2025 ජනවාරි 18 වන සෙනසුරාදා

පාතාලය වනසමුද? නැත්නම් වැනසෙමුද?

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ලංකාවේ තැන තැන පත්තුවෙන තුවක්කු ඉක්මනින් නිහඬ වනු ඇතැයි ජනතාව තුළ තිබූ බලාපොරොත්තු දැන් හිරු දුටු පිනි මෙන් දියවී යමින් තිබේ. කලින් ගෙවල් තුළ, හන්දිවලදී වැනි තැන්වල පත්තු වූ තුවක්කු දැන් උසාවි ඉදිරිපිට පමණක් නොව වෙළෙඳ ආයතනවලදී ද පත්තු වෙයි. මේ උණ්ඩ හැම දිනකම පාහේ දැන් සමාජය කළඹමින් තිබේ. මේ වෙඩි තැබීම් හේතුවෙන් සමහරු මිය යති. සමහරු තුවාල ලබති. එතරම් අවාසනාවන්ත නොවන තවත් පිරිසක් නොමැරී, තුවාල නොලබා දිවි ගලවා ගනිති. නමුත් ඔවුන්ටද සැනසිල්ලක් නැත. මාරක උණ්ඩය කොයි වෙලේ හෝ තමන් සොයා එන බව ඔවුහු දැන සිටිති.

අපගේ දේශය පුවත්පතේ ප්‍රවෘත්තියකට අනුව මේ ලංකාවේ පත්තු වෙන්නේ ඩුබායිවලට පලා ගොස් සිටින පාතාල මැරවරයන් විසින් මෙහෙයවන තුවක්කුය. එසේ පත්තු වෙන්නේ කුඩු පාතාලයේ නිරතුරුව පවතින එකිනෙකා මරාගැනීම් සංස්කෘතිය හේතුවෙන් බවද කියැවී තිබේ.

ලංකාවේ කුඩු ජාවාරම් කරන්නේ ඩුබායි වැනි රටවලට පැනගොස් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටින පාතාල නායකයන් පිරිසක් බවද කියති. ඔවුන් එහි සිටිමින් දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේ මේ ජාවාරම මෙහෙයවන බවද සඳහන්ය. මේ බොහොමයක් පාතාලයන්ට හරිහමං අධ්‍යාපනයක් නැත. අකුරක් හරියට නිවැරදිව ලියාගත නොහැක. නමුත් අතේ රැඳී තියෙන්නේ ලොවේ හොඳම නවීනම තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් දුරකථනයි. ඩුබායි ඉඳිමින් ලංකාවේ මිනී මරන්නේ මේ ස්මාර්ට් දුරකථන යොදා ගනිමිනි.

පොලිසිය පවසන අන්දමට මේ මිනීමැරුම් බොහොමයක් සිදු කරන්නේ පාතාල නායකයන් හෝ ඔවුන්ගේ සමීපතමයන් හෝ නොව ඔවුන්ගේ ගෝලබාලයන්ය. මේ ගෝලයන් මරන්නේ තවත් පාතාලයකුගේ මිතුරකු හෝ ඥාතියෙකි. ඇතැම් විට වැරදි ඉලක්කයක් හේතුවෙන් අහිංසක මිනිස්සුද පාතාල උණ්ඩවලට ගොදුරු වෙති.

මේ සිදුවන මිනීමැරුම් සහ කුඩු ජාවාරම් වැළැක්වීමට පොලිසිය උපරිමව උත්සාහ ගන්නා බව අපි දනිමු. මේ ඇතැම් නිලධාරීන් පාතාල මර්දනයේදී ගන්නේ විශාල ජීවිත අවදානමකි. පොඩ්ඩ ගැස්සුණොත් තමන්ගේ ජීවිතය ද අනතුරේ බව දන්නා නමුත් අවංක, දක්ෂ නිලධාරීන් පසුබාන්නේ නැත. නමුත් පාතාලය විශේෂයෙන් මහා පරිමාණ කුඩු ජාවාරමුන් මෙල්ල කිරීම පහසු නැත. කොතරම් පිරිසක් මේ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හිරේ දැම්මත් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන වෙඩික්කරුවන් වැඩේ අතහරින්නේ නැත. මේ නිසා තුවක්කු පත්තුවීම් තවම එසේම පවතී.

රටත් සමාජයත් භීතියෙන් මුසපත් කරවන තරමට මේ තත්වය බැරෑරුම් වෙමින් තිබේ. මේ තත්වය නිසි ලෙස වටහා ගනිමින් දැනටත් වඩා සූක්ෂම ලෙස නව උපායමාර්ග භාවිත කිරීමට පොලිසියට සිදුවන බව නොනවතින වෙඩි පත්තුවීම් පෙන්වා දී තිබේ. පාතාල ඝාතකයන්ටත් කුඩු ජාවාරමුන්ටත් රටේ නීතිය අතට ගැනීමට ඉඩක් නොදිය යුතුය. වහාම ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබාදිය යුතු තැනට රට තල්ලු වෙමින් තිබේ.

මේ පාතාලයන් කොතරම් බලවත්ද ධනවත්ද සංවිධානාත්මකද යන්න පසුගිය දින කිහිපය තුළදීම ඔප්පු කර පෙන්වන සිදුවීම් කිහිපයක් තිබිණි. මහා පරිමාණ කුඩු ජාවාරමකු සහ සංවිධානාත්මක ඝාතන මෙහෙයවන පාතාල නායකයකු බවට හඳුන්වනු ලබන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී පසුගියදා මෙරට අධිකරණයෙන් සමාව ලැබුවේ දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුවය. ඇප මත නිදහස ලැබුවත් ඔහුගේ ගමන් බලපත ද උසාවිය භාරයට ගෙන තිබිණි. නමුත් ඇප ලැබී දින කිහිපයකට පසු ඔහු අතුරුදන් විය. ජාත්‍යන්තර පොලිසිය මගින් පසුගියදා පොඩි ලැසී අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දියාවේ මුම්බායි හිදීය. පාස්පෝට් නැතුවම මෙරටින් පැන ගැනීමට ඔහු සමත්ව සිටියේය.

එසේම වෙලේ සුදාත් ඔහුගේ බිරියත් සොහොයුරියකුත් පසුගියදා සිර දඬුවම් ලැබූහ. ඊට අමතරව රුපියල් කෝටි 22 ක දඩයක් ද නියම කරනු ලැබීය. ඔහු ඇතුළු මේ පිරිස මහා පරිමාණ කුඩු ජාවාරමෙන් වසර දෙකක් තුළදී රුපියල් කෝටි 22 ක් වටිනා මුදල් හා දේපළ උපයාගෙන තිබූ බවට චෝදනා ලැබ සිටියහ.

පාතාලයේ මෙහෙයවීමෙන් නොනවත්වා වෙඩි තැබීම් සිදුවන්නේ මේ පසුබිමේය. මේ තත්වය අවබෝධ කරගනිමින් මහා පරිමාණයෙන් සංවිධානය වී පාතාල මර්දන කටයුතුවලට පොලිසිය අවතීර්ණ නොවුණොත් ඉදිරියේදී කාර්යාල, වාහනවල සිටින ජනතාවට පවා ආරක්ෂාවක් නැතිවනු ඇත. එවැනි තත්වයකට ඉඩ දීමට රජයට හැකියාවක් ද නැත.