මහලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාගර කාරියවසම්
අපි දැක්කා පහුගිය දවසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුක අහන කාර්යාලයක් විවෘත කළා. මොකක්ද මේ කාර්යාලය? මොකක්ද මේකෙන් කරන්නෙ?
මේ කාර්යාලය ඇත්තටම අපේ පාක්ෂිකයන්ට නීති සහය ලබාදීම සඳහා පිහිටවපු කාර්යාලයක්. අපි දැක්කා පහුගිය දවස් ටිකේම ඉතාම බරපතළ විදිහට දේශපාලනික වශයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් පලිගන්නවා.
කොහොමද පලිගන්නෙ?
මාරු කිරීම්, වැඩ තහනම් කිරීම් වගේ දේවල් කරනවා කිසිම පදනමක් නැතුව, ඉතාම අසාධාරණ විදිහට. ඒ නිසා අපි හිතුවා අපේ පාක්ෂිකයන්ට පක්ෂයක් හැටියට අපි උදව් කරන්න ඕනෙ කියලා. ඒ සඳහා නීති සහය ලබා දෙන්න තමයි මේක දැම්මෙ.
ඔබ කියන විදිහට මේ පලිගැනීම් වෙන්නෙ රාජ්‍ය සේවයෙනෙ. එහෙම පැමිණිලි කීයක් ලැබිලා තියෙනවද?
අපිට මේ වෙනකොට විශාල වශයෙන් පැමිණිලි ගලාගෙන එනවා. අපිට වැඩියෙන්ම පැමිණිලි එන්නෙ සේවා ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන්. ඒවා කිසිම පදනමක් නැති මාරුවීම්. සමහර තැන්වල පැමිණිලි තියෙනවා කිසිම හේතුවක් නැතුව, පරීක්ෂණ නොමැතිව වැඩ තහනම් කරලා වගේ තත්වයක්. මේ අපේ පක්ෂය වෙනුවෙන් ඉතාම කැපවීමෙන් වැඩ කරපු කණ්ඩායම්. ඒ නිසා අපි පක්ෂයක් හැටියට ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවා.
දැන් රාජපක්ෂවරු බලය තියෙන කාලයේ ඔබ ඔය කියන දේවල් වුණේ නැද්ද? පලිගැනීම් සිද්ධ කළේ නැද්ද?
නැහැ රාජපක්ෂවරු කවදාවත් ඒ පලිගැනීම සිද්ධ කළේ නෑ. යහපාලන ආණ්ඩුවත් කළේ මේ දේමයි. හොරු හොරු කියලා බලයට ආවා. බලයට ඇවිල්ලා ඉවර වෙලා පරීක්ෂණ කරලා ඉවර වුණාම ඒ චෝදනාවලට කිසිම දෙයක් නෑ කියලා තේරුම් ගත්ත ගමන් බොරු නඩු පැටළුවා පදනමක් නැතිව. හැබැයි ඒ බොරු නඩුවලින් රාජපක්ෂවරු සියලු දෙනාම නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා මේ රජය රාජපක්ෂවරුන්ගෙන් නෙමේ අපිට උදව් කළ පාක්ෂිකයන්ගෙනුත් පලිගන්න යනවද කියලා සැකයක් තියෙනවා. අපි පලිගත්තෙ නෑ. අපි කළේ ඒ සල්ලිත් සංවර්ධනයට යොදවලා රට සංවර්ධනය කළ එක. ඒ නිසා රටක් හදන්න නම් පලිගැනීම් නතර කරලා සංවර්ධනය කරා වැඩ කරන්න ඕනෑ. ඒකට අපි පක්ෂයක් හැටියට ඉන්නවා. ඒත් අපේ විරුද්ධවාදීන් ඒ තීන්දුවල නෑ.
දැන් මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට අපි දන්න දෙයක් තමයි විශේෂයෙන් 2010ත් 2015ත් අතර කාලයේ මේ රටේ විශාල අබිරහස් සිදුවීම් සිද්ධ වුණා. ඒවා නොවිසඳුණු අපරාධ හැටියට සලකන්නෙ. ඔබ හිතනවද ඒ ගැන හොයන එක දේශපාලන පලිගැනීම් කියලා?
