තෙන් ඔවුන්ගේම තේරීම වූ ගෝඨාභය අවුරුදු දෙකක් යද්දී එම ජනතාවම ප්‍රතික්ෂේප කරන තැනට පත් වුණේ ඇයි?

ඒ ගැන නම් පොත් ගාණක් වුණත් ලියන්න පුළුවන. නමුත් සරලව කිව්වොත් සිදුවුණේ ගෝඨාභය නිලධාරියකු වශයෙන් සාර්ථක වුණත් රටට නායකත්වය දීමේදී අසාර්ථක චරිතයක් වීමය. දක්ෂ හමුදා නිලධාරියකු වූ පමණින් එවැනි අයට රටේ සිවිල් පාලනයේ දක්ෂතා දැක්වීමට තිබෙන හැකියාව ඔහු අධි තක්සේරුවට ලක් කර තිබිණි. මේ නිසා ඔහු සිදුකළ ඇතැම් පත් කිරීම් මුල සිටම ප්‍රශ්න සහගත විය. එසේම “ගම සමඟ පිළිසඳර” වැනි වැඩසටහන් මේ කාලයට ගැලපෙන්නේ නැති බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. එහෙම නොගැලපෙන වැඩසටහනක් බලගැන්වීමට හමුදා නිලධාරීන්ගේ සහාය පැතීම එය තවදුරටත් දියාරු කළේය. පාසලකට ටැප් එකක් හදන වැඩේත් ජෙනරාල් ශවේන්ද්‍රට බාරදීම වැනි තීරණ ජනතාව අතර ඉක්මනින් හාස්‍යයට ලක් විය.
ඒ වගේම වියත් මග හරහා තමන්ට කිට්ටු වූ පිරිස අතුරින් ඇතැමකු ගෝඨාභයට ලබාදුන් උපදෙස් මේ ඇතිවෙමින් තිබූ තත්ත්වය වඩාත් අනතුරකට ඇද දැම්මේය. මේ සමස්තයේ තීරණාත්මක හැරවුම පැය 24 කින් රටට රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමය. එසේම රටම කාබනික පොහොර භාවිතයට හුරු කිරීමේ ඵල රහිත තීරණය ද ජනතාවගේ ප්‍රබල විවේචනයට හසුවිය.
ගෝඨාභය සෙසු ජනාධිපතිවරුන්ට වඩා සරල චාම් ජීවිතයකට හුරු වී සිටියේය. නමුත් දැඩි ලෙස ජ්‍යොතිෂ කාරණාවලට මුල් තැනක් දුන්නේය. වඩාත්ම ඇසුරු කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. ඒ ඇතැම් භික්ෂූන් වහන්සේලා දැඩි ලෙස අන්තගාමී සහ උග්‍ර ආගම්වාදී වීම රාජ්‍ය පාලනයට අහිතකර බව තේරුම් ගැනීමට ගෝඨාභයට හැකි වුණේ නැත. ඔහු දැක්කේ එවැනි අන්තවාදී අදහස් දරණ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ජනාධිපති ධුරයට මහත් ශක්තියක් බව කියාය. එය රටේ බෞද්ධ – මුස්ලිම් ආගම් අතර සංහිඳියාව බරපතළ අනතුරකට ඇද දැම්මේය. මුස්ලිම් කෝලාහල ඇතිවිය.

ඒ වගේම කොවිඩ් වසංගතය අවස්ථාවේ මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු පිළිබඳ ගනු ලැබූ තීන්දුව සියලු මුස්ලිම් ජාතිකයන් අමනාප කර ගැනීමක් දක්වා දුරදිග ගියේය. ඒ වගේම කොවිඩ් වසංගතයේදී රට ආර්ථිකව වැටුණු අවස්ථාව වඩාත් දරුණු වීමට ”වියත් මග”ට ලබාදුන් බදු අඩු කිරීම බලපෑවේය. එයින් ටික කාලයකට පසුව රසායනික පොහොර තහනමේ ඵල විපාක ඇස් පනාපිට පෙනෙමින් තිබිණි. රට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටියේය. ඒ වනවිට පොහොර තහනමට උපදෙස් දුන් “විශේෂඥවරු” අතුරුදන්ව සිටියහ.

