2025 මැයි 31 වන සෙනසුරාදා

නඩු තීන්දුවේ දේශපාලනය

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

“අපි 2011 දි වර්ල්ඩ් කප් එක දිනන්න හිටියේ. නමුත් අපි ඒක විකුණුවා. මට හිතෙන්නෙ මට දැන් ඒක ගැන කතා කරන්න පුළුවන්. මම ඒ ගැන ක්‍රීඩකයන්ට වරද පටවන්නෙ නෑ. හැබැයි මෙහෙ සමහර කණ්ඩායම් ඒකට සම්බන්ධයි.”
2010 දි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැති වෙලා හිටපු මහින්දානන්ද අලුත්ගමගේ මේ කතාව කිව්වෙ 2020 දි ගෝඨාභයගෙ ආණ්ඩුවෙ කෘෂිකර්ම ඇමැති වෙලා සිටිද්දීය. “මට ඒ වෙලාවෙ මේ තරග පාවාදුන් කතාව හෙළි කරන්න ඕනෑකමක් තිබුණේ නෑ.” කියලාද ඔහු කීවේය. 2010 ඉඳන් 2015 වෙනකම් ක්‍රීඩා ඇමැති වෙලා හිටපු මහින්දානන්දට 2020 වෙනකොට ඔහු සිරගෙට යැවුණු කැරම්-දාම් බෝඩ් නඩුව ඇදි ඇදී යමින් තිබුණි. ඔහුට මේ නඩුව වැටුණේ යහපාලන ආණ්ඩුව යටතේ “හොරු අල්ලන” බෝඩ් එක යටතේ සිදු කෙරුණු නඩු පැවරීම්වල ප්‍රතිඵලයක් හැටියට 2019 දීය.

හොරු අල්ලන පොරොන්දුව රැගත් බෝඩ් එක එක පැත්තකින් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සහ රනිල් අල්ලාගෙන ඉන්න විට ඒ බෝඩ් එකේ අනෙක් පැත්ත අල්ලාගෙන හිටියේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකය. අනුර කුමාර හිටියේ විපක්ෂයේ වුණත් ඔහු යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන සටන් පාඨයට පණ පෙව්වේ 2015 ආණ්ඩුව පිහිටුවන කාලයේ සිටමය. හැබැයි ඒ ආණ්ඩුව පිහිටුවන වේදිකාවට මාලිමාව ගොඩවුණේ නැත. ඒ වගේම යහපාලන එකතුවට එරෙහිව ඡන්ද ව්‍යාපාරයක යෙදුණේත් නැත. වංචා-දූෂණ චෝදනාවලට අදාළ තොරතුරු රැගත් ලිපිගොනු විශාල සංඛ්‍යාවක් තම සන්තකයේ තිබෙන බව ඔහු වරින් වර කිව්වේය.

ක්‍රිකට් තරග පාවාදීමේ කතාව මහින්දානන්ද 2020 දි එළියට ඇද්දේ මේ කැරම් බෝඩ් නඩුව වැටීමෙන් පසුවය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011 දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයේදී ඉන්දියාවට වාසි වෙන අයුරින් තරගය පාවාදුන් බවට මහ හඬක් නැගුවේය. ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහ තරගයෙන් ඉන්දියාවට කඩුලු 06 ක ජයක් ලැබුණු අතර, මේ තරගයේදී කිසිදු ආකාරයක එවැනි තරග පාවාදීමක් සිදු නොවුණු බවට දෙරටේම ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබුණේ එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමිනි.

