2025 ජුනි 28 වන සෙනසුරාදා

බලය “අල” වෙයිද?

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

“ඇල්ලුවට හපන්න පුළුවන්ද?”

මේ දෙබස් ඛණ්ඩය එක් කාලයක් ජනප්‍රිය රූපවාහිනී දැන්වීමක කෑල්ලක් විය. රූපවාහිනී නාළිකා දෙක තුනක් පමණක් තිබූ ඒ කාලයේ ඒවායේ දැන්වීම් නිර්මාණයේදී නාට්‍යමය අවස්ථා නිරූපණය හරහා අවශ්‍ය භාණ්ඩය මාකට් කර ගැනීම විලාසිතාවක් බවට පත්ව තිබිණි.

ඉහත දෙබස් ඛණ්ඩය සඳහන් දැන්වීම නිර්මාණය වී තිබුණේ එක්තරා දන්තාලේපයක් ප්‍රවර්ධනය කිරීම සඳහාය. එහි තිබුණේ වැඩිහිටි පිරිමි දෙදෙනකු සහ කුඩා දරුවන් සෙල්ලම් කරන අවස්ථාවකි. ලොකු පේර ගෙඩියක් අහුලාගන්නා එක් අයෙක් එම ගෙඩිය අනෙකා අතට විසි කරන්නේ ඔන්න අල්ලගන්න කියමිනි. එය ඇල්ලූ ගමන් කුඩා දරුවන් පිරිස කෑගසද්දී අනෙකා අසන්නේ “ඇල්ලුවට හපන්න පුළුවන්ද?” කියාය. සියලු දෙනා බලා සිටියදී පේර ගෙඩිය එකවර කෑල්ලක් කඩාගෙන කමින් ඔහු තම දත්වල සවිශක්තිය මහත් ආඩම්බරයකින් පෙන්වා දෙන්නේ ඔහු භාවිත කරන දන්තාලේපයේ හොඳකම කියමිනි.

දන්තාලේපය කොහොම වෙතත් ඇල්ලුවට හපන්න පුළුවන්ද කතාව ඊටපස්සේ බොහෝ සෙයින් රටේ ජනප්‍රිය විය. විවිධ අවස්ථා සඳහා එය හිතට වදින කියමනක් වශයෙන් භාවිත විය.

අපට මේ කතාව මතක් වෙන්නේ පසුගිය දිනවලදී පුංචි ආණ්ඩුවල බලය අල්ලන්න ගිහින් ඇතිකරගත් අලකලංචිවල හැටි දැකීමෙනි. මේ ඔක්කොම සියලු වැඩ පෙන්වා ඩීල් දාගෙන පිහිටුවා ගන්නා මහ නගර සභා - නගර සභා හෝ ප්‍රාදේශීය සභාවල බලය ඇල්ලුවා වගේ නොවේ. ඒවා කරගෙන යාමේදී තමන්ගේ “දත්” හයිය බව පෙන්වීමට බලය අල්ලාගත් කණ්ඩායම්වලට සිදුවෙයි. ඒ වැඩේ නම් හැබැයි රූපවාහිනී දැන්වීමකදී පේර ගෙඩියක් හපනවා වගේ පහසුවෙන් නම් කළ හැකි නොවේ. විශේෂයෙන් දැන් රටේ පවතින ආර්ථික හා සමාජ ගැටලු මැද සභාවක් කරගෙන යාම ඒවායේ බලය ඇල්ලුවා වගේ පහසු නොවීමයි. ඒක විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවටද එක සේ බලපාන තත්ත්වයකි.

පුංචි ඡන්දය පැවැත්වුණේ මැයි 06 වැනිදාය. සියලු පළාත් පාලන ආයතනවල පාලන කාලය ජූනි 01 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. නමුත් එහෙම වැඩ ආරම්භ කරන්න හැකිවුණේ 50% ඉක්මවා බලය ලබාගත් ආයතනවල පමණි. එම ආයතන මාලිමාව, සජබ සහ උතුරේ නැගෙනහිර දෙමළ පක්ෂත් බලය පිහිටුවා ගත්තත් අනෙක් ඒවා දිගටම ඇදෙමින් පැවතුණි. කොටින්ම රටේම අවධානය දිනාගත් කොළඹ නගර සභාවේ පාලනයත් ගාලගෝට්ටි මැද පිහිටුවා ගැනීම ජූනි 16 වැනිදා දක්වා කල් ගත විය. සෙසු ඇතැම් ආයතනවල බලය පිහිටුවීම තවමත් සිදුවෙමින් පවතී.