අරගලයට සැබෑ ආරම්භය දුන්නේ අස්වැන්න අඩු වීමෙන් කරකියා ගත නොහැකිව පාරට බැස්ස ගොවි ජනතාවයි. ඒ වනවිට ගෝඨාභය ගන්නා තීන්දු ගැන ඔහුව ඉල්ලා කෑගැසූ පොදු මහජනතාවම සැක පහළ කිරීම ඇරඹී තිබුණි. ආහාර හිඟයත් සමඟ දරුණු ආර්ථික කඩා වැටීමකට රට මුහුණ දෙමින් තිබුණේය. විදෙස් සංචිත හිඟ වෙද්දී ශ්‍රී ලංකාවට භාණ්ඩ රැගෙන වරායට පැමිණි නැව් කන්ටේනර් සිය ගණනින් බාගත නොහැකිව හිර විය. ඒ අතර තෙල් නැව්ද තිබුණි.

2022 ජනවාරි මුල වනවිට විදුලිබල මණ්ඩලය දිගින් දිගටම අනතුරු අඟවමින් කිව්වේ මාර්තු මාසය වනවිට විශාල විදුලි කප්පාදුවක් සිදුවීම වැළැක්විය නොහැකි බවය. ඒ වන විටත් පැය භාගය බැගින් තිබූ විදුලිය කැපීම පැයක් දක්වා දීර්ඝ වී තිබිණි. එය තවත් දිගු වී පැය 13 ක් එනම් විදුලිය තිබෙන කාලයට වඩා නොලැබී තිබෙන කාලය වැඩි විය. තෙල් නැතිව ජනතාවට දවස් ගණන් පෝලිම්වල තැපීමට සිදුවිය. ගෑස් වෙනුවට දර ලිප් භාවිතයට ආවේය. විදුලිය නැතිකමින් බොහෝ දෙනකුට රැකියා සහ ආදායම් මාර්ග නැති විය.

මේ වාතාවරණය රට අරගලය දක්වා තල්ලු කළේය. ගෝඨාභය විරෝධී දේශපාලන පක්ෂ විසින් ගෙන ගිය දේශපාලන ක්‍රියාමාර්ගද මේ වනවිට රට පුරා ශක්තිමත් වෙමින් තිබුණේ ඇවිලෙන ගින්නට පිදුරු දමමිනි.
දිනකට පැය 13 ක් රට අඳුරේ තැබීම ගෙවල්වල සිටි ජනතාව මහ පාරට තල්ලු කිරීමක් විය. එහෙම තල්ලු වෙලා ගිය ජනතාවට දින ගණන් පෝලිම්වල රස්තියාදු වෙමින් සිටි තෙල් නැති ගෑස් නැති ජනතාවද එකතු වුණේ ගෝඨාභය ආණ්ඩුවේ රෙදි ගලවමිනි. දැන් ආණ්ඩුව ඇතුළේය. ජනතාව මහ පාරේය. සැබෑ දේශපාලන අර්බුදය ආරම්භ වුණේ අප්‍රේල් 03 වැනිදාය.

එදා අගමැති මහින්ද රාජපක්ෂ හැර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය. නමුත් ඇතැම් දේශපාලන සහ නීති අංශයේ විචාරකයන් මෙහිදී කියා තිබුණේ එවැනි ඉල්ලා අස්වීමක් ව්‍යවස්ථා විරෝධී බවයි. එවැනි පියවරක නීත්‍යානුකූලභාවය ද ප්‍රශ්න කෙරිණි. කොහොම වුණත් ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට පසුදින වෙනත් අමාත්‍ය ධුරවලට පත් කිරීමට පියවර ගනු ලැබීය. මේ වනවිට ඉක්මන් මහ මැතිවරණයකට යාමට හෝ භාරකාර ආණ්ඩුවක් පත් කළ යුතු බවට හෝ දේශපාලන කරළියේ මතවාද පැතිරුණි. නමුත් ඡන්දයක් යනු ඒ අවස්ථාවේදී ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි වැඩක් බවද බලධාරීන් පිරිසක් පෙන්වා දී තිබුණි.

රටේ ජනතාව දහස් ගණනින් පාරට බැස්සේ එක පොදු තේමාවක් කේන්ද්‍ර කරගෙනය. “හොරා කාපු අපේ සල්ලි අපට දියව්” යන්න පොදු ඉල්ලීම විය. රටට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් කොල්ලකෑම නිසා බවට චෝදනා නගමින් දැඩිව උද්ඝෝෂණය කළ ජනතාවගේ ලොකුම විරෝධය එල්ල වුණේ රාජපක්ෂලාටය. ගෝඨාභය වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජනතාවගේ හඬ විය.