කොහොම වුණත් මහින්දානන්ද ඇමැතිවරයා නැගූ මේ චෝදනාව ගැන විමර්ශනයක් සිදුකෙරුණත් ඒ චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැතිවීමෙන් එය එතැනින්ම යට ගියේය. ඒ දවස්වලම දේශපාලන පොර පිටියේ සමහරුන් කිව්වේ මේ බොරු ගෝරණාඩුව තමන්ට වැටී තිබෙන කැරම් බෝඩ් නඩුවෙන් ගැලවීමට මහින්දානන්ද ගැසූ දේශපාලන ගැටයක් බවය. නමුත් අවුරුදු 06 ක් තිස්සේ ඇසූ නඩුවේ තීන්දුවෙන් මහින්දානන්දට වසර 20 ක සිර දඬුවම් නියම විය. ඔහුත් සමඟ තවත් හිටපු ඇමැතිවරයකු වන නලින් ප්‍රනාන්දුටද වසර 25 ක සිර දඬුවම් ලැබිණි. ඔහු ඒ කාලයේ හිටපු සතොස සභාපතිය.

රාජපක්ෂ ආණ්ඩුවල ඇමැතිකම් කර දූෂණ චෝදනා හේතුවෙන් සිරගෙට නියමවූ ජ්‍යෙෂ්ඨම හිටපු ඇමැතිවරයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේය. මේ දෙන්නාට විරුද්ධව නඩුව පවරා වසර 06 ක් ගෙවී ගොස් තිබුණත්, අලුත් ආණ්ඩුව පත්වන තුරු ඒ නඩු කටයුතු සිදුකෙරුණේ සෙමිනි. ඒ වගේම ඔහුට විරුද්ධව තවත් චෝදනාවක් පිළිබඳව අල්ලස් කොමිසමෙන් උසාවියට ගොනු කළ පැමිණිල්ලක් පිළිබඳ විමර්ශනද ඇරඹී තිබේ. ලංකාවට 2022 දී ගෙන්වූ බව කියන එහෙත් කවදාවත් නොපැමිණි චීන පොහොර නැවක් සඳහා ඩොලර් මිලියන 6.09 ක් ගෙවීමෙන් සිදුකළ පාඩුව එම නඩු කටයුත්තට හේතු වී තිබේ.

මහින්දානන්දට කොළඹ ස්ථිර ත්‍රිත්ව මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ලැබුණු සිර දඬුවම පිළිබඳ තීන්දුව අවසාන තීන්දුව නොවේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප ඉල්ලීමක් සිදු කළ හැකිය. එහෙම වුණොත් අවසාන තීන්දුව ලැබෙනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. හැබැයි ඕනෑම ජරා වැඩක්, දූෂිත, වංචනික ක්‍රියාවක් සිදුකර හැමදාම ගැලවී ඉන්න පුළුවන් කියා සිතන දේශපාලකයන්ට නම් මේ නඩු තීන්දුව අපූරු පාඩමක් කියා දී තිබේ.

හරියට නඩුව ඇහැව්වොත් නිසැකවම හිරේ යන්න වෙන තවත් පිරිසක්ද වත්මන් දේශපාලනඥයන් අතර සිටිති. ඒ හැමදෙනාම මේ නඩු තීන්දුවෙන් භ්‍රාන්ත වී සිටින බව නම් නිසැකය. සමහර විට දේශපාලන ඩීල් එකක් දාගෙන ෂේප් වීමට මාලිමාවේ මැති ඇමැතින්ලා ළඟට ඔවුන් කිට්ටු වෙන්නත් බැරි නැත.

ඒ වැඩේට හොඳ පරිසරයක්ද දැන් මේ රටේ දේශපාලන භූමියේ නිර්මාණය වී තිබේ. පළාත් පාලන ආයතන බලය පිහිටුවීමට බල පොරයක් නිර්මාණය වී තිබෙන බැවිනි. මේ බල පොරය නිර්මාණය වුණේ මාලිමා ආණ්ඩුවට හිතපු තරම් ජයක් පුංචි ඡන්දයෙන් නොලැබීම හේතුවෙනි. එහෙයින් පුංචි ආණ්ඩුත් දිනාගෙන රට ඇතුළේ “සිස්ටම් චේන්ජ්” වැඩේට හොඳට ශක්තිමත්ව අතගසන්නට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ආණ්ඩුවට හිතාගන්නත් බැරි විදියටය. මාලිමාවට ඡන්ද අඩු වුණා පමණක් නොව, විපක්ෂයේ සජබට සහ පොහොට්ටුවට අහිමිවෙලා තිබූ ඡන්ද ලක්ෂ ගාණක්ද එකතු වීමත් බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබිණි.

