2025 මැයි 31 වන සෙනසුරාදා

මාලිනී

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ජන ප්‍රසාදය විසින් උත්කර්ෂයට නංවන ලද රංගවේදිනියක ලෙස සම්භාවනාවට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකා විශිෂ්ටත්වය ක්‍රියාවෙන් පමණක් නොව සතතාභ්‍යාසයෙන්ද සනාථ කළ ප්‍රතිරූපධාරිනියකි. රිදී තිරයේදී ඇය ආරම්භයේදී පුංචි බබෙකි. සිය සිනමා චාරිකාව නිමා කළේ ආකාස කුසුමක් ලෙසය. ඇයගේ මෙහෙවර අපරිමිතය. අප්‍රමාණය.

සිනමාවේදී රඟපෑ ඇය සැබෑ ජීවිතයේදී නිළිකම කිරුළක් කර නොගත් සාමාන්‍ය ගැහැනියක වූවාය. අවශ්‍ය පුද්ගලයා අවශ්‍ය මොහොතේදී පහළ වන්නේය යන ප්‍රකට ආප්තෝපදේශයට ඇය කදිම නිදර්ශනයකි. මාලිනී අද්‍යතනය සහ මෙම නිමේෂය එක් කරමින් නූතන යුගයට යාත්‍රා කළාය. එහෙයින්ම ඇයගේ මෙහෙවර සාමාන්‍ය සමාජයේ බුහුමනට පාත්‍ර විය. එහෙත් ඇය ජාතියට සමුදුන් මොහොතේ බලධරයන් අතින් ඇයට යුතුකම් ඉටුවූයේද යන්න සමාජය ප්‍රශ්න කරයි. රාජ්‍ය ගෞරව, රාජ්‍ය අනුග්‍රහය වැනි තර්ක විතර්ක, වාද විවාද නෑසූකන්ව සැතපී සිටි ඇය ජීවත් වූ මාලිනීට වඩා බෙහෙවින් බලවත් කාන්තාවක වූ බව ඇයගේ අවමංගල්‍ය සඳහා පැමිණි සුවහසක් ප්‍රේක්ෂක ජනතාව විසින් තහවුරු කරන ලදී.

මාලිනිය ශ්‍රී ලංකාවේ නොව භාරතයේ ජන්මලාභය ලැබුවේ නම් සත්‍යජිත් රායි, රවි ශංකර්, ලතා මංගේෂ්කාර් වැනි දකුණු ආසියාවේ බෙහෙවින් ජනප්‍රිය පෞරුෂයක් වෙන්නට ඉඩ තිබුණි. එසේම එවන් චරිතයකට රැකවරණ සැපයීම ආණ්ඩුවේ පමණක් නොව, රාජ්‍යයේද වගකීමක් බව අතීත උදාහරණවලින් සනාථ වෙන්නට ඉඩ තිබුණි. මාලිනීට ශ්‍රී ලංකාවේදී ලැබුණේ එකම එක රාජ්‍ය සම්මානයකි. ඒ 1985 දී ලැබුණු කලාශූරී සම්මානයයි. එහෙත් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය ඉටුකළ මෙහෙවර වෙනුවෙන් ඇය ලැබූ සරසවිය, ඕ.සී.අයි.සී. උත්තමාචාර ආදී සම්මාන සියල්ලටම වඩා ජනතා සම්මානය බෙහෙවින් ගෞරවනීය වේ. එහෙත් ඇය භාරත සිනමා තාරකාවක් වූවානම් ඈ පිදුම් ලබන්නේ භාරත රත්න, පද්මභූෂණ වැනි එරට උත්තම ගණයේ සම්මානයන්ගෙනි. ඇය ජාත්‍යන්තර සම්මානයකින් පුද ලද ප්‍රථම ශ්‍රී ලාංකික නිළිය ද වූවාය.

තිස්ස ලියනසූරිය ශූරීන්ගේ පුංචි බබා සිනමා නිර්මාණයෙන් සිය සිනමා චාරිකාව ආරම්භ කළ ඇය සිනමා පට 150 කට පමණ රංගනයෙන් දායක වූවාය. ඇයගේ ගමනේ පරිසමාප්තිය සිදුවන මොහොතේ ප්‍රකට යුරෝපා විද්වතෙක් විසින් පවසන ලද මෙම වදන් පෙළ බෙහෙවින් අපූර්වය.

“වීණා වාදකයා වියපත් වන විට වීණ වාදනය බෙහෙවින් මියුරුය.” මාලිනී එම කියුම සනාථ කරන්නට කදිම උදාහරණයකි. මේ අග්‍රගණ්‍ය සිනමා තාරුකාව දශක හයක සිය මෙහෙවර නිම කරමින් සිටියදී බලවත් ව්‍යාධියකින් පෙළෙන්නට වූවාය. ඇයට ප්‍රතිකාර සඳහා අවශ්‍ය බරපැන දරා ගැනීමට අපහසු වූ මොහොතේ ඇය එවකට පැවති රජයේ සහාය පැතුවාය. එහිදී ඇයට ලැබුණේ අවශ්‍ය කරන වියදමෙන් තුනෙන් එකක් පමණි. එහෙත් එයද මැතිසබයේ ආන්දෝලනාත්මක පුවතක් බවට පසුකාලීනව පත්වීම ඛේදයට කරුණකි.

මෙවන් රුදුරු අත්දැකීම් ඇය විසින් විඳ ගනිද්දී චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයකු සහ ප්‍රකට ව්‍යාපාර සමාගම් සමූහයක ප්‍රධානියකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස ඇගේ වෙද හෙදකම්වලට මෙරටදී අවශ්‍ය කරන සියලු වියපැහැදම් දැරුවේ ඉතා අප්‍රකටවය. එපමණකින් නොනැවතුණු ඔහු මාලිනිය අපෙන් සමුගන්නට තෙසතියකට පෙර තම රෝහල් පරිශ්‍රයේ ඇති කුඩා රඟහලට ප්‍රකට කලාකරුවන් සියල්ල කැඳවා මාලිනී ෆොන්සේකාට උත්තම ගණයේ උපහාරයක් පිරිනමා ඇයට තුටුපහටු ලෙස රඟ මඬලින් බැස යන්නට වරම් ලබාදීම බෙහෙවින් ගරුකටයුතු මෙහෙවරකි. එය වගකිව යුතු රජයකින් කළා නම් එහි ප්‍රශංසනීය ස්තූතිය ලැබෙන්නේ ආණ්ඩුවටයි.

පොහොසත්කමේ උරුමයකින් තොරව සාමාන්‍ය පවුලක ඉපිද දහදිය සුවඳ හඳුනන ජනතාව සමඟ උරෙනුර ගැටෙමින් තම සෞන්දර්යාත්මක මෙහෙවර හමාර කළ එතුමිය අපට අවසන් මොහොතේ කියා දුන්නේ එකම එක පාඩමකි. ඒ භාරතයේ හිටපු නායකයකු වන අබ්දුල් කලාම් ජනාධිපතිතුමාගේ වචනවලින් අර්ථ ගැන්විය හැක්කේ මෙසේය.
“සෙනෙහස ඔබේ මෙහෙවරයි. එය ද්වේශය මත දිය කර නොහරින්න.”

එවන් පසුබිමක සිංහල සිනමාව තුළ නිළියන් කොතෙක් බිහිවුවද නිළි රැජින ඇයම බවට පසක් වන මොහොතේ නෙතට කඳුළක් නැගෙන්නේ නිරායාසයෙනි.
මාලිනී ඉතින් ඔබට ආයුබෝවන්!

 

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00