2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

විපක්ෂය කොතැනද?

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 157

“ලබන නොවැම්බර් 14 වැනිදා තිබෙන්නේ ශ්‍රමදානයක්. පාර්ලිමේන්තුව සුද්ද කරන ශ්‍රමදානයක්. එහෙම කරන්න නම් 14 වැනිදා මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕන.”
ජනාධිපති අනුර කුමාර මහ මැතිවරණයේ මාලිමා ඡන්ද ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තැබූ ඡන්ද රැස්වීම්වලදී දිගටම ප්‍රකාශ කළේ එහෙමය. මාලිමාවේ දැන්වීම් ප්‍රචාරයේත් ප්‍රමුඛම සටන් පාඨය බවට පත්වුණේ “පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු” යන්නයි.

මහ මැතිවරණයට පෙර තැබූ ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී මාලිමාවේ නායකයා වශයෙන් අනුර කුමාර රූපවාහිනී නාළිකා සාකච්ඡාවලටද සහභාගි වුණි. ඒ එක් සාකච්ඡාවකදී ඔහුට යොමුකළ එක් ප්‍රශ්නයක් වූයේ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යනවාද කියාය. එය එසේම සිදුවන බව පිළිතුර විය. එහිදී යළිත් ඔහුට ප්‍රශ්නයක් යොමු විය. “ඔබට විශ්වාසද ඒ මැතිවරණයත් ජය ගන්න පුළුවන් කියලා?” අනුර කුමාර එයට මෙහෙම පිළිතුරක් දුන්නේය. “කිසිම ප්‍රශ්නයක් නෑ. කලා වැවේ සොරොව්ව ඇරිය වගේ තමයි.”

ඒ කිව්වේ විපක්ෂය හෝදගෙනම යන ප්‍රතිඵලයක් මහ මැතිවරණයෙන් ලැබෙන බවය. ජනාධිපතිවරණයටත් කලින්ම එහෙම විශ්වාසයකින් කටයුතු කළ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වුණේ 42% ක් පමණක් ලබා ගැනීමෙන් වීම විපක්ෂයේ මහ මැතිවරණ සූදානමට හොඳ සටන් පාඨයක් නිර්මාණය කර තිබිණි. ඒ වුණත් මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම ජනතාව එක්රැස් වුණේ මාලිමාවේ අනුර කුමාර ගිය ප්‍රධාන රැස්වීම්වලටය. දකුණේ පමණක් නොව උතුරේද එය කැපී පෙනුණි. ඒ රැස්වීම්වලදී ශ්‍රමදානය කතාවට අමතරව තවත් සටන් පාඨ තුනක් එක්කර ගැනීමටද අනුර කුමාර ජනාධිපතිවරයා කටයුතු කළේය.

“අපි මහ මැතිවරණය දිනන්න ඕන ඇඬෙන්න.”

“පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු”

“අපි මේ රට හදල මිසක් ආපහු හැරෙන්නෙ නෑ.”

ජනතාව අති බහුතරයක් ඒ කතාවලට එකඟ වූ බව ප්‍රතිඵලවලින් පැහැදිලි විය. මාලිමාවට ඉතිහාසයේ තනි දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම ජය අත්වූ අතර විපක්ෂය සේදිලාම ගියේය. මාතර, හම්බන්තොට පමණක් නොව යාපනය සහ වන්නි දිස්ත්‍රික්කද ඇතුළුව දිස්ත්‍රික්ක 21 ක්ම මාලිමාවට ගියේය.

මාලිමාව එහෙම දිනනකොට විපක්ෂයට මොකද වුණේ?

වුණේ වැලේ වැල් නැතුව පැරදීමය. ජනාධිපතිවරණයෙන් පස්සේ “දැන් ඉන්නෙ සුළුතර ජනාධිපතිවරයෙක්.”, “එයාට 42% යි අපිට 58% ක් ඉන්නවා.” වැනි කතාවලින් ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹුවත් ඒ රැස්වීම්වලට සෙනඟ ආවේ නැත. ජනාධිපතිවරණය අවසන් වූ වහාම මහ මැතිවරණය පැවැත්වීම නිසා විපක්ෂ දේශපාලන පක්ෂ මුදල් අහේනියකටද මුහුණ දී තිබුණි. ඒ සියල්ලටත් වඩා ජනාධිපතිවරණයේදී අත්වූ නොසිතූ විරූ පරාජයේ සෙවණැල්ලද ඔවුන්ගේ ප්‍රචාරක වැඩ අඳුරේ හෙළා තිබුණේය.

