නවක වදය රටේ මාධ්‍ය සිරස්තල මවන හැබෑම වදයක් බවට පත්වෙමින් තිබේ. එය එසේ මෙසේ වදයක් නොවේ. නවක සිසු සිසුවියන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන තරමට ගැටලුව උග්‍ර වී තිබේ. එහි නවතම සිද්ධිය අනාවරණය වූයේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයෙනි.
එම කාර්මික විද්‍යාලයේ නවක සිසුවියක නවක වදය ඉවසාගත නොහැකිව වැවකට පැනීමේ සිද්ධිය වාර්තා කෙරෙන්නේ එම ආයතන ඉතිහාසයේ මෙවැනි දරුණු සිදුවීමක් වූ ප්‍රථම අවස්ථාව හැටියටයි. ඒ සම්බන්ධයෙන් සැකපිට ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු සහ සිසුවියක අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් නවක වදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන බවත් කුලියාපිටිය පොලීසිය ප්‍රකාශ කර තිබිණි.
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සැබෑ ලෙසම මින් පෙර දරුණු ලෙස නවක වදය දීමක් සිදුව තිබේද යන්න අපි නොදනිමු. නමුත් තම ජීවිතය එපා වන තරමට බිය වීමකට නැතහොත් පීඩනයකට ලක්වූ එම ආයතනයේ සිසුවිය ලොකු අනතුරකින් තොරව ජීවත් වීමට වාසනාව ලැබීම සම්බන්ධයෙන් අප සියලු දෙනාටම සතුටු විය හැකිය. ඒ සමඟ කිව යුත්තේ පසුගිය කාලය තුළ වාර්තා වූ නවක වද සිද්ධීන්වලට සම්බන්ධ වූ ඇතැම් සිසු සිසුවියන් නම් ඒ තරම් වාසනාවන්ත නොවූ බවය. ඔවුන් සමහර දෙනකුට ජීවිත අහිමි විය. සමහරු ප්‍රබල මානසික කම්පන සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු වූහ. තවත් පිරිසක් තම සරසවි ජීවිතයට සමු දී වෙනතක් බලා ගත්හ.
මේ තත්වය දැන් හෝ වෙනස් විය යුතුය. අලුත් සිසුන් හඳුනා ගන්නා මුවාවෙන් දරුණු සහ ප්‍රචණ්ඩ ලෙස නවක වදය ලබා දෙන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් ඇරඹිය යුතුය. සිද්ධියක් වීමත් සමඟ ඒ ගැන කතාබහක් ඇතිකර පසුව නිහඬ වීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැත.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පවා මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් විය. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය ප්‍රකාශ කර තිබුණේ නවක වදය වැළැක්වීම සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවා ඇති බවය. එයට පොලීසිය සහ සිසුන් ඇතුළු සියලු අංශ දායක කරගෙන ඇතැයිද නවක වද පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමත් එම බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් යැයි ද ඇයගේ ප්‍රකාශයේ සඳහන් විය.
මෙවැනි ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් රජය ප්‍රවේශයක් ගැනීම යහපත් පියවරකි. නවක වදය විශ්වවිද්‍යාල පද්ධතිය පුරා දරුණු ව්‍යාධියක ආකාරයෙන් පැතිර ගිය අවස්ථාවල එවකට විපක්ෂයේ සිටි ජවිපෙ ප්‍රමුඛ මාලිමාවටද ඇඟිල්ල දිගු විය. මෙය ජවිපෙ දේශපාලන සංස්කෘතිය විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක ක්‍රියාවක් බවට ඒ කාලයේ බලයේ සිටි ආණ්ඩුවලින් නැගුණු ප්‍රධාන චෝදනාවකි. එය අභූත චෝදනාවක් වශයෙන් ජවිපෙ සහ මාලිමා නායකයන් ඉවත දැමුවත් රටේ ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් කිසියම් කුකුසක් පැවති බව යථාර්ථයයි. දැන් පැමිණ තිබෙන්නේ එම කුකුසත් නැතිකර දැමීමට හොඳ අවස්ථාවකි. දැන් ආණ්ඩු කරන්නේ ජවිපෙ/ මාලිමා රජය බැවිනි.
අග්‍රාමාත්‍යවරියගේ නවක වදය මඩින නව වැඩපිළිවෙළට මේ හේතුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙයි. ප්‍රචණ්ඩත්වයෙන් තොර නවක වදයක පැවැත්ම ලොකු ගැටලුවක් නොවූවද නවක සිසු සිසුවියන්ගේ මුළු ජීවිතයම කඩා වැට්ටීමට හේතු වන වදහිංසා පැමිණවීම වැළැක්වීමට පමණක් නොව පරපීඩන කාමුක අවශ්‍යතා පිරිමසා ගැනීමට මේ අවස්ථා යොදාගන්නා ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වීමටද ආණ්ඩුවේ විශේෂ කාර්ය බලකායට හැකි විය යුතුය. තද නීති පැනවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී, අමානුෂික, පරපීඩක නවක වදය නැවැත්වීමට හැකියාවක් නැත. මෙය හුදෙකලා සිද්ධියකට ලඝු කිරීමකින් තොරව සමස්ත සමාජයටම ආදර්ශයක් වන පරිදි පුළුල් මට්ටමේ ශක්තිමත් වැඩපිළිවෙළක් වීම අවශ්‍යය. සැබෑ ලෙසම අමානුෂික නවක වදය තුරන් කළ හැක්කේ එවැනි ඇඟට දැනෙන තීන්දු ගැනීමෙන් පමණි.