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ විපක්ෂය ජනතාව අතරේ ආපහු ජනප්‍රිය වෙමින් සිටින නිසා බවට වන වැරදි වැටහීමක් විපක්ෂය තුළ තිබෙන්නත් බැරි නැත. පුංචි ආණ්ඩු බලය ලබා ගැනීමට ජනතාව විපක්ෂයට කිසියම් පණිවුඩයක් ලබා දී තිබෙනවා කියා කියමින් එකතුවෙලා බලය අරගෙන ඒක දිගට පත්වාගෙන යාමට අසමත් වුණොත් ආපහු වැටෙන්නේ විපක්ෂයමය. මොකද, හැන්ද තිබෙන්නේ ආණ්ඩුව අතේ බැවිනි. විපක්ෂයට වැඩ කරගන්න බැරි විදියට කටයුතු කිරීමට බලයේ සිටින ආණ්ඩුවට ලොකු හැකියාවක් තිබේ. ඒ හැකියාව පාවිච්චි කළොත් මාලිමාවට වැඩි සභිකයන් සංඛ්‍යාවක් සිටියදී විපක්ෂය අටවාගන්නා පාලනයට වැඩි ආයුෂ නැතිවනු ඇත. නමුත් මාලිමාවට වැඩි සභික සංඛ්‍යාවක් නොමැති ආයතනවලට එහෙම කරන්න හැකියාවක් ආණ්ඩුවටත් නැත.

මේ කොහොම වුණත් 50% ගන්න බැරි පළාත් පාලන ආයතන රැසක් බිහිවුණේ ආණ්ඩුවට ලැබුණු ඡන්ද අඩුවීම නිසාය. ආණ්ඩුව තවමත් මාස 06 ක් තරම් අලුත්ව තිබියදී එහෙම වුණේ ඇයි කියන එකට උත්තර හොයාගන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා නම් ඡන්ද අඩුවෙන ගැටලුව ලිහා ගැනීම අපහසු නොවනු ඇත.

පළාත් පාලන පනත සංශෝධනයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇතිව තිබෙන විකෘතිය ආයතනවල බලය පිහිටුවා ගැනීමට ලොකු බාධාවක් වී තිබෙන බව මෙහිදී මුලින්ම තේරුම්ගත යුතුය. සාමාන්‍ය සමානුපාතික ඡන්ද ක්‍රමය තිබුණා නම් වැඩිපුර සභිකයන් පත්වෙන්නේ දිනන පක්ෂයෙනි. බෝනස් ආසනද ලැබීම නිසා බලය පිහිටුවා ගැනීම අසීරු නැත. බැරිම වුණොත් සන්ධානගත වී හෝ බලය පිහිටුවා ගැනීමට හැකියාවක් ඇත්තේ කේවළ ක්‍රමය යටතේ සභිකයන් පත්වීමක් නොතිබූ බැවිනි. නමුත් අලුත් පනත යටතේ ඒ වැඩේ එච්චර සරල සහ පහසු නැත. මාලිමා ආණ්ඩුව අද මුහුණ දී සිටින්නේ ඒ අසීරු අවස්ථාවටය.

ආණ්ඩුව මේ අසීරුවට වැටුණේ ජනතාව බලාපොරොත්තු වූ ඇතැම් ප්‍රධාන පොරොන්දු ඉටුකිරීමට නොහැකි වූ නිසාය. නැතහොත් ඉටුකිරීම ප්‍රමාද වෙමින් පැවතීමය. ඒ අතරේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතින්ගේ ක්‍රියා කලාපයත්, දුරදිග නොබලා කළ ප්‍රකාශත් ආණ්ඩුවට ඡන්දය දුන් බොහොමයක් දෙනාටද ප්‍රශ්නයක් විය.