හැබැයි විපක්ෂය මේ තරම් පරදින්න ඔවුන් යොදාගත් සටන් පාඨ සහ දුර්වල උපක්‍රමද බලපෑවේය. රටේ ඡන්දදායකයන්ගේ චින්තනය වෙනස්වීම ගැන කිසිදු අදහසක් ඔවුන් තුළ නොතිබිණි. ඒ ගැන සොයා බැලීමකින් තොරව සමහර විපක්ෂ දේශපාලන නායකයන් මාලිමාවට අභියෝග කළේ හැකිනම් ජනාධිපතිවරණයට වඩා එක ඡන්දයක් හෝ අරගෙන පෙන්වන ලෙසටය. හිටපු ජනාධිපති රනිල් දින ගණනාවක්ම කිව්වේ තමන් රජයේ සේවකයන්ට පඩි වැඩි කළ බවයි. ඒ වැඩි කළ වැටුප වහාම ලබා දෙන්නැයි කියාද ඡන්ද වේදිකාවලදී කිව්වේය. අගමැති හරිනිට ව්‍යවස්ථාව ගැන පාඩමක් කියා දෙන්නදැයි ඇසුවේය. අන්තිමට කිව්වේ එල්බෝඩ්කාරයන් පිරිසකට රට බාර දුන්නොත් රටට වෙන විනාශය හිතාගන්නත් බැරිවනු ඇති බවයි. රාජිතගේ සටන් පාඨයක් වූයේ රජයේ සේවකයන්ට පඩි ගන්න ඕන නම් මාලිමාවට දෙන්න එපා කියලාය.

හිටපු විපක්ෂ නායක සජිත් දිගටම මාලිමාවට චෝදනා කළේ ඔවුන් යන්නේත් කලින් ආණ්ඩුව ගිය අයි.එම්.එෆ් වැඩපිළිවෙළ සමඟම බවයි. එසේම පොල් පෝලිම්, හාල් පෝලිම් ගැනද, ජීවන වියදම ගැනද කතා කළේය. අනුර කුමාර ජනාධිපති සමඟ වැඩ කිරීමටද කැමැති බව කිව්වේය.

මේ මොනවා කිව්වත් ජනතාව පිළිගත්තේ අනුර කුමාර කියූ දේ පමණක් බව පැහැදිලිය. එහෙම වුණේ ඒ වෙනකොට මෙතෙක් මේ රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් කළ කී දෑ ගැන හොඳ වැටහීමක් ඔවුන්ට තිබුණු බැවිනි. රට ආර්ථික වශයෙන් බංකොළොත් කළ පළපුරුදු කට්ටියගේ පාලනය තුළ තිබූ ජරා දේශපාලන සංස්කෘතියට වඩා එල්බෝඩ්කාරයන්ගේ පාලනය හොඳ වනු ඇති බව ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගී තිබුණු බව ප්‍රතිඵලවලින් තහවුරු විය. රටේ ඡන්දදායකයන්ට වැටුප් වැඩි කිරීම්, හාල් පොල් පෝලිම්, එල්බෝඩ් කතා අදාළ නැති බව විපක්ෂ නායකයන් තේරුම් නොගැනීම ලොකුම ඛේදවාචකයක් විය. මේ හේතුවෙන් සිදු වුණේ විපක්ෂයට ලැබිය යුතු ඡන්ද ලක්ෂ ගාණක් ගෙවල්වලම නැවතීමය.
ඒ කොහොම වුණත් එහෙම ගෙවල්වල නැවතුණු ඡන්ද ටික ආපසු ඡන්ද පොළට ගෙන්වා ගැනීමට නම් විපක්ෂයට ලෙහෙසි වෙන්නේ නැත. ඒ වැඩේ පරණ, යල්පැන ගිය, අබලන්, අවලංගු සටන් පාඨවලින් නම් කරන්න බැරිය. අලුත් සටන් පාඨ පමණක් නොව, අලුතෙන් හිතන්න පුළුවන් මිනිස්සුත් නායකයනුත් විපක්ෂයට ඕනෑය. ලෝකයේ බොහොමයක් රටවල විපක්ෂය දිනන්නේ ප්‍රතිපත්ති පමණක් නොව විපක්ෂයේ නායකයනුත් වෙනස් වීම නිසාය. නමුත් ලංකාවේ නම් එහෙම වෙන්නෙ නැති බවත් සටහන් කළ යුතුමය.

ජනාධිපතිත් වෙනස් වෙලා ආණ්ඩුවත් වෙනස් වෙලා ඡන්දදායකයනුත් වෙනස් වෙලා ඉන්න රටක විපක්ෂයට පමණක් වෙනස් නොවී ඉන්න පුළුවන්ද? එහෙම වෙනස් නොවී හිටියොත් මොකක්ද වෙන්නෙ?

