2025 ජනවාරි 25 වන සෙනසුරාදා

ත්‍රස්ත විරෝධී පනත පරිහරණය

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැන්ද ත්‍රස්ත විරෝධී පනත පසුගියදා යළිත් එළි බැස්සේය. කරුමෙට මෙන් එය ක්‍රියාත්මක කෙරුණේ මාධ්‍යවේදීන් කිහිප දෙනකුට එරෙහිව නඩු නිමිත්තක් සොයා ගැනීමට බවද ආරංචි පැතිරිණි. මේ හේතුවෙන් එය අලුත් ආණ්ඩුව උත්තර දිය යුතු වන ප්‍රශ්නයක් තරමට දුරදිග ගියේය.

මේ අල්ල පනල්ලේ වත්මන් ආණ්ඩුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ඉතා පරෙස්සමෙන් පවත්වාගෙන යන බවය. එම පනත ආණ්ඩුවේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය හෝ නොවන බවත් අලුත් පනතක් සම්මත වනතුරු රටේ තිබෙන නීතිය ඉතා පරිස්සමින් පරිහරණය කිරීමට සිදුවන බවත් ප්‍රකාශ කර තිබූ අමාත්‍යවරයා අලුත් පනත සම්මත වනතුරු ආණ්ඩුව කරගෙන යා යුතු බවද සඳහන් කර තිබිණි.

බිමල් රත්නායක අමාත්‍යවරයා වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු වන අතරම මීට කලින් පාර්ලිමේන්තුව නියෝජනය කර මැති ඇමැති ධුරය පවා දැරූ පළපුරුදු දේශපාලනඥයෙකි. මේ නිසා ඔහු ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශයට ලොකු බරක් තිබේ. ඔහුගේ කතාවෙන් පැහැදිලිව පෙනී යන්නේ මේ ආණ්ඩුව ද දැන්ම ත්‍රස්ත විරෝධී පනත හකුලා දැමීමට සූදානම් නැති බවය. අදාළ පනත පරෙස්සමින් පරිහරණය කරන බවට සහතිකයක්ද දී ඇත්තේ එබැවිනි.

මෙතෙක් රටේ බලයට පත් ආණ්ඩු අතුරින් ජනතාවගේ කැමැත්ත ඉහළින්ම ලැබී ඇත්තේ වත්මන් රජයටයි. එවැනි විශාල ආකර්ශනයක් සහිතව බලයට පත්වුවද සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන මාධ්‍යවේදීන් කිහිප දෙනකුට එරෙහිව මුලදිම ත්‍රස්ත විරෝධී පනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් රජය තරමක අසීරු තත්වයකට මුහුණ දුන්නේය. නොවැම්බර් අගදී යාපනයේ සිදු වූ ප්‍රභාකරන් සැමරුමට අදාළව පළ කරන ලද ඡායාරූප සහ පුවත් කිහිපයක් මේ සිද්ධියට හේතු වී තිබිණි. නමුත් එතැනදී මාධ්‍ය අතින් වරදක් සිදුවී තිබිණි නම් එය ඔවුන් ලවාම නිවැරදි කරවීමට අවශ්‍ය තරම් නීති ක්‍රියාත්මක කළ හැකිව තිබියදී පවා ත්‍රස්ත විරෝධී පනතට අනුව ක්‍රියා කිරීමට ආණ්ඩුව ගත් පියවර ජනතාවගේ කැමැත්තට හේතු වූයේ නැත.