ඕකට හරි සරල උත්තරයක් තියෙන්නෙ. දැනටත් කතා කරන්නෙ 2005 - 2015 අතර වෙච්ච දේවල් ගැන. යහපාලන ඊනියා ආණ්ඩුව ආපු ගමන් නීති විරෝධී පොලිසියක් ඇරියා එෆ්.සී.අයි.ඩී කියලා. ඒ වගේම දූෂණ විරෝධී කමිටුවක් කියලා විශේෂ කමිටුවක් විවෘත කළා. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයගේ මූලිකත්වයෙන් කමිටුව රැස්වුණේ. එතකොට ඒකෙ ලේකම් හිටියේ එවකට අනුර මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ලේකම් වගේම වර්තමාන පොලිසිය භාර ඇමැතිවරයා. මේ අය එකතු වෙලා හොඳට හොයලා බලලා පරීක්ෂණ කරලා අවසානයේ පැමිණිලි දැම්මෙ බැසිල් රාජපක්ෂ මහත්තයා පුටු වගයක් දුන්න එකයි, ලිතක් දුන්න එකටයි. ඒ වගේම සමෘද්ධිලාභීන්ට නිවෙස්වල තීන්ත ගාගන්න කියලා මුදලක් දුන්න එකටයි. ඒ වගේ සිල්ලර ඒවට නඩු දැම්මෙ. රටේ ජනතාවට කිව්වේ නම් අපි නඩු දානවා කියලා. හැබැයි ඒ නඩු අරගෙන ගියාම ඒ විනිසුරුවරු පවා පුදුම වුණා, ඒවට නඩු දාන්න පුළුවන්ද කියලා. කොහොම වුණත් අවසානයේ රාජපක්ෂවරුන්ව නිදොස් කොට නිදහස් කළා. මතක තියාගන්න ඒ නිදොස් කොට නිදහස් කළේ නියමිත පරිදි නඩු අහලා. අපි බලයට ආවා කියලා නඩු ඉවර කරගත්තෙ නෑ දේශපාලන බලයෙන්. ඒ නිසා මේ අය එදා කළෙත් ඒ බොරුවමයි, අද කරන්නෙත් ඒ බොරුවමයි.
ඉතින් පරීක්ෂණ කරන එකේ වරද මොකක්ද?
වරදක් නෑ. ඒත් මේ අය කරන්නෙ බොරු නඩු පටවලා එයාලගේ බැරිකම වහගන්න එක. ඒකෙන් වෙන්නෙ මේ රටේ නීති පද්ධතිය කෙලෙසන එක. එතුමා කිව්වා අර මල්වානේ ඉඩමට අදාළ නඩුවට සාක්ෂිකරුවන් කැඳෙව්වෙ නෑ කියලා. ඒක මේ රටේ අවුරුදු 120 ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රසිද්ධියේ අපහාස කරන එකක්. ඒ නිසා එහෙම රටක ජනාධිපති කෙනෙක් විය යුතු නෑ. අවාසනාවකට ජනාධිපතිත් ඊනියා ආණ්ඩුවත් ඒ තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඒකට බය නැතුව මුහුණ දෙනවා.
මේ ආණ්ඩුව ගේන්න විශාල සහයක් දුන්නෙ ඔබලගේ පාක්ෂිකයෝ. අන්න ඒ පාක්ෂිකයා දැන් කොතැනද ඉන්නෙ?
අපේ පාක්ෂිකයෝ හැමදාම හිටියෙ රටත් එක්ක. රටට ආදරය කරපු මිනිස්සු තමයි අපේ පක්ෂයටත් මහින්ද රාජපක්ෂ මහත්තයටත් ආදරය කළේ. එහෙම මිනිස්සුන්ගේ ඔලුව දූෂණය කරලා, සිතුවිලි දූෂණය කරලා තමයි ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය අල්ලලා තියෙන්නෙ. රටට ආදරය කරපු අපේ මිනිස්සු ටික මේ වෙද්දි ඇත්ත තේරුම් අරගෙන ඉන්නවා. අර 3% කල්ලිය නෙමේ. ඔවුන් ඉතාම ශීඝ්‍රයෙන් අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය මේ මෑතක තිබුණු සමූපකාර ඡන්ද. ඒ ඡන්ද ඉතාම ශීඝ්‍රයෙන් අපි ජයග්‍රහණය කළා.