ආණ්ඩුවක් බලයට පත්වෙලා මාස 06 කදි ඔක්කොම ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැත. රටේ ජනතාව එහෙම බලාපොරොත්තු වෙන්නේත් නැත. ඒ වුණත් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු අතරින් දූෂිත දේශපාලනඥයන්ට නීති මගින් දඬුවම් ලබා දෙන බවට දුන් පොරොන්දුව කෙරේ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තිබුණි. ඒ පොරොන්දුව ඉටුවෙන එක ප්‍රමාද වීම ජනතාව අතර කලකිරීමක් ඇති කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූ බව සමාජ මාධ්‍ය ඇසුරු කරන කාටත් රහසක් නොවීය. සමහර විපක්ෂයේ නායකයන් පවා හොරු ඇල්ලීමේ කතාව හාස්‍යයට ලක් කළේ ආණ්ඩුව ඒ ගැන කිව්වේ “ටොම් පච” බවට වන ප්‍රකාශ ද සමඟිනි. මේ ටොම් පච කතාව පුංචි ඡන්දයේ විපක්ෂ වේදිකාවේ නැගලම ගියේය.

මේ හොරු අල්ලන කතාවට ඇත්තේ කෙටි ඉතිහාසයකි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධානම සටන් පාඨයක් වුණේ හොරු අල්ලන බවට කළ ප්‍රකාශයි. ඒ කිව්වේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ දූෂිත ක්‍රියාවලට වගකිව යුතු බලවතුන් අල්ලලා හිරේ දමන බවටය. මහින්දානන්ද ඒ හොරු ලේබල් වැදුණු හිටපු ඇමැතිවරයෙක් වුණේ 2015 ඡන්දයට කලින් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් සතොස හරහා ආනයනය කර රජයේ මුදල් රුපියල් ලක්ෂ 53 ක් අවභාවිත කළ බවට නැගුණු චෝදනාව හේතුවෙනි. ඔහු ඒ වැඩේ කළේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද කැම්පේන් එකට තල්ලුවක් වශයෙනි. ඔහු අද හිරේ යන්නේ එදා කළ ඒ වැරැද්ද උසාවිය හමුවේ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වීම නිසාය.

2015 දී යහපාලනය ඒ සටන් පාඨය හරහා පිහිටෙව්වත් ඒ ආණ්ඩුවත් ආපු ගමන් සිදුකළ මහ බැංකු වංචාවත් ඇතැම් ඇමැතිවරුන් දූෂිත සහ වංචනික ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනාත් එල්ලවීම නිසා ඉක්මනටම ජනතාව අතරින් පිරිහුණේය. ඒ වෙනකොට ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩි වැඩි කර, තෙල් මිල තරමක් අඩුකර වාහන ගෙන්වා දීමටද කටයුතු කර තිබුණත්, ජනතාවට ඒ වැඩ ටික ඉක්මනටම අමතක විය. ඔවුන්ගේ මතකයේ රැඳුණේ හොරු අල්ලන්න කියා ආපු කට්ටිය හොරුන්ගේ යටතට පත්වූ බවකි. මහින්දානන්ද, ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, මේ වගේ හිටපු ඇමැතිලා කිහිප දෙනෙක් සති දෙක තුන වගේ කාලයකට රිමාන්ඩ් කෙරුණත් ඒ අයට පැවරුණු නඩු තාක්ෂණික කරුණු හේතුවෙන් දියාරු වී ගියේය. මේ බව රටේ ජනතාවට හොඳටම මතක තිබුණි.