අවුරුදු දෙකකට පෙර තමා ජනාධිපති විය යුතු බව කියූ ජනතාවම දැන් තමාට අස්වන්නැයි කීම ගෝඨාභයට අදහාගන්නත් බැරි වන්නට ඇත. කොහොම වුණත් ඔහුට අස්වීමට අවශ්‍ය වුණත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒකට ඉඩක් නොලැබෙන්නත් ඇත. විශේෂයෙන් රාජපක්ෂ පවුලේ බලපෑම් ඉතා දැඩි වන්නට ඇත. මේ නිසා වුණේ තත්ත්වය යහපත් වීම නොව පාලනය කරගත නොහැකි තත්ත්වයකට රට ඇදවැටීමය.

“ගෝඨා ගෝ හෝම්” ගෝල්ෆේස් අරගලයට පාර කැපෙන්නේ ඒ සමඟිනි. අප්‍රේල් 09 වැනිදා ගෝල්ෆේස් එන්නැයි උද්ඝෝෂකයන්ට ආරාධනා කෙරෙන විට ආණ්ඩුවේ සමහරු කිව්වේ ඔය එන කට්ටිය අවුරුද්දකට ගෙදර යනු ඇති බවකි. විපක්ෂයේ සමහරුන්ද එහෙම කියා තිබුණි. හැබැයි අවුරුද්දට ගමේ යන්න බස් එකක් තබා අවුරුදු කන්න ජනතාව අතේ මුදලක් හෝ නැති බව මේ කිසිවෙක් සිතුවේ නැත. අප්‍රේල් 09 වැනිදා ගෝල්ෆේස් ආපු ජනතාව ඇසුරින් ගොඩනැගුණු මහා අරගලයේ බලපෑම නිසා මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් අස්විය. එදින අරගලයට සිදුකළ පහරදීම හේතුවෙන් රටේ මහ කලබලකාරී බවක් හටගත්තේ රට තවදුරටත් අරාජක කරමිනි. ගෝඨාභය මැයි 12 වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළේය. ජූලි 13 වැනිදා වනවිට තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කී ගෝඨාභය සිංගප්පූරුවට ගොස් ජූලි 14 වැනිදා ඊමේල් පණිවුඩයක් හරහා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

2005 වසරේදී මහින්ද ජනාධිපති යටතේ රටේ ආරක්ෂක ලේකම් ධුරයට පත්ව එතැන් පටන් සිංහ රාජයකු සේ රටේ දේශපාලන භූමිය පුරා සිය අණසක පතුරුවාගෙන සිටි ගෝඨාභයගේ රාජකාරි සහ දේශපාලනමය ජීවිතය අවසන් වූයේ එහෙමය. මේ සිදුවීම් පෙළගැස්ම මේ රටේ වත්මන් ආණ්ඩුවටත් ඊළඟට බලය ලබාගන්න ඇඟිලි ගනිමින් සිටින විපක්ෂයේ නායකතුමන්ලාටත් හරියට කියවාගන්න බැරි වුණොත් ඒ දෙගොල්ලොම අමාරුවේය.

මොකද මේ දෙපිරිසම අරගලයෙන් උපන් අලුත් දේශපාලන සංස්කෘතියක උරුමක්කාරයන් වීම නිසාය. මේ අලුත් දේශපාලන සංස්කෘතිය ගැන වත්මන් ආණ්ඩුවට නම් හොඳ හැදෑරීමක් තිබේ. ඔවුන් බලයට පත්වෙන්නේම අරගලයේ මූලිකම සටන් පාඨය වූ වංචාවෙන් දූෂණයෙන් සොරාකෑමෙන් තොර රටක් බිහි කිරීම ප්‍රධාන තේමාව කර ගනිමිනි. ජනතාව ඔවුන් කෙරෙහි විශ්වාසය තැබුවේද ගෝඨාභය කෙරෙහි තැබූ විශ්වාසය වගේමය. ප්‍රධාන පොරොන්දු ඉටු නොකිරීමේ ආනිසංස ද ඔවුන්ට හොඳටම දැනෙනවා විය යුතුය.

විපක්ෂය නම් තවමත් මේ වෙනස ගැන තිබෙන හැදෑරීම සම්පූර්ණ කර නැති බවක් පෙනී යයි. එහෙම හැදෑරීමක් තිබෙනවා නම් ආණ්ඩුව රටේ ජනතාව රැවැට්ටුවා... රැවැට්ටුවා කිය කියා කෑගසමින් පරණ ඇඳුම්ම ඇදගෙන දේශපාලනය කරන්න යන්නේ නැත. ආණ්ඩුවටත් විපක්ෂයටත් වඩා ජනතාව බුද්ධිමත් බව තේරුම් ගැනීමට ගෝඨාගේ ඉරණම කියවා ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

• ශශීන්ද්‍ර