ගොඩක් අය කියන දෙයක් තමයි ශක්තිමත් විපක්ෂයක් නැතිකම මේ සියල්ලට හේතුව කියලා. ඔබ හිතන්නෙ මොකක්ද විපක්ෂයේ කාර්යභාර්ය මේ වෙලාවෙ?
මෙහෙමයි. විපක්ෂයේ කාර්යය හුදෙක් බලය ඇල්ලීමේ කාර්යයට එහා ගිය රට, සමාජය, රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන කාර්යභාර්යක්. ඒ කාර්යය සජිත් ප්‍රේමදාස මහත්තයා සිදු කරනවද කියලා හොයන්න අපි උත්සුක වෙන්නෙ නෑ. අපි ඒ දේ කරනවා. අපේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් කරනවා. ඒක අනිත් අය කරනවද නැද්ද කියලා බලන්න අපිට අවශ්‍යතාවයක් නෑ. ඒ ගැන හොයන්න ගිහින් අපේ කාලය නාස්ති කරගන්න ආසා නෑ.
ඔබලා විශාල බලයක් තිබුණු ආණ්ඩුවක්. හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කරලා යැව්වා. ඔබලට තියෙන අත්දැකීම් අනුව මේ ආණ්ඩුවෙ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධය කොහොමද?
ජනතාව අපිව ප්‍රතික්ෂේප කරන්නෙ ජනතාවට දුන්න සංකල්ප මත. ජනතාවගේ හිතට කාවැද්දුවා මහින්ද රාජපක්ෂ මහත්තයා චීනය සමඟ ගනුදෙනු කරන එක රටට කරන මහා වරදක් හැටියට. එහෙම කියපු අනුර කුමාර මහත්තයා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු පෝට්සිටියයි, හම්බන්තොට වරාය තුළිනුයි තමයි මේ රටේ සංවර්ධනය නැවත ආරම්භ කරන්න යන්නෙ. අපි එදා රටේ ජනතාව වෙනුවෙන් කිව්වා, මේ පෝට්සිටියත්, හම්බන්තොට වරායත් රටේ අනාගතය වෙනුවෙන් හදන්නෙ කියලා. ඔය අනුර කුමාර දිසානායකලා එකතු වෙලා යහපාලන ආණ්ඩුවක් ගෙනල්ලා අනාගත පරපුරට තිබුණු වරාය චීනයට විකිණුවා. දැන් චීනයට ගිහින් ඒ අය එක්ක සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කරනවා. මේවා අපේ අනාගතය. ඒත් එයාලා කරපු දෙයින් අද වෙද්දි එක රටකට ගැතිවෙලා වැඩ කරන්න වෙලා තියෙන්නෙ. හම්බන්තොට වරාය රටේ ජනතාවට නැති කළ වගකීම අනුර කුමාර දිසානායක මහත්තයලා බාරගන්න ඕනෑ.
ඒ අය කියන දේ තමයි රාජපක්ෂලා මේ රට ණය උගුලක හිර කළේ කියලා. ඒ ගැටේ ලිහාගෙන ප්‍රශ්න ටික විසඳගෙන අයි.එම්.එෆ් එකත් එක්ක යන ගමනක් තමයි මේ යන්නෙ කියලා?
