“ලංකාවට ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගෙන ආරුගම්බේ කිසියම් පහරදීමක් සිදුවිය හැකි බවට වන තොරතුරු ලැබුණේ ඉන්දියාවෙන් කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. ඒක ඇත්තද?”
මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර විජිත හේරත් අමාත්‍යවරයා හදිසියේම පසුගිය බ්‍රහස්පතින්දා (24) පස්වරුවේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය යොමු කෙරුණේ එහි සිටි මාධ්‍යවේදියකුගෙනි.
“ආරුගම්බේ ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරු ලබා දුන්නේ ඉන්දීය බුද්ධි අංශ නොවෙයි. ඉන්දීය බුද්ධි අංශ කතාව සම්පූර්ණ අසත්‍යයක්. මේ වගේ අසත්‍ය පුවත් පළ කර මහජන කැළඹීම් ඇතිවන ආකාරයට පුවත් පළ කර මහජන කැළඹීම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න එපා කියලා අපි මාධ්‍යවලින් ඉල්ලීමක් කරනවා. ඒ අසත්‍ය පුවත නිවැරදි කරන්නැයි එය පළ කළ මාධ්‍ය ආයතනවලට අප දන්වා තිබෙනවා.”
විජිත හේරත් අමාත්‍යවරයාගේ පිළිතුර එසේ විය. එම පුවතේ සඳහන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනාට ගෙවූ බවට සඳහන් වන මුදල පවා වැරදි බවත් අමාත්‍යවරයා කීය. එහෙම නම් ඉන්දීය බුද්ධි අංශ මගින් අදාළ තොරතුරු ලබා දී ඇති බවට වන ප්‍රවෘත්තිය නිර්මාණය කරන ලද එකක්ද? එහෙම දේවල් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ ගැන තවමත් ඉන්දියාව ප්‍රතිචාරයක් දක්වා නැතිද?
ඒ ගැන කතා කරන්න කලින් අද ඉන්දියාව මුහුණ දී සිටින ප්‍රහාර ගැන කතාව කුමක්දැයි සොයා බැලිය යුතුය.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා ඇමැති කේ. රාම්මෝහන් නායිදු පසුගියදා මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමකින් තොරව මේ ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවය. මෙවැනි බොළඳ පණිවුඩ, මෙවැනි බොරු පණිවුඩ යවමින් බෝම්බ තර්ජන එල්ල කරන පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වැරදිකරුවන්ට ගුවන් ගමන් තහනමක් පැනවීමට වුවද කටයුතු කරන බවත් කියා තිබිණි. “මෙය සිදු කරන්නේ කවුදැයි විමර්ශනයකින් තොරව පැවසීමට හැකියාවක් නෑ. විමර්ශන අවසන් වනතුරු අපට බලා සිටීමට සිදුවෙනවා.” යැයිද කියා තිබූ ඇමැතිවරයා මේ විමර්ශන සිදුකිරීමේ කාර්යයට සෙසු අමාත්‍යාංශවල සහාය ද අවශ්‍ය බවත් කීය.
මේ කතාවෙන් දින කිහිපයකට පසුව එනම් පසුගිය බ්‍රහස්පතින්දා (24) ඉන්දීය ගුවන් යානාවලට එල්ල වන බෝම්බ තර්ජනය කොතරම් උග්‍ර වී දැයි කිවහොත් එදින පස්වරුව වනවිට ගුවන් යානා 80 කට වැඩි සංඛ්‍යාවකට එම තර්ජන එල්ල වී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබිණි. ඒ වනවිට දින 11 ක් ඇතුළතදී බෝම්බ තර්ජන ගුවන් යානා 250 කට අධික සංඛ්‍යාවකට එල්ල වූ බව එම පුවත්පත වාර්තා කළේය. හඳුනාගත නොහැකි ‘ඇනෝනිමස්’ ‘X’ සමාජ මාධ්‍ය දෙකක් ඔස්සේ මේ බෝම්බ තර්ජන ප්‍රචාරය කරනු ලැබ තිබූ අතර ඒ දෙකම පසුව තහනම් කර තිබේ. එවැනි නාඳුනන සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ සියලු තර්ජන එල්ල වන බවත් එසේ තර්ජන එල්ල කිරීම සඳහාම මේ ගිණුම් ආරම්භ කර ඇතැයි පෙනී යන බවත් එම පුවත්පත සඳහන් කරයි.