පසුගිය සතිය ඉවර වෙද්දී මාලිමාව ආයතන 200 ක් ඉක්මවා බලය පිහිටුවාගෙන තිබුණි. මෙය ඇතැම් පක්ෂ නායකයන් හිතාගෙන හිටියාට වඩා වෙනස් තත්ත්වයකි. ඔවුන් බොහෝ දෙනකු මුලදී සිතාගෙන සිටියේ මාලිමාව තමන්ට 50% ක් නොමැති ආයතනවල බලය පිහිටුවා ගැනීමට මේ තරම් සටනක් දීමට ඉදිරිපත් නොවනු ඇතැයි කියලාය. නමුත් තමන්ට මහ මැතිවරණයේදී ඡන්දය ලබාදුන් මිලියන දෙකකට අධික පිරිසක් පුංචි ඡන්දයේදී ඡන්ද පොළට නොපැමිණීමේ හේතු ඉදිරි කාලයේදී තීරණාත්මක තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම ආණ්ඩුවේ අප්‍රකාශිත උත්සාහයක් වී තිබිණි. විපක්ෂ දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු වූ කොළඹ මහ නගර සභා නගරාධිපති තෝරාගැනීමේ අවස්ථාවේදී නාගරික කොමසාරිස්වරියගේ රාජකාරිමය හැසිරීම කියවාගත යුත්තේ ඒ පසුබිමද සැලකිල්ලට ගනිමිනි.

තමන් කිසි කලෙකත් බලය ඇල්ලීම සඳහා වෙනත් දූෂිත දේශපාලන කණ්ඩායම් සමඟ සන්ධානයකට නොයන බව ඡන්දවලදී මාලිමාව දැඩිව කියා සිටීම ඔවුන්ගේ බලය පිහිටුවා ගැනීමේ වැඩපිළිවෙළට තදින්ම හරහට හිටියේය. නමුත් ඒ හේතුවෙන් තමන් වැඩිපුර ආසන දිනූ ආයතනවල බලය අතහැරීමටද ඔවුන්ට හැකියාවක් නැත. විපක්ෂයෙන් ඇනුම් බැණුම් අසාගෙන වුවද ආයතන බලය අතට ගැනීම එසේ බලය නොගැනීමට වඩා හැම අතින්ම හොඳ බව මාලිමාව තීරණය කරන්නට ඇත. දේශපාලනයේ හැටි එහෙමය. හැබැයි පරහකට තිබෙන්නේ තමන් මුලදී කවදාවත් අනෙක් කණ්ඩායම් සමඟ එක් නොවන බවට කර තිබූ ප්‍රකාශ පුස්සක් වීමය. සිස්ටම් චේන්ජ් කතා පුංචි ආණ්ඩු පිහිටුවීමේදී අවලංගු විය. මාලිමාවද සෙසු දේශපාලන පක්ෂ සමඟ බල පොරයට එක් විය.

බලය ගැනීමට මාලිමාවත් එහෙම සටන් කිරීමට ගත් තීන්දුව නිසා ඇතැම් නගරාධිපති හෝ සභාපති ඡන්ද විමසීම මහා ගාලගෝට්ටි බවට පත් විය. තවත් ආයතනවල ඡන්දය විමසීම දින නියමයක් නැතිව කල් දැමීමට පවා සිදුවිය. මේවා වෙනත් ආණ්ඩුවක් යටතේ වුණා නම් මාලිමාව ඒ සියල්ල සටන් පාඨ බවට පත් කිරීම නියතයකි. නමුත් විපක්ෂයටත් කෑකෝ ගසා බලහත්කාරකම් පානවාට වඩා දෙයක් කළ නොහැක. එය මාලිමාවට දේශපාලන වාසියක් වී තිබෙන බව පැහැදිලිය. එළියේ උසාවිවලදී විපක්ෂයේ ඇතැම් කෙරුම්කාරයන්ගේ රෙදි ගැලවෙන කතා හෙළිවන බැවිනි. නමුත් දේශපාලන ඩීල් දැමීම් මහා වැරැද්දක්, දූෂණයක්, අක්‍රමිකතාවක් හැටියට තවදුරටත් ප්‍රකාශ කිරීමට මාලිමාවට බොහෝ දුෂ්කර වනු ඇත.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබටද මේ බලය ඇල්ලීමේ සටනට එකතු වූ ආකාරය අනාගතයට සිදු කරන දේශපාලන ආයෝජනයකට වඩා ආපසු හැරීමක් වීමටද ඉඩ තිබේ. ඔවුන්ටද සිදුව තිබෙන්නේ බලය ගැනීමට නම් තමන්ගේ දේශපාලනයට ඉඳුරාම වෙනස් දේශපාලන මත දරණ පොහොට්ටුව සමඟ එකතු වීමයි. එසේම නන්නාඳුනන ස්වාධීන කණ්ඩායම් සමඟ ද සාකච්ඡා කිරීමයි. විපක්ෂය වරද්දාගෙන ඇත්තේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රය ගමේ දේශපාලනයට ඈඳා ගැනීමෙනි.

