2025 මැයි 24 වන සෙනසුරාදා

ටින් අංකය

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ටින් අංකය අපේ රටට උප්පැන්න සහතිකය තරමටම වැදගත් වෙමින් තිබේ. උප්පැන්නයක් නැත්නම් දරුවකුට පාසලක්, තරුණයකුට රැකියාවක් ලබා ගැනීමට හැකියාවක් නැත. විවාහයටද බාධාවකි. ටින් අංකය ද නැත්නම් අනාගතයේදී බොහෝ අපහසුකම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඇතැම් සමාජ අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණක් නොව විශ්‍රාම වැටුප, ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. ලබා ගැනීමට පවා දුෂ්කර වීමට ඉඩ තිබේ. එහි අලුත්ම තත්ත්වය බැංකු ගිණුමක් විවෘත කිරීමට පවා ටින් අංකය අනිවාර්ය කිරීමයි.

සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනා ගැනීමේ අංකය (ටින්) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සහිතව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට නියමිතය. තක්සේරු ආදායම වසරකට රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමද එම සංශෝධනය හරහා සිදු කෙරෙනු ඇත.

මේ වෙනස්කම්වලට මුල පිරෙන්නේ ආණ්ඩුව මගින් රඳවා ගැනීමේ බදු අනුපාතය සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ දැමීමට හඳුන්වා දුන් නීතිමය ප්‍රතිපාදන සහිත 2025 අංක 02 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත හේතුවෙනි. වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8 ක ප්‍රමාණය නොඉක්මවන පුද්ගලයන් විශාල පිරිසක් මේ සංශෝධිත පනත හේතුවෙන් අමාරුවේ වැටිණි. බොහෝ පිරිසක් විවිධ අපහසුතාවලට මුහුණ දුන්හ. 5% ක් කැපෙනවාට වඩා 10% ක් කැපී යාම ඇඟට වඩාත් දැනීම හේතුවෙන් රඳවා ගැනීමේ බද්දට හසු නොවන විශාල පිරිස එසේ අපහසුතාවට පත්වූවෝ වෙති. ඒ අපහසුතාවලින් ඔවුන් මුදා ගැනීමට හඳුන්වා දෙන ස්වයං ප්‍රකාශනයක් ලබාදීමේ ක්‍රමවේදයට අදාළ සංශෝධනයෙන් දොර විවාර වෙයි.

වාර්ෂිකව රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන පුද්ගලයන්ට රඳවා ගැනීමේ බද්ද විශාල ගැටලුවක් වී තිබිණි. තමන් සතු තැන්පත් ධනයෙන් ලැබෙන ආදායම 10% කින් අඩුකර ගැනීමට කිසිවකුත් කැමැති නැත. එසේ වුවද 5% ක් කැපී යාම පිළිබඳ ඇතැමුන් වැඩි සැලකිල්ලක් නොදැක්වූයේ වැඩි වැඩ කිරීමට ගොස් තමන්ගේ සෙසු ආදායම් පිළිබඳවද අනාවරණය වෙතැයි දැක්වූ බිය හේතුවෙනි. තවත් සමහරුන්ට 5% ගාණක් නොවන්නටත් ඇත. නමුත් එය 10% ක් වූ විට හැමෝම කලබල වූහ.

පසුගිය අයවැයේ යෝජනාවක් හැටියට එය සඳහන් වුවද ඒ ගැන සියලු දෙනාගේ ඇස් ඇරුණේ අප්‍රේල් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරෙන බවට කෙරුණු දැනුම්දීම නිසාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පිරී ගියේ 10% කැපීම වළක්වා ගැනීමට නම් ටින් අංකය ලබා ගැනීම අනිවාර්ය වූ බැවිනි. ටින් අංකය ලබා ගැනීම ඊට මාස කිහිපයකට පෙර වැදගත් නොවූ බැවින් මේ බොහෝ දෙනා පහසුවෙන් එය ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරියෝ වූහ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හදිසියේ කරදරයේ වැටුණු බව දුටු රජයේ බලධාරීන් ටින් අංකය ලබා ගැනීම 10% කැපීම වළක්වා ගැනීමට අනිවාර්ය නොවන බව ප්‍රකාශ කර තිබිණි. නමුත් මේ තීන්දුව කලින්ම ප්‍රකාශ කර තිබුණා නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එලෙස අමාරුවේ වැටෙන්නේ නැත. ප්‍රමාද වී හෝ එවැනි තීන්දුවක් ගැනීම යහපත් පියවරක් බව කිව යුතුය.

එහෙත් කුමන වර්ගයේ හෝ බැංකු ගිණුමක් විවෘත කිරීම සඳහා නව සංශෝධනය මගින් ටින් අංකය අනිවාර්ය කර තිබීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට හෝ වේවා වෙනත් පුරවැසියකුට හෝ වේවා ටින් අංකය ලබා ගැනීමකින් තොරව බැංකු ගිණුමක් ඇරිය නොහැක. කවරකු විසින් හෝ බැංකුගත නොකරන මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද එසේ මුදල් ගොඩගසාගෙන තබා ගැනීම සහ ඒවායින් ගනුදෙනු කිරීම පසු කාලයකදී ගැටලු ඇති කිරීමට හේතු වනු ඇත.

නව දේශීය ආදායම් සංශෝධිත පනත අනුව ටින් අංකය ලබාගෙන බැංකු ගිණුම් විවෘත කර ගනිමින් ඒ හරහා වාර්ෂිකව රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන ආදායමක් ලබාගන්නා කිසිවකුත් මින් අනතුරුව 10% රඳවා ගැනීමේ බද්දට හසු නොවනු ඇත. කෙසේ වුවද ටින් අංකය හැම කටයුත්තකටම අවශ්‍ය බවද සිහි තබා ගැනීම අවශ්‍යය.

 

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00