2025 මැයි 10 වන සෙනසුරාදා

කාට කාටත් මේව පාඩම්

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

බාලගිරි දෝෂයෙන් දරුණු ලෙස බැටකමින් වරින් වර කල් තබන ලද පළාත් පාලන මැතිවරණය සාර්ථකව අවසන් කෙරිණි. නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවති එම මැතිවරණය සම්බන්ධයෙන් තිබුණු එකම අඩුව වූයේ ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකයන්ගේ ලොකු උනන්දුවක් නොමැති වීමයි. ඒ හේතුවෙන් ඡන්දය දැමීමේ ප්‍රතිශතය 62% ත් 52% ත් අතර තරමට බැස තිබිණි. පළාත් පාලන ඡන්දයට එය ආවේණික තත්වයක් වුවද මෙයට මාස 06 කට පෙර ඡන්දදායකයන් තුළ තිබූ ගාල කඩාගෙන යන තරමේ උනන්දුව සමඟ සැසඳීමේදී එය කැපී පෙනෙන පසුබැසීමක් විය.

ඡන්දදායක උනන්දුව හීන වීමෙන් වැඩිම බලපෑම එල්ල වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ඡන්ද ගොඩට බව ප්‍රතිඵලයෙන් පැහැදිලිය. විධායක ජනාධිපති ධුරයත් තුනෙන් දෙකක බහුතරයකින් යුත් පාර්ලිමේන්තුවත් සමඟ ඡන්දයට සංවිධානාත්මකව තරග වැදුණත් ඡන්ද ලක්ෂ 23 ක් පමණ අඩුවී තිබිණි. එය ආණ්ඩුවේ ජනප්‍රියත්වයේ පසුබෑමක් වශයෙන් හැඳින්වීමට ඉක්මන් විය යුතු නැත. ඒ සඳහා බලපෑ හැකි විවිධ කාරණා තිබිය හැකිය. තවත් අතකින් මහ නගර සභා 23 ක සහ නගර සභා 24 ක බලය සමඟ ප්‍රාදේශීය සභා 217 ක් ජය ගැනීමට ආණ්ඩුව සමත් වීම ආණ්ඩුවට “ප්ලස්” ලකුණකි. නමුත් සමහර ආයතනවලට ප්‍රමාණවත් බහුතරය නොලැබීම ගැටලුවකි.

එසේ මැතිවරණයේ ජයග්‍රාහකයා බවට පත් වුවද ජනතාව මේ ප්‍රතිඵලයෙන් ලබාදුන් පණිවුඩය ඉතා ප්‍රබල බව අවබෝධ කර ගැනීම ආණ්ඩුවට දුෂ්කර නැත. ආණ්ඩුවට එරෙහි ප්‍රබල විරෝධයක් නොතිබුණත් ආණ්ඩුවේ පසුගිය මාස 06 ක කාලසීමාව පිළිබඳව විශාල තෘප්තියක්ද ඡන්දදායකයන්ට නොමැති බව ඡන්ද ප්‍රතිශතය අඩුවීම මගින් ලබා දී ඇති එක් ප්‍රබල සංඥාවකි. මීට පෙර පැවති බලය හේතුවෙන් හිස උදුමවාගත් ආණ්ඩු නම් මෙවැනි සංඥා දාන්නේ දෙකයි පනහටයි. නමුත් මාලිමා ආණ්ඩුව ජන විඥානය පිළිබඳ හසල දැනුමක් ඇති පිරිසකගෙන් සමන්විත වන බවට ජනතාව අතර තිබෙන පිළිගැනීම අනුව මේ සංඥාව පාඩමක් වශයෙන් ගනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේ වුවහොත් එය ඔවුන් ගොඩනැංවීමට බලාපොරොත්තු වන පොහොසත් - ලස්සන රටක් හැදීමේ කාර්යයට විශාල රුකුලක් වනු ඇත.