එවැනි ක්‍රියා ඉදිරි කාලයේදී දේශපාලන වශයෙන් මහත් සේ අවාසිදායක විය හැකි බව සජබට අකැමැත්තෙන් වුවද පිළිගන්නට සිදුව තිබේ. එය පක්ෂය ඇතුළේ දැනටද පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය කරන සාධකයක් මිස ඒවා සමනය කිරීමට හේතු වන්නේ නැත.

මේ ගැන පසුගියදා රවි කරුණානායක මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් ගණනාවක් ප්‍රකාශ කර තිබිණි.

“පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමේදී විපක්ෂය අධි තක්සේරුවෙන් කටයුතු කිරීම නිසා ආයතන බහුතරයක බලය ගැනීමේ අවස්ථාව අහිමි වුණා. මීට වඩා පෙර සූදානමක් තිබිය යුතු වුණා. අවදානම ගැන විපක්ෂය බැලුවෙ නෑ.”
විපක්ෂය බලය නැති කරගත්තා කියන කතාව වගේම ආණ්ඩුවටත් බලය ඇල්ලූ ක්‍රමය ගැන රවි කරුණානායක ෂොට් එකක් දී තිබිණි.

“මුලින්ම ජවිපෙ කිව්වෙ අපි කා එක්කවත් අත්වැල් බැඳගන්නේ නෑ කියලා. හැබැයි මේ වෙද්දි ඒගොල්ලො අතක් අල්ලලා නැති පක්ෂයක් නෑ. එදා කිව්වෙ එකක්. අද කරන්නෙ එකක්. නැවත පුරුදු දේශපාලනයට ඇවිල්ලා. පුරුදු දේශපාලන ගමනේ ජවිපෙත් අද යනවා.”

රවි කරුණානායක අද ඉන්නේ යූ.එන්.පීයේ වුණත් මේ කියන කතාවේ දේශපාලන හරයක් තිබේ. බලය ඇල්ලීමේ සටනේදී මාලිමා ආණ්ඩුවද වැටුණේ සෙසු දේශපාලන පක්ෂවල  ආණ්ඩු වැටුණු තැනටමය. මොන වචන හරඹ දැම්මත් ඒක ඩීල් දේශපාලනයයි. හැබැයි මෙතැන එක වෙනසක් තිබේ.

මීට කලින් අවස්ථාවලදී බලය ඇල්ලීමේ සටනේදී ඇතැම් මන්ත්‍රීලා අලෙවි වුණේ ප්‍රසිද්ධ වෙන්දේසියේය. එය ප්‍රකට රහසක් විය. මුදලට පමණක් නොව විවිධ වරදාන හරහා ද ලන්සු තැබීම සිදුවිය. ඒ කාලේ මන්ත්‍රීවරුන්ගේ බැංකු ගිණුම් සොයා බැලීමේ ක්‍රමයකට ගියා නම් මේ  තොරතුරු වඩාත් හොඳින් සනාථ කර ගැනීමේ හැකියාවක් තිබිණි. නමුත් ඒ කාලේ කාටවත් ඒ ගැන උනන්දුවක් තිබුණේ නැත. හැබැයි ඇතැම් මන්ත්‍රීවරුන් කිසිදු පක්ෂයකට මිලදී ගැනීමට හෝ වරදාන පිරිනැමීමෙන් හෝ බිලිබා ගැනීමට හැකිවුණේ නැත. ජවිපෙ - මාලිමා නියෝජනය කළ මන්ත්‍රීලා සිටියේ ඉතා සුළු සංඛ්‍යාවක් වුවද ඔවුන් ඒ අතරින් ප්‍රමුඛය. මෙවර රහස් ඡන්ද හරහා පමණක් නොව විවෘත ඡන්ද හරහා ද මාලිමාවට ඍජුව නොතිබූ ආයතනවල බලය අල්ලා ගැනීමට හැකිවුණේ සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ “ඩීල්” දැමීම හේතුවෙනි. ඒ ඩීල් ඇතුළේ මුදලට අලෙවි වීම් ගැන චෝදනා ද එල්ල වුවත් එක එල්ලේ ඒ ගැන ප්‍රකාශ වුණේ නැත. වෙනස එයයි.