ඒකට හොඳම උදාහරණයක් ලංකාවේම තිබේ. හැත්තෑ හතේදී ජේ.ආර්. ඡන්දෙ දිනුවේ සිරිමාවෝගේ ශ්‍රීලනිපයට ඇඬෙන්නය. ජේ.ආර්. ද පාර්ලිමේන්තුව අලියාගෙන්ම පිරෙව්වේය. සංවෘත හිරවෙච්ච ආර්ථිකයක් වෙනුවට විවෘත ආර්ථිකයක් ගෙන එන බවටත් කන්න බොන්න නැතුව හාල් පොල් මිරිස් පෝලිම්වලින් හෙම්බත් වී සිටි ජනතාවට ධාන්‍ය රාත්තල් අටක් සතියකට දෙන බවටත් දුන් පොරොන්දුව අල්ලලා ගියේය. ප්‍රතිඵල එන විට ජේ.ආර්.ගේ යූ.එන්.පීයට ආසන හයෙන් පහක බලයකුත් සිරිමාවෝගේ ශ්‍රීලනිපයට ආසන අටක බලයකුත් ලැබී තිබුණි. ජේ.ආර්. ඒ කාලේ වයස 71 ක් වුණත් රටේ තරුණයන්ට මෝටර් සයිකලයක් ගන්න, පිටරට රස්සාවකට යන්න තිබෙන කැමැත්ත තේරුම් ගත්තේය. දරුවන්ට මයිසුර් පරිප්පු (දැන් රතු පරිප්පු) කන්න දෙන්න බැරුව සිටි අම්මලාගේ අවශ්‍යතාවද සිරිමාවෝට වඩා ජේ.ආර්.ට දැනී තිබුණි. ඔහු ඡන්දය දිනන්න මේ හැම තුරුම්පුවක්ම පාවිච්චි කළේය.

ඡන්දෙන් පස්සේ 08 ට වැටුණු ශ්‍රීලනිපයට ගොඩ එන්න මාර්ගයක් හිතාගන්නත් කලින්ම ජේ.ආර්. සිරිමාගේ ප්‍රජා අයිතිය වසර 06 කට අහිමි කර ශ්‍රීලනිපය නන්නත්තාර කර දැම්මේය. ප්‍රජා අයිතිය අහිමි වුණත් සිරිමාවෝ පක්ෂ නායකත්වය අත්හැරියේ නැත. එසේම පක්ෂය ඇතුළේ ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකය මැජික් එකට හරියන්න අලුතෙන් හිතන නායකයන්ට උඩට එන්නත් අවස්ථාවක් දුන්නේත් නැත. සිරිමාවෝටද වලව් පැලැන්තියේ චින්තනයෙන් මිදී අලුත් ලංකාවක් බිහි කිරීමට අවශ්‍ය දේශපාලන විඥානයක් නොතිබුණි. එහෙම බිමටම පත බෑවුණු ශ්‍රීලනිපය යළි ගොඩ ආවේ අලුත් චින්තනයක් රටට හඳුන්වා දෙමින් පැරණි සම්ප්‍රදායික දේශපාලනයෙන් ඈත් වූ චන්ද්‍රිකාත් ඇයට සහාය දුන්, මංගල සහ එස්.බී. වැනි තරුණ නායකයනුත් එකතු වී ගහපු ගේම් එක නිසාය. හැබැයි ඒ වනවිට බලයෙන් මත් වී ආණ්ඩු කළ ජේ.ආර්.ගේ අධිපතිවාදී සහ උද්දච්ච පාලනයට එරෙහිව ජවිපෙ ගැසූ කැරැල්ල හේතුවෙන් ආණ්ඩුව හිටියේ හතර ගාතෙන් වැටිලාය. ඒ තත්ත්වය වෙනස් කළේ ආර්. ප්‍රේමදාසගේ පාලනයෙනි.