මේ සිද්ධිය සමඟ ඇතිවූ සංවාදය පාර්ලිමේන්තුව තෙක්ම ඇදී ගිය අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට දැඩි විවේචනයක් එල්ල කරමින් ප්‍රකාශ කර තිබුණේ මතභේදකාරී ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන බවට මැතිවරණයට පෙර පොරොන්දු දී බලයට පැමිණි රජය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නිදහසට අකුල් හෙළීමට එම පනතම උපයෝගී කරගැනීම හෙළා දකින බවය. රජය ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ රට තුළ යළි ජාතිවාදී ගැටලු ඇති කිරීමට කිසිවකුටත් ඉඩක් නොදෙන බවය. සමාජ මාධ්‍ය හරහා අදාළ වරද සිදු කළ පිරිස යම් දේශපාලන කණ්ඩායම්වලට අයිති පුද්ගලයන් බවද රජයේ ස්ථාවරය වී තිබිණි.

එහෙත් එසේ වූ පමණින් ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට රජය ගත් පියවර සාධාරණීකරණය කළ නොහැක. එය වැරැද්දක් නම් එයට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය තරම් නීති තිබේ.
මේ සිදුවීම්වලින් පසුව සිවිල් සංවිධාන 25 ක් එකතුව දැනට සති දෙකකට පමණ ඉහතදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියක් මගින් රජය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස රැක දීමටත් මාධ්‍යවේදීන්ට එරෙහි මර්දනයක් දියත් නොකිරීමටත් පියවර ගත යුතු බව පෙන්වා දී තිබිණි. එමෙන්ම ත්‍රස්ත විරෝධී පනත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත වැනි නීති අහෝසි කරන්නැයිද ඉල්ලීමක් කෙරිණි. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි ප්‍රබල ජාත්‍යන්තර සංවිධානද එම ලිපියට අත්සන් තබා ඇතැයිද සඳහන් විය.

මෙම මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත දැන් යළිත් කරළියට පැමිණ ඇත්තේ එම පනත අහෝසි කර දමනු වෙනුවට එය තවදුරටත් පවත්වාගත යුතු තැනට ආණ්ඩුව තල්ලු වී සිටීම හේතුවෙනි. ආණ්ඩුවක් බලයට පත්වී වැඩ කරගෙන යාමේදී එයට එරෙහිව විපක්ෂය ඇතුළු විවිධ සංගම්, සංවිධාන විරෝධය දැක්වීම්, උද්ඝෝෂණය කිරීම් සිදුවීම වැළැක්විය නොහැක. එම සිද්ධීන්වලට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය ලැබීමද නැවැත්විය නොහැක. ඇතැම් සමාජ මාධ්‍ය කාගේ හෝ කොන්ත්‍රාත් ඉටු කරනවාද විය හැකිය. නමුත් එක්වරම රජයට එරෙහිව ක්‍රියාකාරීව ඉදිරිපත් වෙන පුද්ගලයන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත යොදා ගැනීම ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිරූපයට කැළලකි. එකී භයානක පනත අහෝසි කිරීම මේ රජය ලබාදුන් පොරොන්දුවක් බවද අමතක නොකළ යුතුය.

මේ රටේ බොහොමයක් ආණ්ඩු රටේ ජනතාව තම පාලනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගන්නා විට ඒවා මර්දනයට යොදා ගත්තේ ත්‍රස්ත විරෝධී පනතයි. බිමල් රත්නායක අමාත්‍යවරයා පවසන පරිදි වත්මන් ආණ්ඩුවද එම මර්දනකාරී ත්‍රස්ත විරෝධී පනත අතහැරීමට සූදානම් නැත. ජනතාව මර්දනය කරන අණ පනත් හඳුන්වා දෙනවාට වඩා කළ යුත්තේ ජනතාවගේ උදහසට ලක්වන කටයුතු කිරීමෙන් රජය වැළකී සිටීමයි. ජාතික ආරක්ෂාවට හානියක් සිදු නොවන පරිදි එකී මර්දනකාරී පනත හැකි ඉක්මනින් අහෝසි කළ යුතුය. එතෙක් බිමල් අමාත්‍යවරයා කියා ඇති පරිදි ත්‍රස්ත විරෝධී පනත අත පුච්චා නොගෙන පරිස්සමින් භාවිත කිරීමට රජය කටයුතු කළ යුතුය.