සියලු සභා පිහිටුවීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයෙන් කෙළින්ම තේරුණු සභිකයන් සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය කරන සියලු සභිකයන් එක තැනකට රැස්කර රජයේ ඉදිරි ක්‍රියා පිළිවෙළ පිළිබඳ විස්තර හෙළි කිරීම බොහෝ දුරට සිදුවනු ඇත. එවැනි රැස්වීමක ප්‍රධාන දේශකයා ජනාධිපති අනුර කුමාර වන බවටත් සැකයක් නැත. එහිදී “ඩීල්” දැමීම් සහ “අලෙවි වීම්” පිළිබඳ එල්ල වන චෝදනාවලට පිළිතුරු ලැබීමට නියමිතය. රජය එහිදී එම කාරණය ගැන නිහඬව සිටියොත් සිදුවුණේ කුමක්ද යන්නට විවිධ අර්ථකථන සැපයීම වැළැක්විය නොහැකි වනු ඇත.

පළාත් පාලන ආයතන හරහා තම පාලනය මගින් සිදුකිරීමට නියමිත වැඩපිළිවෙළ ද එහිදී සමාජගත කෙරෙනු ඇත. “ඇල්ලුවට හපන්න පුළුවන්ද?” කියන කතාව සැබෑ ලෙසට අරුත් ගැන්වෙනු ඇත්තේ කතාවේදී නොව ක්‍රියාවේදීය. තමන්ට නුහුරු නුපුරුදු, තමන්ගේ දේශපාලන න්‍යාය අනුමත නොකරන, තම ප්‍රතිපත්තිවලට විරුද්ධ සභිකයන් සමඟ පුංචි ආණ්ඩු පාලනය කිරීමත් ජනතාවට ලබා දී ඇති පොරොන්දු ඉටුකිරීමත් කෙසේ සිදු කරනු ඇතිදැයි ජනතාව දැඩි විමසිල්ලකින් සිටින බව ආණ්ඩුව තේරුම්ගෙන තිබිය යුතුය. ඩීල් දමා බලය ගත්තා වගේ නොව බලය ක්‍රියාත්මක කිරීම පහසු නැත. පේර ගෙඩියක් අල්ලාගෙන තමන්ගේ දත්වල ශක්තියෙන් ඒක හපනවා තරම් පහසුවෙන් එය කළ නොහැකිය. පේර ගෙඩිය හපාගන්න බැරි වුණොත් සිදුවිය හැක්කේ දතක් කැඩීම පමණි. නමුත් පළාත් පාලන ආයතනය පාලන කරගන්න බැරි වුණොත් කැඩෙන්නේ ඒ ඒ පුංචි ආණ්ඩුය.

මෙය මාලිමා ආණ්ඩුවට අලුත් දේශපාලන අත්දැකීමකි. ඔවුන් ජනාධිපතිවරණය දිනුවේ තනිවමය. අඩුම තරමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති සමඟ ලොකු ගැටුමක් නොමැති පෙරටුගාමී පක්ෂයේ සහාය ලබා ගැනීම පවා මාලිමාව ප්‍රතික්ෂේප කළේය. මහ මැතිවරණය ද එසේමය. මන්ත්‍රීවරුන් 159 ක් සමඟ තුනෙන් දෙකක බලයක් ලබාගත්තේ තනිවම තරග කරලාය. මාලිමාව සමඟ සන්ධාන ගැහීමට ඒ අවස්ථාවේදී ඕනෑම පක්ෂයක් කොන්දේසි විරහිතව එකතු වීමට ඉඩ තිබිණි. අඩුම තරමින් උතුර සහ නැගෙනහිර පළාත්වල මන්ත්‍රීවරුන් තෝරාගැනීමේදී පවා මාලිමාව ඒ පළාත්වල දමිළ සහ මුස්ලිම් පක්ෂ සම්බන්ධ කරගත්තේ නැත.

එහෙම හදාගත් ස්ථාවර ආණ්ඩුවක් එහෙන් මෙහෙන් අහුලාගත් කණ්ඩායම් සහ වෙනත් පාක්ෂිකයන් සමඟ අටවාගන්නා පුංචි ආණ්ඩු කොහොම පාලනය කරගත හැකිවනු ඇතිදැයි ජනතාව ඉතාම විමසිල්ලෙන් බලා සිටිනු ඇත. මේ බව ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැන සිටිය යුතුය. ජනතාව දැන් ගෙවන්නේ ඉතා අසීරු ජීවිතයකි. ඒ අතරට හෙණ ගෙඩියක් සේ කඩා වැදුණු මැදපෙරදිග යුද්ධයේ බලපෑම් ද තිබේ. අල්ලාගත් බලය ඒ විදියටම “හපාගන්න” පුළුවන් වේ දැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. එහි තීරකයා වනුයේ ආණ්ඩුවත් විපක්ෂයත් නොව පොදු මහජනතාවයි.

•  ශශීන්ද්‍ර

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00