එතුමාලා ඒ කාලේ එහෙම කිව්වට, පස්සෙ දවසක කිව්වනේ මේ රට ණය උගුලක හිර කළේ රාජපක්ෂලා නෙවෙයි යහපාලන රජය කියලා. එහෙම ගත්තම ඒකට අනුර කුමාර මහත්තයලත් වගකියන්න ඕනෑ. එතුමා කිව්වනේ මේ රටේ තියෙන ඩොලර් බිලියන 17ක ණයෙන් 12.5 ක් යහපාලන රජයෙන් ගත්ත ස්වෛරී බැඳුම්කර කියලා. රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය භෞතිකව මිනිස්සුන්ට පේන්න තියෙනවා. පාරවල්, අධිවේගී මාර්ග, විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා. අපි ගත්ත ණය සියල්ල මේ මහ පොළවේ තියෙනවා. ඒත් අනුර කුමාර දිසානායක මහත්තයලා එකතු වෙලා ගෙනාපු යහපාලන ආණ්ඩුවෙන් ගත්ත ඩොලර් බිලියන 12.5 ක ණයෙන් එක සංවර්ධන වැඩපිළිවෙළක් පේන්න තියෙනවද? නෑ. ඒවා සම්පූර්ණයෙන් පරිභෝජනය සඳහා යොදවාගෙන තියෙන්නෙ. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයලා රාජපක්ෂවරු ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. ණය උගුලක හිර කළා කියන එක ආයේ රාජපක්ෂලටවත්, අපේ පක්ෂයටවත් වලංගු නෑ.
ඒ කියන්නෙ ආණ්ඩුවක් දුන්නොත් රට ගොඩනගන්න හැකියාවක් තියෙනවද තවම?
අපි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ රට ගොඩනගන යම්කිසි වැඩපිළිවෙළක් එක්ක. ඔබ හිතන්න 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයා බලය ගන්නකොට එක පැත්තකින් යුද්ධය. අනෙක් පැත්තෙන් වසර 30 කින් විතර සංවර්ධනයක් සිද්ධ වෙලා නෑ. රටේ ජනතාවගෙන් 50% කට විදුලිය තිබුණෙ නෑ. ඒත් යුද්ධය දිනලා එතුමගේ මූලික අරමුණ වුණේ මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන එක. ඒක කළා. හැබැයි ඒ සංවර්ධනය 100% ක් දිනාගන්න බැරි වුණා. ඒත් අපි දැන් හිතනවා මේ රටට දැන් අවශ්‍ය තාක්ෂණික විප්ලවයක්. මේ රට සේවා ආර්ථිකයක් කරා යොමු කරන්න ඕනෑ. වත්මන් රජය මේ වෙනුවෙන් උත්සහ කරනවා තියා ඒ ගැන දන්නෙවත් නෑ. ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ තරුණ නායකත්වයක්. තාක්ෂණය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එහෙම නැතුව ජීවිත කාලේ බැංකු කඩපු, ට්‍රාන්ස්පෝමර් ගිනි තියපු, රාජ්‍ය පාලනය ගෙන යන්න බාධා කරපු, වැඩවර්ජන කරපු අය බලය ගත්තට වැඩක් නෑ. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකත්වය තියෙන්නෙ අපිට.
ඔබේ පක්ෂය මෙහෙයවපු, පක්ෂය නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් පේන්නවත් නෑ. ඒ කියන්නෙ ආයේ ඔහු පක්ෂය එක්ක එකතු වෙන්නෙ නැද්ද?
බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නෙ ඉතාම දක්ෂ දේශපාලකයෙක් සහ සංවිධායකවරයෙක්. මේ රටට ඉතාම ආදරය කරන පුද්ගලයෙක්. ඔහු පක්ෂය නිර්මාණය කළාට කිසිම වෙලාවක පක්ෂයේ තනතුරක් ගත්තෙ නෑ. ඒත් විපක්ෂය බැන්නෙ ගැහුවෙ බැසිල් රාජපක්ෂට. ඔවුන් දන්නවා එතුමගේ ශක්තිය මොකක්ද කියලා. ඒ නිසා එතුමව හැමදාම හොරෙක් හැටියට හංවඩු ගැහුවා. ඒත් එතුමා කරපු හොරකමක් නෑ. යහපාලන ආණ්ඩුව දිගින් දිගට හෙව්වා. එක හොරකමක් හොයාගන්න බැරිවුණා. ඒත් ගහන එක නැවැත්තුවෙ නෑ. ඒ නිසා ඔහු මේ රටට පක්ෂයට ආදරය කරන පුද්ගලයෙක්. මේ රටට ආදරෙයි කියලා මුදල් ගන්නෙ නෑ, වාහන පර්මිට් ගන්නෙ නෑ කියන ඔය හැමෝම සියල්ල අරගෙනම තියෙනවා. ඒත් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තමන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය නොගත්ත එකම කෙනා බැසිල් රාජපක්ෂ මහත්තයා. එතුමට මඩ ගහන්නෙ බය නිසා.