2019 දී ගෝඨාභයගේ ආණ්ඩුව යටතේත් මහින්දානන්ද ප්‍රබල ඇමැතිවරයෙක් විය. ඒ ආණ්ඩුවේ බොහොමයක් බලවතුන් විවිධ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීමත්, රසායනික පොහොර තහනමෙන් ඇතිවූ තත්ත්වයත් ජනතාවගේ රතු කට්ට පන්නවා තිබුණි. ඒ වෙලාවේ මහින්දානන්ද ගෝඨාභයගේ ආණ්ඩුව රැකගන්න “ලොකු ටෝක්” දුන් ඇමැතිවරයෙක් විය. අන්තිමට අරගලය ඇරඹුණි. අරගලයට මුල්වූ හේතු කොතරම් තිබුණත්, ලොකුම සටන් පාඨය වුණේ මහින්ද රාජපක්ෂලාගේ පටන් සියලුම ආණ්ඩු ජනතාවට කොකා පෙන්වා හොරකම් කළ බවය. හොරුන් පන්නමු... දඬුවම් දෙනු යන්න ප්‍රධාන තේමාව විය.

මාලිමාවට බලයට එන්න පාර කැපුණේ, පන්නරය ලැබුණේ අරගලයෙනි. එහෙම වෙද්දී සියලු හිටපු ආණ්ඩු වේදිකාවෙදි පට්ට ගහපු මාලිමාවත් බලයට ඇවිල්ලා හොරු අල්ලන වැඩේට පස්ස ගහන බවට රට ඇතුළට ගිය පණිවුඩය මාලිමාවේ ජනප්‍රියත්වය පහත දැමීමට ලොකු හේතුවක් විය. මුලින් පැවරූ නඩුත් සාක්ෂි නොමැතිවීම නිසා චූදිතයන් නිදහස් වීමත් සමහරු දැක්කේ එකම නාට්‍යයක රඟපෑමක් බවටය.

හරියට සාක්ෂි සහිතව නඩු නොදා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය නොහැකි බව දැන් මාලිමාව තේරුම්ගෙන සිටින බවක් පෙනී යයි. මහින්දානන්දලාට එරෙහි නඩුව පැවරුවේ 2019 දීය. එය වසර 06 ක් තිස්සේ විභාග වුණේ අතරමැද ලොකු විරාමයන්ටද ඉඩ තබමිනි. පැමිණිල්ලේ සාක්ෂි ලබා ගැනීම අවසන්ව තිබුණේ පසුගිය ජූලි මාසයේදීය.

එතැන් පසුව දෙසැම්බරයේදී විත්තියේ සාක්ෂි අවසන් වීමෙන් පසුව නඩු තීන්දුවට දින නියම විය. මීට පෙර ඇතැම් අවස්ථාවලදී මේ ක්‍රියාදාමය මෙතරම් ඉක්මනින් ඉදිරියට යාමට බාධා පැමිණි බව ප්‍රකට රහසකි. කෙසේ වුණත් නඩු තීන්දුව ලබා ගැනීමේ කටයුතු ඉක්මනින් සිදුවුණේ මාලිමා ආණ්ඩුව යටතේය. මේ වගේ නඩු යට ගසන බවට අදහසක් මීට කලින් මුළු සමාජය තුළම තිබූ බව සමාජ මාධ්‍ය ඇසුරින් පෙනී ගියේය.

මේ නිසා මහින්දානන්දටත් නලින් ප්‍රනාන්දුටත් එරෙහිව ලැබුණු නඩු තීන්දුව මාලිමා ආණ්ඩුවට ආශිර්වාදයක් වීම වැළැක්විය නොහැක. නමුත් නඩු තීන්දු ලැබීම තුළින් පමණක් ජනතාව සැනසීමට පත් නොවන බවත් දුන් පොරොන්දු ඉටු කිරීමද ජනතාව අපේක්ෂා කරන බවත් ආණ්ඩුව තේරුම්ගත යුතුය. නඩු තීන්දුවේ දේශපාලන වාසිය ගන්න මාලිමාවට තිබෙන හැකියාව මත ආණ්ඩුවේ ජනප්‍රියත්වයද රැඳී තිබෙනු ඇත. මේ නඩු තීන්දුව පුංචි ඡන්දෙට කලින් ලැබුණා නම් පුංචි ආණ්ඩු පිහිටුවාගන්න මාලිමාවට මේ තරම් කට්ටක් කන්න වෙන්නේ නැති බව සමහරුන් කියන්නේ කට කහනවාට නොවේ.

• ශශීන්ද්‍ර

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00