2025 ජනවාරි 04 වන සෙනසුරාදා

ආණ්ඩුවටත් වඩා බලවත් මෝල්පතියෝ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

සහල් ගැටලුව තවමත් විසඳී නැත. එම ගැටලුව පවතින බව රජයේ බලධාරීහුද කියති. වී අස්වැන්න සහ සහල් නිපැයුම සම්බන්ධ විශේෂඥයන්ගේ මතය ද එයයි. සහල් අලෙවි කරන වෙළෙන්දෝත් සහල් මිලදී ගන්නා ජනතාවත් මේ කතාවම කියති. සහල් මෝල් හිමියන්ගෙන් පිරිසක් කියන්නේ ආණ්ඩුව කියන ගාණට සහල් විකිණිය නොහැකි බවය. තවත් පිරිසක් තමන්ට ප්‍රමාණවත් තරම් වී තොග නොලැබෙන බැවින් තම සහල් මෝල් වසා දැමීමට සිදුව ඇති බව කියති. සැබෑවටම රජරට මෝල් හිමියන් පිරිසක් දැන් ඉන්නේ මෝල් වසා දමා තම ව්‍යාපාර ද අතහැර දමලාය.

සහල් හිඟයට රජය මුහුණ දුන්නේ පිටරටින් ගෙන්වීමට දොරගුළු විවර කරමිනි. පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වන බවට රජය කිව් කතා හරි ගියේ නැත. සියල්ලටම පළමුව රටේ ජනතාවට හිඟයකින් තොරව සහල් මිලදී ගැනීමට ඉඩ තැබිය යුතුය. මිල වැඩි නම් එය අඩුකර දීමට පසුව හෝ පියවර ගත හැක. නමුත් ජනතාවගේ ප්‍රධාන ආහාරය හිඟ වීමට ඉඩක් තැබිය නොහැක. මේ නිසා ආණ්ඩුව තම ප්‍රතිපත්තිය වෙනස් කළේය. තාවකාලික පිළියමක් වශයෙන් සහල් ආනයනයට ඉඩ දීමට ගත් තීන්දුව මේ වනවිට ක්‍රියාත්මකය. සහල් හිඟය වැඩිදුර යා නොදී නවතා ගැනීමට රජය ගත් එම තීන්දුව හේතු වූ බවත් ඒ අවස්ථාවේ රජය තම ප්‍රතිපත්තියේම එල්බගෙන නොසිට අවශ්‍යතාව පිරිමසා ගැනීමට රටින් සහල් ගෙන්වීමේ යහපත් ප්‍රතිඵල දැන් ලැබී ඇති බවත් වෙළෙඳපොළෙන් වාර්තා වෙයි.

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනයට අවසර දීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා (02) වනවිට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 85,000 ක් වරායෙන් ගොඩබා පිටත් කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සීවලී අරුක්ගොඩ  මහතා ප්‍රකාශ කර තිබිණි. එය සහල් හිඟයට තාවකාලික විසඳුමක් ලබා දී තිබෙන බව පෙනී යයි. නමුත් ප්‍රධාන ගැටලුව එයින් විසඳෙන්නේ නැත. මෙතෙක් කාලයක් නොතිබුණු සහල් අර්බුදයක් දැන් හටගෙන තිබේ. හිඟය සහ මිල අධික වීම යන දෙඅංශයම ජනතාව තලා පෙළා දමමින් සිටී. එයට කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් අවශ්‍යය.

මේ රටේ මහා මෝල්පතියන් වෙළෙඳ අධිරාජ්‍යයකට අමතරව රටේ වෙනම පාලනයක් ගෙන යනවාද යන ගැටලුව දැන් ජනතාව අතර ද පැන නැගෙන ප්‍රශ්නයකි. පාඩු විඳගෙන හෝ රජයේ පාලන මිලට අනුව සහල් ලබාදෙන බවට ජනාධිපතිවරයා හමුවේ ශපථ කළ ඇතැම් මෝල් හිමියන් දැන් සිටින්නේ මෝල්ගස් ගිල්ල ගමන් වගේ යැයි පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ කතාවක් නැත. සහල් හිඟයත් අධික මිලත් රජය මත සහ ජනතාව මත පටවා ඔවුහු දැන් නවගුණ වැල ගණන් කරමින් සිටිති. නමුත් ඒ හේතුවෙන් දුක් විඳින්නේ රටේ ජනතාවයි.

අසාධාරණ ලෙස ලාබ ලබමින් විවිධ ආකාරයේ දූෂිත සහ වංචනික ක්‍රියා පවා යොදා ගනිමින් ඇතැම් මෝල් හිමියෝ රජයට ද කොකා පෙන්වති. ඔවුන් කියන වී සහල් කිරීමේ නිෂ්පාදන වියදම ගණන් හදන්නේ කවුද යන්නත් ගැටලුවකි. කුඹුරටම ගොස් ගොවීන්ට මුදල් ගෙවා වී මිලදී ගන්නා බව කිව්වත් ඔවුන් ඒ ගෙවන්නේ සැබෑවටම එළියේ කියන මිලටම ද යන්න දන්නා කෙනකු නැත. තවත් අතකින් රජය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සංඛ්‍යාලේඛන අනුව පසුගිය දෙසැම්බර් වන විට මේ රටේ සහල් අතිරික්තයක් තිබිය යුතුය. නමුත් එසේ සිදුවී නැත. එසේ වුවද සහල් මිල ගණන් ද ඇත්තේ ඉහළ තලයකය.

පසුගිය දශකය තිස්සේම සිදුවූ සහල් ගැටලු පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ මේ රටේ පාලකයන්ටත් වඩා මෝල්පතියන් බලවත් වී සිටින බවය. ඔවුහු මේ රටේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා වසා දැමීමට අනියමින් කටයුතු යෙදූහ. ඒ සඳහා ඇතැම් දේශපාලන බලවතුන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් සහාය ලැබී තිබූ බවද ප්‍රසිද්ධ කරුණකි. ඔවුහු සහල් මිල පාලනය තම අතට ගැනීමටද සමත්ව සිටිති.

මෙතෙක් බලයට පත් ආණ්ඩුවල ආහාර සහ කෘෂි ඇමැතිවරුන් තම අල්ලේ නැටවීමට ඔවුහු ක්‍රියා කළහ. නමුත් දැන් තිබෙන්නේ මහ මෝල් හිමියන්ගේ අණසකට යටත් නොවන බවට ප්‍රතිඥා දී පැමිණි ආණ්ඩුවකි. මේ ප්‍රතිඥාව අනුව යමින් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටී. එය ඉටුවනු දැකීම රටේම බලාපොරොත්තුවකි.

 

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00