විපක්ෂයට මෙම ප්‍රතිඵලය උදම් ඇනීමට තරම් ලොකු ජයක් ලබා දී නැත. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ ඡන්ද ලක්ෂ 03 ක් වැඩියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ලබා ගැනීමට සමත් වුණත් ජනාධිපතිවරණය සමඟ සැසඳීමේදී ඔවුන්ද ඡන්ද ලක්ෂ 22 ක් පමණ අඩු කරගෙන තිබේ. එය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් ඡන්දදායකයන්ගෙන් ලැබී ඇති “අගනා චරිත සහතිකයක්” නොවේ. එය ප්‍රබල රතු එළි දැල්වීමක් වශයෙන් හැඳින්වීම වඩාත් උචිතය. එය පාඩමක් වශයෙන් ගැනීමට තරම් සජබ නායකයන් සැලකිලිමත් නොවන්නේ නම් අනාගතය ගැන මේ ප්‍රතිඵලය පදනම වශයෙන් ගනිමින් හදන බලය ගැනීමේ සැලසුම් ව්‍යර්ථ වීමට ද ඉඩ තිබෙන බවත් පෙන්වා දිය යුතුය. මේ දේශපාලන සන්දර්භය තුළ සිදු නොවිය හැකි දෙයක් නොමැති බව පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට දිගහැරුණු මෙරට ඡන්ද සිතියමේ තදින් සලකුණු වී තිබේ.

දැනට තිබෙන අලුත්ම තත්වය වන්නේ තමන්ට ඍජුවම බලය නොලැබුණු ආයතනවල විපක්ෂයේ පිරිස් එකතු කර ගනිමින් බලය පිහිටුවීමට කටයුතු නොකරන බව ආණ්ඩුව කියද්දී විපක්ෂයේ සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ සම්බන්ධ වී පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට විපක්ෂ නායකයා සූදානම්ව සිටීමයි. ඡන්දයෙන් ලැබුණු ප්‍රතිඵලයෙන් දැඩිව සතුටට පත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඵල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේදී සඳහන් කළේ එවැනි එකතු වීමක් සඳහා ඡන්දදායකයන් විසින් බල කිරීමක් කර තිබෙන බවය.

එහෙත් තමන්ට නොමැති බලයක් විපක්ෂයේ විවිධ කොටස් එකතු කර ගනිමින් ලබා ගැනීමට දරණ උත්සාහය පිටුපස තිබෙන්නේ බලය සඳහා ඕනෑම සන්ධානයක් ගැසීමට දේශපාලන නායකයන් තුළ තිබෙන කැමැත්ත පමණක් බව තේරුම් ගැනීම අපහසු නැත. එක අතකින් පළාත් පාලන ඡන්දය පෙනි පෙනී තිබියදී පවා විපක්ෂයේ ඇතැම් පක්ෂ එකිනෙකා සමඟ මතවාදී පෙර බැදීමක යෙදී සිටියා මිස එකතු වී තරග කිරීමට සූදානමක් නොතිබිණි. ඡන්දයට පෙර එසේ දැඩි ප්‍රතිපත්තිවල පිහිටා වෙන් වෙන්ව කටයුතු කළ විපක්ෂය තමන්ට මහ නගර සභාවක හෝ වෙනත් ආයතනයක හෝ බලය ලබා ගැනීමේ චේතනාව මත එකතු වීමට දරණ උත්සාහය ජනතාවගේ උපහාසයට ලක්වීමටද ඉඩ තිබේ. විපක්ෂය එකම වේදිකාවක සිට ඡන්දයට ඉදිරිපත් වී තිබිණි නම් ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට තරම් බලයක් ලබාගත හැකිව තිබූ බව විපක්ෂය තේරුම් ගත යුතුය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතුරින් කැපී පෙනෙන වර්ධනයක් ඇතිකර ගැනීමට සමත් වූයේ පොදුජන පෙරමුණයි. එහි සම්පූර්ණ ගෞරවය නාමල් රාජපක්ෂටය. ඔහු පවසන්නේ දෙකයි පනහේ කණ්ඩායම දැන් මිලියනයේ කණ්ඩායම බවට පත්ව තිබෙන බවයි.

දැන් සිදුවිය යුත්තේ බලය සඳහා කුළල් කා ගැනීම නොව සියලු දෙනා එක්වී රටේ පොදු මහජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. එය එසේ සිදුවනු ඇතිදැයි ජනතාව බලා සිටිනු ඇත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00