මඩ ගහන්නෙ විපක්ෂයම විතරක් නෙවෙයිනෙ. එකට වැඩ කරපු විමල් වීරවංශලත් චෝදනා කරනවා. මේ ළඟදිත් මාධ්‍යයට කිව්වා බැසිල් රාජපක්ෂ අසීමිත දේපළක් භුක්ති විඳිනවා කියලා?
ඉන්න මම ඉස්සෙල්ලා ප්‍රශ්නයට උත්තරයක් දීලා ඉවර කරන්නම්. එතුමගේ සේවය අපේ පක්ෂයට අවශ්‍ය නම් ඒ අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ සේවය ලබාගන්න අපේ පක්ෂය සූදානම්.
දැන් ඊළඟ ප්‍රශ්නයට මම උත්තර දෙන්නම්. ඇත්තටම දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහත්තයට චෝදනා කරපු, විශාල ෆයිල් තොගයක් ගෙනල්ලා පෙන්නපු අනුර කුමාර මහත්තයා රටේ ජනතාවත් මාධ්‍යවේදීනුත් ඇන්දුවා. ඒත් දැන් වෙද්දි තේරුම් ගිහින් තියෙනවා ඒ ෆයිල්වල ඇතුළේ තියෙන්නෙ පුස්සක් කියලා. අන්තිමට බැසිල් රාජපක්ෂ මහත්තයට චෝදනා කරලා කිසිම සාක්ෂියක් නැතිවුණාම ඔවුන් දැන් එතුමන්ලගේ මහා හතුරෙක් වෙච්ච විමල් වීරවංශ මහත්තයා ගෙන්වලා ප්‍රකාශ ගන්න තැනට පත්වෙලා. ඒක නම් දෛවයේ මහා සරදමක්.
එකට හිටිය කෙනෙක් චෝදනා කරන එක ලේසි නෑ?
ඔය විමල් වීරවංශ මහත්තයව කැබිනට් එකෙන් එළියට දාපු වෙලාවෙ කරපු ප්‍රකාශයකට තමයි දැන් කැඳවලා තියෙන්නෙ. ඒකෙ කාරණා දෙකක් දකිනවා. විමල් වීරවංශ මැතිතුමාට අවුරුදු දෙකක් එකට වාඩිවෙලා ඇමැති මණ්ඩලයේ වැඩ කරන්න පුළුවන්. ඒත් කැබිනට් එකෙන් අයින් කළාම තමයි බැසිල් රාජපක්ෂ වැරදි. ඒක ද්වේෂයෙන් කරපු චෝදනාවක්. දෙවැනි දේ තමයි කොහොම වුණත් විමල් වීරවංශ මහත්තයා කියන විදිහට හයේ පාරක් ගහලා තියෙනවනෙ. ඒකෙ වාසිය ගන්න ඕනෙ බැසිල් රාජපක්ෂ මහත්තයා හොරෙක් දූෂිතයෙක් කියලා චෝදනා කරපු ජවිපෙ. ඇමෙරිකාවෙ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහත්තයා ඇවිල්ලා අනුර කුමාර දිසානායක මහත්තයගේ මූණටම කිව්වා මේ ලෝකෙ ඕනෑම තැනක ලංකාවේ මුදල් වැරදියට භාවිත කරලා ඇත්නම් ඒක හොයන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා. ඒ නිසා දැන් හොයන්න. කරුණාකරලා ඒක හොයලා බලන්න. මාධ්‍ය සංදර්ශන විතරයි. මෙයාලා හොයන්නෙ නෑ. එහෙම හෙව්වොත් රාජපක්ෂලා නිදොස් කොට නිදහස් වෙන බව මෙයාලා දන්නවා.
• ගයාන් ගාල්ලගේ