ඉන්දියාවේ වුණත් දේශපාලනය වෙනස් වූයේ එහෙම අලුතින් හිතන්න පුළුවන්, ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූලව ඉදිරියට ආපු නායකයන් හේතුවෙනි. ඉන්දිරාගේත් රජිව්ගේත් ඒකාකාරී පාලන රටාවලින් හෙම්බත් වී සිටි ඉන්දීය ජනතාව නරේන්ද්‍ර මෝදිගේ මතුවීමෙන් අලුත් නැවුම් නායකත්වයක් දැක ගත්හ. ඒ තරම් කාලයක් ගන්ධිලාට විරුද්ධව සටන් කළ ලාල් ක්‍රිෂාන් අද්වානිලා ඇතුළු පරණ වයස්ගත සෙට් එකට කවදාවත් පරාජය කරන්න බැරි වූ කොංග්‍රස් එක පරද්දන්න හැකි නායකත්වයක් අලුතින් ආපු මෝදිගෙන් දුටු ජනතාව ඔහු 2012 දී අගමැති කිරීමට ඡන්දය දුන්හ. අදටත් ඉන්දියාවේ අගමැති මෝදිය. ඔහුගේ පාලනය යටතේ ඉන්දියාව ආර්ථික වශයෙන් ලබා ඇති දියුණුව ගාන්ධිලාගේ පාලනයක් යටතේ හිතන්න බැරි තරම් ඉහළය. මේ වනවිට ඉන්දියාවේ ආර්ථිකය ලෝකයේ වේගයෙන්ම ප්‍රසාරණය වන 05 වැනි ශක්තිමත් ආර්ථිකය වශයෙන් සැලකෙයි.

ලංකාවේ විපක්ෂයටත් අනාගතයේදී හෝ හැදෙන්න අවශ්‍ය නම් ඔවුන්ද ආදර්ශ ගත යුත්තේ මාලිමාවට නායකත්වය දුන් අනුර කුමාර දිසානායකගෙනි. මීට මාස 06 කට පෙරත් ලංකාවේ මිනිස්සු වැඩි දෙනකු කියමින් හිටියේ මාලිමාව ඕන නම් මැතිවරණයෙන් ආසන 20 ක් පමණ දිනාගනු ඇති බවය. ජනාධිපතිවරණයේදී වැඩිම වුණොත් 18% ක් පමණ ඡන්ද ලබාගනු ඇති බවය.

ඒ වුණත් අනුර කුමාර ජනාධිපතිවරයා මාලිමාවට ලබාදුන් නායකත්වයේ කියැවීම ඊට වඩා වෙනස් විය. 2020 මැතිවරණයේදී ජවිපෙ වෙනුවට ජා.ජ.බ. පිහිටුවා මාලිමාව ලකුණින් තරග කර ලැබුණු 3% ජවිපෙ කාඩර් එක සමඟ ලබාගත හැකි ඉහළම ඡන්ද ප්‍රමාණය බව අනුර කුමාර අවබෝධ කර ගත්තේය. ඒ වහාම ඔහුගේ නායකත්වයේ චින්තනය වෙනස් විය. ජවිපෙ වැනි අන්තවාදී ලේබලය ගැසුණු පක්ෂයක් කෙතරම් අවංකව දේශපාලනය කළත් යා හැකි දුර සීමාසහිත බව තේරුම් ගත් ඔහු ජවිපෙ තබාගෙන ජාතික ජනබලවේගය නිර්මාණය කිරීමට මූලික වූ හේතු සාධකවලට මුල් තැනක් දුන්නේය. අවංක වූත් කාර්යක්ෂම වූත් දැඩි කැපවීමක් තිබුණා වූත් ජවිපෙ කාඩර් එකට දැඩි මතධාරී ආර්ථික පිළිවෙතින් බැහැරව නම්‍යශීලී ආර්ථික මාර්ගයකට යා හැකි පිරිස් ඔහු එකතු කළේය. මේ රටේ ආණ්ඩු මිනිසුන්ට එපා වූ සියලු කාරණා ඉතා හොඳින් අවබෝධ කර ගත්තේය. එහි හැරවුම් ලක්ෂය වූයේ අරගලයයි.

සියල්ලටම කලින් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවට ඔහු ගත් තීරණය කෙතරම් නිවැරදිද යන්න මෙවර ජනාධිපතිවරණය සමඟ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි විය. වසර 24 ක පාර්ලිමේන්තු ජීවිතය තුළින් ලැබූ පන්නරය මේ රටේ දැඩි මතධාරී ජවිපෙ දේශපාලනයත් රටේ යහපත් ජනතාවගේ මනසේ පවතින නම්‍යශීලි විය යුතු දේශපාලනයත් සම බිමකට ගෙන ආ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ මෙතෙක් රටේ පහළ වූ බලවත්ම ජනාධිපතිවරයා බවට පත්ව සිටී.

ඉතින් එහෙම ජනාධිපති කෙනකුගේ ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න ජාතික ලැයිස්තුවලට පවා මරාගන්න මානසිකත්වයකින් යුත් සම්ප්‍රදායෙන් මිදෙන්න අකැමැති විපක්ෂයකට පුළුවන්ද?

• ශශීන්ද්‍ර