මෙවර පුංචි ඡන්දය අවසන්ව ඇත්තේ මහ ලොකු ප්‍රශ්නයක් ඉතිරි කරමිනි. ප්‍රශ්නය කොතරම් ලොකුදැයි කිවහොත් එයින් ජයගත් මාලිමා ආණ්ඩුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 76 ක් හැර සෙසු ආයතනවල බලය පිහිටුවීමේ ගැටලුවකට මුහුණ දී සිටී. ආයතන 263 ක බලය ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමවී හෝ විපක්ෂයට බලය වැඩිය. එවැනි ආයතනවල බලය පිහිටුවීම සඳහා මේ දිනවල එකම බල පොරයක් හටගෙන තිබේ. මේ සම්බන්ධයෙන් පුවත්පතක පළවූ එක් කාටූනයක දෙබසකින් කියැවී තිබුණේ මේ බල පොරය බලු පොරයක් වැනි අදහසකි.
විපක්ෂයේ බලය වැඩි බවට පැවසෙන ආයතනවලද ඡන්දයට පෙර එකතු වී ආණ්ඩුවට එරෙහිව ඡන්ද ව්‍යාපාරයක් දියත් නොවීය. එවැනි එකතුවකට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් වන සජබ සහ එජාප අතර සාකච්ඡාවක් හෝ ඇති නොවීය. ඒ පිළිබඳ විවිධ පුවත් පළ වුණත් දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් විවිධ අදහස් දැක්වුවත් ඡන්ද වේදිකාවේ සියලු දෙනා සටන් කළේ වෙන වෙනමය. ඡන්දය නිමවීමෙන් පසුව එකතු වීම සඳහා අවස්ථාවක් ආවොත් ඒ ගැන සලකා බලන බවට කෙරුණු ප්‍රකාශ කිහිපයක් හැර කිසිදු පක්ෂ නායකයකුගෙන් ඒ ගැන වැදගත් භූමිකාවක් ඉටු වුණේ නැත. කොටින්ම පක්ෂ දෙක අතර අරමුණු අතර මත ගැටුම් ලිහා ගැනීමට සුහද සාකච්ඡාවක් හෝ නොතිබිණි.
එවැනි තත්වයක් තුළ හදිසියේම විපක්ෂයේ පක්ෂ දොරගුළු ලාගෙන සාකච්ඡා සිදුවෙන්නේ කුමක් සඳහාද? බලය ලබා ගැනීමේ අවශ්‍යතාව සඳහා මිස වෙන කිසිවක් සඳහා නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව වරදක් යැයි කිව නොහැක. ඡන්දයක අවසාන ඵලය බලය ලබා ගැනීමයි. එහිදී ගංවතුරේ ගසාගෙන යන නයි මුගටින් පවා එකම කොටසකට ගොඩවී ජීවිතය බේරා ගැනීමට තැත් කිරීම සිහිගන්වන මෙය මෙරට දේශපාලනයට අමුත්තක් නොවේ. නමුත් කනගාටුව මේ උත්සාහය රටේ ජනතාවගේ සුබසිද්ධිය අරමුණු කරගනිමින් සිදුවන දෙයක් නොව තම තමන්ගේ දේශපාලන බලය තබා ගැනීමේ අරමුණින් සිදුවීමයි. ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ආණ්ඩු පක්ෂයේ සභිකයකු වීම අවශ්‍ය නැත. බලය පිහිටුවා ආණ්ඩු පක්ෂය සිදු කරන යහපත් මහජන සේවාවලට සහාය දැක්වීමෙන් තමන්ගේ සේවය ලබා දිය හැක.
දැනට තිරය පිටුපස සිදුවන විපක්ෂය එකතු වී බලය ගැනීමේ කතාබහ බල පොරයක් බවට පත්වීම බලාපොරොත්තු විය යුතුය. ඇතැම් හිටපු දේශපාලකයන්ට බලය ගන්න නම් ඕනෑම දේශපාලනඥයකු සමඟ හෝ එකතු වීමට තිබෙන කැමැත්ත එම බල
පොරයේ කේන්ද්‍රයයි. එහිදී තම තමන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීම දෙවැනි තැනට වැටී තිබේ. කවුරුන් සමඟ හෝ එකතු වී බලය පිහිටුවාගෙන එම බලය තුළ තමන්ගේ දේශපාලන අනාගතය හදා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අභිලාෂයයි. විපක්ෂයකින් එය අපේක්ෂා කළ යුතුය.
මේ වනවිට සියලු දේශපාලන පක්ෂවල අවධානය කොළඹ මහ නගර සභාව වෙත යොමුව පවතී. බල කේන්ද්‍රයක් වශයෙන් සලකන විට පාර්ලිමේන්තුවට පමණක් දෙවැනි වන බලයක් සහිත පාලන ඒකකය වශයෙන් සැලකෙන්නේ කොළඹ මහ නගර සභාවයි. විධායක ජනාධිපති ක්‍රමය යටතේ එහි බලය මෙතෙක් එජාපයෙන් ගිලිහී නැත. පළමු වතාවට ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට එහි බහුතර බලය හිමිව තිබේ. නමුත් විපක්ෂයේ සභිකයන්ගේ එකතුවක් සිදුවන්නේ නම් එවිට මාලිමාවට වඩා මන්ත්‍රී ධුර 20 කට වඩා බහුතරයක් විපක්ෂයට හිමිවී ඔවුන්ට නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට හැකිවනු ඇත. මේ සඳහා දින නියම වී ඇත්තේ ලබන ජූනි 02 වැනිදාටය.
පැහැදිලි බහුතරයක් නොමැතිව කොළඹ මහ නගර සභාව පමණක් නොව වෙනත් ප්‍රමුඛ පෙළේ පළාත් පාලන ආයතනයක් වුවද පවත්වාගෙන යා නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව ග්‍රීසියේ පෞර රාජ්‍ය සමයේ සිට පවතින්නේ බහුතරයේ බලය බලගැන්වෙන තුලනාත්මක සම්ප්‍රදායකි. ඒ අනුව පාර්ලිමේන්තු වේවා, පළාත් සභාවේ වේවා, ප්‍රාදේශීය සභාවේ වේවා, බහුතරයගේ මතය නිරූපණය විය යුතු බවට ගොඩනැගෙන තර්කය කිසිවකුට බැහැර කළ නොහැක.
මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ පාර්ශ්ව අතරින් වැරදි සිදුවී තිබේ. මෙහි අවසාන තීරකයා වන්නේ පොදු මහජනතාවයි. එම නිසා පළාත් පාලන ආයතනයක බලය පවත්වාගෙන යාමට කිසියම් කණ්ඩායමක් තේරී පත්වන්නේ නම් එම කණ්ඩායමට සහාය දීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසයක සම්ප්‍රදාය විය යුතුය.
අපට අවශ්‍ය කෙනාට බලය නොලැබුණොත් පළාත් ආයතනයට මුදල් නොදෙන බවට කෙරෙන ප්‍රකාශ වලංගු වෙන්නේ නැත. එවැනි තත්ත්වයක් කෙළවර වන්නේ උසාවියෙන් විය හැකිය. එම නිසා කාගෙ කාගේත් ආඩම්බර කතා පසෙක තබා ජන මතයට ගරු කර ඒ අනුව ක්‍රියා කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමයි.