අනුර කුමාර දිසානායක බලයට පත්වෙද්දී මාලිමාවටත් එහි නායකයන්ටත් විපක්ෂ කණ්ඩායම් දමා ගැසූ ලොකු සටන් පාඨ ගණනාවක් තිබිණි. එයින් එකක් වුණේ අනුර කුමාරට ජාත්‍යන්තරය දිනා ගැනීමට නොහැකි වන බවය. ඔහු දන්නා ඔහු ගැන දන්නා ජාත්‍යන්තරයේ බලවත් නායකයන් නැති බවද කියැවිණි. මේ නිසා ජාත්‍යන්තරය බැලන්ස් කර ගැනීමේදී අනුර කුමාර ෆේල් වනු ඇති බවට අනාවැකිද පළ කෙරිණි. ඒ වගේම ආර්ථිකය ගොඩගැනීමට මේ දක්වා කර ඇති වැඩ ටික අනුර කුමාර බලයට පැමිණියහොත් අනා ගනු ඇති බවත් පළපුරුදු නායකයකු බලයට පත් කරගැනීම රටට වැදගත් වනු ඇති බවත් ප්‍රකාශයට පත් විය.
ඒ අතරේදී අනුර කුමාරට ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබුණි. ආසියාවේ ඉතාම සංවේදී සහ කලාපය තුළ ඉතා ප්‍රබල විදේශ ප්‍රතිපත්තියක් අනුගමය කරන ඉන්දියාවේ එම ආරාධනය බොහෝ දෙනා තුළ විමතියක් දැන්වීය. මේ රටේ ඇතැම් නායකයන්ට එය අදහාගත නොහැකිව තිබිණි. තවත් අතකින් අනුර කුමාරලා දේශපාලනය ඇරඹූ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලනය කළේ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක පිහිටා වීම ඒ තත්වයට හේතු විය.
එහෙම හිටපු අනුර කුමාරට විපක්ෂයේ සිටියදී ඉන්දියාවෙන් ලැබුණු ආරාධනය කලාපීය දේශපාලනය ගැන උනන්දුවක් දැක්වූ සියලු දෙනාට ඉතා වැදගත් ආරංචියක් වී තිබිණි. ලංකාවේ සිටි මාලිමා විරෝධී සියලු දේශපාලන නායකයෝ අනුර කුමාරලා ජවිපෙ දේශපාලනය කරපු කාලයේ ගෙන ගිය දැඩි ඉන්දීය විරෝධයේ තරම පණ පොවමින් එළියට ගෙන පතුරු ගැසූහ.
ඒ මොනවා වුණත් අනුර කුමාර ඉන්දියාවට ගියේය. එහිදී උණුසුම් පිළිගැනීමක්ද ලැබුණි. දේශපාලනික වශයෙන් ඉහළම තලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද ඔහුට පහසුකම් සකසා දෙනු ලැබීය. අනුර කුමාර රටේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇති බවට ප්‍රබල මතයක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැතිරීමටද එය හේතුවක් විය. හැබැයි අනුර කුමාරට චීනයෙන් එහෙම ඇරියුමක් ලැබුණේ නැත. එහෙත් ඔවුන්ගේ පක්ෂයට චීනය සමඟ අතීතයේ සිටම දේශපාලන සබඳතා තිබිණි. සමහර දේශපාලන විචාරකයන්ට අනුව ඉන්දියාවෙන් අනුර කුමාරට ලංකාවේ ජනාධිපති වෙන්නත් කලින් නිල ආරාධනයක් ලැබුණේ ජනාධිපතිවරණයෙන් පසුව ඔහු චීනයට නැඹුරු වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් වළක්වා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් බවය. එය කොතරම් දුරකට සත්‍යයක් වනු ඇතිදැයි පැවසීමට තවම කල් වැඩිය.
එහෙත් අනුර කුමාර ජනාධිපතිවරණය ජයගෙන මහ මැතිවරණයද ජය ගනිද්දී ඉන්දියාව සහ චීනය යන දෙරටම ඔහුට නිල සංචාරයක නිරත වන්නැයි ආරාධනා කර තිබිණි. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ නායකයාගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඉන්දියාවට යෙදෙන අතර චීනයත් ලංකාවේ නව නායකයා මුල් කාලයේදීම හමුවීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. මෙවර අනුර කුමාර ජනාධිපති වශයෙන් ඉන්දියාවට ගොස් පැමිණ මාසයක කාලයක් ගිය තැනදී චීනයේ සංචාරයේ නිරත වුණේ චීන ජනාධිපති ෂිං ජිං පිං ගේ ඇරියුමිනි. ඔහු ආපසු පැමිණි පසු ආණ්ඩුවේ ඇමැතිවරුන් කිව්වේ ජනාධිපති අනුර ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 3.7 ක දැවැන්ත ආයෝජනයක් ගෙන ආ බවය. එය එකවර ශ්‍රී ලංකාවට ලැබුණු විශාලම ආයෝජනය වශයෙන්ද හඳුන්වනු ලැබීය.
චීනයේදී ජනාධිපතිවරුන් දෙදෙනා සහයෝගීතා ගිවිසුම් ගණනාවකට අත්සන් තැබූ අතර එයින් එකක් වූයේ සිනොපෙක් සමාගම සමඟ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදු සංකීර්ණයයි. ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් වශයෙන් දැක්වෙන්නේ එම ගිවිසුමය.
ආසියානු කලාපයේ එනිනෙකා විරසකව සිටින බලවත්ම “ග්‍රහයන්” දෙදෙනා වශයෙන් සැලකෙන ඉන්දියාවත් චීනයත් සමඟ මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන ගිවිසුම් සහ ආයෝජන ඇති කරගැනීමට සමත් වීම අනුර කුමාර දිසානායක නායකයකු වශයෙන් ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණයකි. එය ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් බැට කන ශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් බව පැහැදිලිය. අනුර කුමාර දිසානායක බලයට ඔසවා තැබුවේද එම ආර්ථික අර්බුදයෙන් මතු වූ ජනතාවගේ දැඩි විරෝධාකල්පය බැවිනි.
ශ්‍රී ලංකාවට චීනය කාලයක පටන්ම ආර්ථික වශයෙන් සහාය දැක්වූ මිතුරෙකි. ඉන්දියාවද අසල්වැසි බලවතා වශයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වූ ළඟම මිතුරාය. ආර්ථික වශයෙන් අනාථ වී අල, පරිප්පු පමණක් නොව තෙල් සහ විදුලිය පවා අහිමි වෙද්දී රටට ගිලෙන්න නොදී ගොඩ ඒමට ඩොලර් බිලියන 4 ක ණය ආධාර ලබාදීමෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිත්‍රයෙක් බවට යළි පත්වුණි. රටේ ඇවිල ගිය යුද්ධයත් එයට පසුබිම් වූ ජාතික ප්‍රශ්නයත් හේතුවෙන් දෙමළ ජාතිකයන් හැර සෙසු ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාව වහ කදුරු වී තිබුණි. දෙමළ ජාතිකවාදය පෝෂණය කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු නායකයන් ශ්‍රී ලංකාව යොදාගත් බව විශ්වාස කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ පොදු විරෝධයට හේතු වී තිබිණි. නමුත් ඒ තත්වය පසුව වෙනස් වූ අතර ආර්ථික අර්බුදයේදී ඉන්දියාව නොමසුරුව ණය පහසුකම් සැලසීමටත් පසුව එය ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාරයක් වශයෙන් සැලකීමටත් කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ සිත් වෙනස් කිරීමට බලපෑවේය.
කෙසේ වුවත් ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ආධිපත්‍යය පැතිරවීමට කටයුතු කරන බවටත් ශ්‍රී ලංකාවේ සතු දේපළ සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම කෙරෙහි ඇහැ ගසාගෙන සිටින බවටත් වන සැකය තවමත් තුරන් වී නැත. ජවිපෙ මුල් කාලයේ ශ්‍රී ලාංකිකයන් තුළ දැඩි ඉන්දීය විරෝධයක් දැල්වූයේ ඉන්දියාවේ මෙකී ව්‍යාප්තවාදී ගති ලක්ෂණ උළුප්පා පෙන්වමිනි. අදටද ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිතව තිබෙන එට්කා ගිවිසුමට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ දැඩි විරෝධයකි. මහින්දලා සහ රනිල්ලාද මේ ගිවිසුම අත්සන් කිරීමට සූදානමින් පසුවුණත් ඒ හැම වෙලාවෙම ඊට එරෙහිව රට ඇතුළේ විරෝධය දැල්වූයේ ජවිපෙ නායකයන්ය.
එසේ වැඩ කරපු ජවිපෙ පසුව මාලිමාව වී රටේ නායකයන් බවට පත්වී ඉන්දියාවේ ඇරියුමින් එරටට ගොස් ගිවිසුම් ගැසීම එක අතකින් මෙරට ජාත්‍යන්තර දේශපාලනය උඩු යටිකුරු කිරීමකි. මේ දේශපාලනය දෙස බලාගෙන ඉන්න මේ රටේ විපක්ෂයේ ඇතැම් නායකයන් හිතන්න ඇත්තේ අනුර කුමාර ඉන්දියාවට ගිහින් මෝදි කියන දේට එකඟ වී එට්කා ගිවිසුමටද අත්සන් කර එනු ඇතැයි කියාය. ජනාධිපතිවරයා ආපසු එන්න කලින් සමාජ මාධ්‍ය ඔස්සේද සමහරුන් දැක්කා වගේ ලියා තිබුණේ “ඔන්න එට්කා අත්සන් කළා... දැන් ඉන්දියන්කාරයෝ ලංකාවේ රස්සාවලටත් ඒවි” යනුවෙනි. නමුත් විදේශ ඇමැති විජිත හේරත් කිව්වේ එට්කා ගිවිසුම අත්සන් නොකළ බවත් මෙතෙක් කල් බලයේ සිටි ආණ්ඩු පවත්වාගෙන ආ එට්කා පිළිබඳ සාකච්ඡා දිගටම ගෙන යාමට එකඟ වූ බවත්ය.
චීනය ලංකාවට විශාල වශයෙන් ණය ලබාදුන් අතර යටිතල පහසුකම් සඳහා ආයෝජනද ගෙනාවේය. ඒ හරහා චීනය ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික වශයෙන් විශාලම ණය ලබාදෙන්නා බවට පත් විය. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම ඉන්දියාවට විශාල අවස්ථාවක් නිර්මාණය කර දුන්නේය. දෝතින්ම එම අවස්ථාව වැළඳගත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 04 ක ඉතා විශාල මූල්‍යමය ආධාර පමණක් නොව ආහාර, තෙල් සහ ඖෂධ වැනි ද්‍රව්‍යමය ආධාර ලබාදීමට පවා ඉදිරිපත් විය.
එයින් පසුව තිබුණු ආණ්ඩු පරාජය වී අනුර කුමාරලාගේ අලුත් ආණ්ඩුව පැමිණි අලුත ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එක් අවස්ථාවකදී අපූරු කතාවක් කීවේය. “චීනය ශ්‍රී ලංකාවට ආධාර කළේ ලංකාවේ ඉල්ලීම පිටයි. අපි ශ්‍රී ලංකාව ණය උගුලක හිර කෙරුවේ නැහැ. නමුත් ලබාගත් ණය ආධාර නාස්ති නොකර ඒවායින් හරියට වැඩ කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් මිස අපේ වගකීමක් නොවේ.” මේ කතාවෙන් චීනය අනියම් ලෙස දොස් පවරා තිබුණේ හිටපු ආණ්ඩුවලටය.
හැබැයි චීනයට ගිය ජනාධිපති අනුර සමඟ ජනාධිපති ෂි ජිං පිං සංවාදය අරඹා තිබුණේ මෙසේ කියමිනි. “ජනාධිපතිතුමනි ඔබ සමඟ කටයුතු කිරීමට මම කැමැත්තෙන් ඉන්නවා. නව දර්ශනයක් මත දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමටත් චීන - ශ්‍රී ලංකා මිත්‍රශීලී සහයෝගිතාව නව සහ වඩාත් පුළුල් ලෙස අර්ථ ගැන්වීමටත් මම බලාපොරොත්තු වෙනවා.”
චීනයක් සමඟ අත්සන් තැබූ ගිවිසුම් අතර ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනයද, ආහාර ආනයනයේදී සෞඛ්‍යමය පරීක්ෂාවන් සිදු කිරීමද, රූපවාහිනී සහ සෙසු මාධ්‍ය ආයතන සමඟ සහයෝගිතාවෙන් කටයුතු කිරීමද ඇතුළු විෂයන් ගණනාවක් තිබිණි. ශ්‍රී ලංකාවේ ණය බරින් 10% කට වගකියන චීනය ශ්‍රී ලංකාව සිදු කරන ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඉතා වැදගත් භූමිකාවක් ද නිරූපණය කරයි.
ජනාධිපති අනුර කුමාර පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් සමඟ දීර්ඝ සාකච්ඡාවක නියැළුණේ මේ ජාත්‍යන්තර දේශපාලන භූමිකාවේ ජයග්‍රහණය ද සමගිනි. නමුත් විපක්ෂයේ ඇතැමුන් දිගටම කියන්නේ චීනයෙන් රැගෙන ආ බව කියන ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය තමන්ගේ වැඩක් බවය. හිටපු බලශක්ති ඇමැති කාංචන විජේසේකර කියා තිබුණේ එය ඩොලර් බිලියන 4.5 ක ආයෝජනයක් බවය. එහෙත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරමින් දැඩිව කියා තිබුණේ එම ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් බවය.
මේ මොන දේ කිව්වත් චීනය එම ආයෝජනය ඇතුළු වෙනත් ගිවිසුම් අත්සන් කළේ අනුර කුමාර දිසානායක ජනාධිපති සමගිනි. සෙසු නායකයන් සමඟ මේ ආයෝජන ගැන සාකච්ඡා තිබුණු බව සැබෑවකි. නමුත් තේරුම්ගත යුත්තේ ගිවිසුම අත්සන් කිරීමට සැබෑ අවස්ථාව එනතුරු චීන ජනාධිපතිවරයා කාලය ගත් බවය.
ඉන්දියාව සමඟ ගනුදෙනුවලදී වත්මන් රජය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සමඟ ආයෝජනයකට සූදානම් වන බව ප්‍රකාශ වී තිබේ. ඒ ගැන හිටපු තෙල් ඇමැතිවරයකු වන උදය ගම්මන්පිල කියා තිබුණේ එම සැලැස්ම තමාගේ බවත් එය ඉදිරිපත් කළ අවස්ථාවේ කඩාකප්පල් කර දැම්මේ ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ නායකයන් බවත්ය.
එහෙත් ඉන්දියාවද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සඳහා ආයෝජන ව්‍යාපෘතියකට එකඟ වීම සිදු කළේ අනුර කුමාර ජනාධිපති සමගිනි. එය යථාර්ථයයි.
බලය ගැනීමෙන් පසුව අයි.එම්.එෆ්. සමඟ වලි ඇදගෙන ආර්ථිකය යළි කඩාකප්පල් කරගනු ඇතැයි කියා විපක්ෂයේ මතයක් තිබුණි නම් එය ද බිඳ වැටී තිබේ. එතැනදීද අනුර කුමාර තෝරා ගත්තේ ජනප්‍රිය මතය නොව වඩාත් යථාර්ථවාදී මතයයි. මුලදී ඔවුන් අයි.එම්.එෆ්. ගිවිසුම අලුත් කරන බවට පොරොන්දු දුන්නත් පසුව කිව්වේ කොන්දේසි වෙනස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බවය. අවසානයේ අයි.එම්.එෆ්. ගිවිසුම සමඟ කටයුතු කිරීම රජයේ තීරණය විය. ඡන්දෙට කලින් ප්‍රතිපත්තිය එය නොවුණත් බලය ගැනීමෙන් පසුව වඩාත් යථාර්ථවාදී තීන්දු ගැනීමට අනුර කුමාර ජනාධිපතිවරයා සමත් වී සිටී. එහි ප්‍රතිඵලය වුණේ තිබුණු ආර්ථික වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යාම නිසා ඉක්මනින්ම ආර්ථික බංකොලොත් බවින් මිදීමට ආණ්ඩුවට හැකි වීමයි.
ගෙවී ගිය මාස තුනක පමණ කාලය තුළදී ආණ්ඩුව ජාත්‍යන්තරය බැලැන්ස් කර ගැනීම අතින් මේ විදියට ඉදිරි පියවරක් තබා ඇති අතර ආර්ථිකය යළි වැටීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යාමටද කටයුතු කරමින් සිටී. ඒ අතින් ආණ්ඩුව සිටින්නේ ප්ලස් තැනකය. නමුත් රට ඇතුළේ ප්‍රශ්න ගොඩගැසෙන බවද ආණ්ඩුව ඒ සමඟම තේරුම් ගත යුතුය. සහල් ප්‍රශ්නයට ඊළඟ කන්නය විසඳුමක් වනු ඇති බවට බලාපොරොත්තුව පළ කළත් ජනතාවට තවම සහල් මිලෙන් සහනයක් නැත. පොල් ගෙඩියද එසේමය. සෙසු වියදම්ද තවමත් අඩු වී නැත. ඒ මදිවාට ආණ්ඩුවේ වැරදි පෙන්වන මාධ්‍යවලට එරෙහිව තදින් ක්‍රියාත්මක වීමද රටේ බහුතරයක් ජනතාව අනුමත කරන්නේ නැත.
ගමන යා යුත්තේ මේ සියල්ලම බැලැන්ස් කර ගනිමිනි. ජාත්‍යන්තරය බැලැන්ස් කිරීම තුළින් පමණක් බලය රැක ගැනීමට හැකි වන්නේ නැත. බලය රැක ගැනීම සඳහා ඡන්දය ලබාදීමට ජාත්‍යන්තරයෙන් කවුරුත් පැමිණෙන්නේ නැත. මේ නිසා රටේ ජනතාව බැලැන්ස් කර ගැනීම සියල්ලටම වඩා වැදගත් බව ආණ්ඩුවේ නායකයෝ තේරුම් ගත යුතුය. ඒ සඳහා තමන් කරන්නේ මොනවාද යන පණිවුඩයද ජනතාව අතරට තදින්ම යා යුතුය. එසේ නොවුණොත් පෙරහර ගොස් අවසන් වී තිබෙන්නත් පුළුවන.
• ශශීන්ද්‍ර