යල කන්නයේ වී අස්වනු නෙළීම ඇරඹී තිබේ. සුපුරුදු පරිදි වී මිලට ගැනීමේදී රජයේ පාර්ශ්වයෙන් සිදුවන “බැරි බැරියාව” මෙවරද හිස එසවීමට ඉඩ තිබෙන බවට පෙරනිමිති ඇතැම් ප්‍රදේශවලින් අසන්නට ලැබේ. අම්පාර ප්‍රදේශයේ ගොවීන් පවසන ආකාරයට නම් “බැරි බැරියාව” දැන් සිටම රෝග ලක්ෂණ පහළ කරමින් සිටී.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් අපගේ සහෝදර “ලංකාදීප” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ වී වගා අස්වනු නෙළීම ආරම්භ වී ඇති නමුත් රජය වී අලෙවි මණ්ඩලය හරහා වී අස්වනු මිලට ගැනීමට කටයුතු කර නැති බැවින් තමන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ සහ අතරමැදියන්ගේ සූරාකෑමට ලක්වෙමින් සිටින බවය. වී වගාව හේතුවෙන් ණය බරින් පීඩාවට පත්ව සිටින තමන්ට කෙසේ හෝ වී අලෙවි කර ගැනීමට සිදුව තිබෙන බවද ඔවුහු කියති. වී සඳහා සහතික මිලක් නියම කර නැති බවද ඔවුන් කියා තිබිණි.
එය එසේ වුවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දා කැබිනට් තීරණ දැනුම් දෙමින් ප්‍රකාශ කර තිබුණේ පසුගිය 03 වැනිදා සිට රජය වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි. නාඩු, සම්බා සහ කීරි සම්බා සඳහා පිළිවෙළින් රුපියල් 120 ක් 125 ක් සහ 132 ක් වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කියා තිබිණි.
වී ගොවීන්ගේ ස්ථාවරය සහ රජයේ ස්ථාවරය අතර පැහැදිලි පරස්පරයක් පෙනෙන්නට තිබේ. ගොවීන් පවසන්නේ වී වලට සහතික මිලක් නියම නොකිරීමෙන් ඔවුන් අමාරුවේ වැටී සිටින බවය. එසේ වුවද අමාත්‍යවරයා සිය කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ ගිය කන්නයේදී ප්‍රමාණවත් තරම් වී තොග රජයට නොලැබුණු බවය. රට වෙනුවෙන් වී රජයට ලබාදීම ගොවීන් සතු යුතුකමක් සහ වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.
රජය වී මිලට ගැනීමට සූදානමින් සිටියදී ගොවීන් ඔවුන්ගේ වී තොග වී අලෙවි මණ්ඩලයට නොදී පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරනවා නම් එය රජයේ වෑයම අපතේ හැරීමකි. පසුගිය මහ කන්නයේදී ඊට කලින් අතහැර දමා තිබූ මහ වී ගබඩා හොඳින් පිළිසකර කිරීමටද රජය කටයුතු කළ අතර වී මිලට ගැනීම සඳහා සහතික මිලක් ද නියම කර මුදල් ද වෙන් කර තිබිණි. නමුත් ගොවීන් වැඩි පිරිසක් සිදු කළේ වැඩි මිලට පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කිරීමයි. ඔවුන්ගේ තර්කය වී තිබුණේ පෞද්ගලික වෙළෙඳුන් කුඹුරටම පැමිණ වැඩි මිලක් ගෙවා තෙත වී මිලට ගැනීම තමන්ට පහසුවක් බවයි.
පසුගිය පෙබරවාරි මාසයේ 06 වැනිදා සිට වී අලෙවි මණ්ඩලය තමන්ගේ ගබඩා හැරගෙන මුදල් ද වෙන් කරගෙන බලා සිටියත් ගොවීන් විවිධ අපහසුතා පෙන්වා මණ්ඩලයට වී දුන්නේ නැත. මේ නිසා සහල් මාෆියාව බිඳ දැමීමේ එක් පියවරක් හැටියට වී ගබඩා කර අවශ්‍ය අවස්ථාවලදී මුදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ අසාර්ථක විය. නමුත් සහල් හිඟයක් ඇතිවූයේද නැත. මිල ගණන් ද ඉහළ ගියෙත් නැත.
ඒ අවස්ථාවේදී රජය තමන්ගේ වී මිලදී ගැනීමේ වෑයම අසාර්ථක වූයේ මන්දැයි සොයා බැලීමට පසුවිපරමක් කර තිබුණා නම් මේ අවස්ථාවේදී එම අඩුපාඩු මගහැර යා හැකිව තිබිණි. එසේ වූවා නම් අම්පාර ඇතුළු යල කන්නයේ වී අස්වනු කලින්ම නෙළා ගන්නා ප්‍රදේශවල ගොවීන්ට රජය බලාපොරොත්තු වූ සහන ලබා දී වී මිලට ගැනීම වඩාත් ක්‍රමානුකූලව සිදු කිරීමට හැකි විය යුතුය. ඒ සඳහා ඉදිරියට තව කාලය තිබේ. අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වන ආකාරයට ගොවීන් අමාරුවේ වැටීමක් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීම රජයේ බලධාරීන්ගේ වගකීමක් වෙයි. මේ විෂයට සම්බන්ධ මැති ඇමැතිලා වේදිකාවලදී ජනතාව අමතා කරන ප්‍රකාශවලින් පමණක් මේ ගැටලුව විසඳීමට හැකියාවක් නැත.
රටට බත සපයන ගොවීන් තමන්ගේ අස්වනු නෙළන කාලයට සහල් මාෆියාවේ ගොදුරක් බවට පත්වීමට ඉඩ හැරිය යුතු නැත. තමන් එසේ නොකරන බවටත් සහල් මාෆියාව බිඳ දමා ගොවීන්ට උපරිම සාධාරණය ඉටුකරන බවටත් පොරොන්දු දී පැමිණි මාලිමා ආණ්ඩුවට ගොවීන්ගේ ගැටලු විසඳීමට හැකි විය යුතුය. අඩුම තරමින් මහ කන්නයට වඩා මෙවර යල කන්නයේදී හෝ වී මිලට ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට රජය වග බලාගත යුතුය. එය ගොවීන්ගේ ගැටලු විසඳීමට එක් මාර්ගයක් වනු ඇත.