ඉන්දියාවේ ගුවන් යානාවලට එල්ල වන බෝම්බ තර්ජන සහ ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන්ට එල්ල වී ඇති ත්‍රස්ත ප්‍රහාර තර්ජන අතර සම්බන්ධයක් නැත. නමුත් මේ තර්ජන දෙකම පටන් ගන්නේ හමාස් සංවිධානය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයට වසරක් පිරෙමින් තිබියදී බව හඳුනා ගත හැක. එම ප්‍රහාරයෙන් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් විශාල පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානයේ පාලනය යටතේ ඇති ගාසා තීරයේ හෝ පලස්තීනයේ හෝ රහසිගත ස්ථාන කිහිපයක ප්‍රාණ ඇපකරුවන් වශයෙනි. එයින් කිහිප දෙනකු යුද්ධයට මැදි වී මියගිය බවද ප්‍රකාශ විය. මේ බිහිසුණු සටනට මුල පිරුණු දවස මේ ඉරිදාය. ඒ ඔක්තෝබර් 27 වැනිදාය. මේ බවද මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය සාකච්ඡාවේදී සිහිපත් කළේය.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය සමඟ සීතල යුද්ධයක පැටලී සිටින ඉන්දියාව දකුණු ආසියානු කලාපය කෙරෙහි වැඩි සහ දැඩි අවධානයකින් පසුවන බව අප්‍රකාශිත සත්‍යයයි. එහෙම තත්ත්වයක් තිබියදී තමන්ගේ ගුවන් ගමන් සීමාව තුළ තමන්ගේ රටේ ගුවන් යානාවලට දවසකට සියයකට ආසන්න බෝම්බ තර්ජන එල්ල වන්නේ නම් එරට ආරක්ෂක අංශවලට එය බලවත් හිසරදයක් වීම වැළැක්විය නොහැක. විශේෂයෙන් තම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොගන්නා ඉන්දියාවට මේ තර්ජනවල සැබෑ තර්ජනකරුවන් කවුදැයි හැකි තරම් ඉක්මනින් සොයා ගැනීමට තිබෙන අවශ්‍යතාව තේරුම් ගැනීම අපහසු නැත.
එහෙම තත්ත්වයක් තිබියදී වුණත් ලංකාවේ ඉන්නා ඊශ්‍රායල සංචාරකයන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී තිබුණා නම් එය මෙරට රජයටත් ආරක්ෂක හා බුද්ධි සේවාවලටත් දැනුම් නොදී සිටීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇතැයි හිතන්න නම් අමාරුය. එසේම ඇමෙරිකානු තානාපති කාර්යාලය එහි කාර්ය මණ්ඩලයටත් මෙරට සිටින ඇමෙරිකානු සංචාරකයන්ට සහ එරට පුරවැසියන්ටත් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරන තුරුම ඉන්දියාව ඒ ගැන කිසිදු තොරතුරක් නොදැන සිටි බවද විශ්වාස කිරීමත් අමාරුය. නමුත් විජිත හේරත් අමාත්‍යවරයා තදින්ම කියා සිටියේ ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ බුද්ධි සේවා අංශවලින් ලබාදුන් බව පැවසීම අසත්‍යයක් බවය. නමුත් 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ටක්කෙටම කී ඉන්දියාව මේ තොරතුරු නොදැන සිටිය හැකිද?
ඒ කොහොම වුණත් විජිත හේරත් අමාත්‍යවරයා පවසන ආකාරයට රජයට තොරතුරු ලැබී ඇත්තේ විදෙස් බුද්ධි සේවා හරහාය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බුද්ධි තොරතුරු හුවමාරු කර ගත් බවද ඔහු කියයි. එසේම තොරතුරු දැනගෙන ආණ්ඩුව නිකම් සිට නැත. පසුගිය දින කිහිපය තිස්සේම එවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා රජය ඉහළ මට්ටමින්ම තීන්දු තීරණ ගෙන ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමද සිදු කර තිබේ.
ඒ අතින් මේ ආණ්ඩුව වෙනස්ය. යහපාලන ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ලබා දී තිබියදීත් ඒ ආණ්ඩුවේ නායකයන් පමණක් නොව ඉහළම නිලධාරීන්ද ඒ ගැන දැක්වූ නොසැලකිල්ලේ තරමත් ඒ නිසා සිදුවූ ජීවිත හානියේ තරම කොමිෂන් සභා පිට කොමිෂන් සභා දැම්මත් මැන බැලීම අමාරුය. ඒ පිළිබඳ බුද්ධි තොරතුරු ලබාදුන් ඉන්දියාව ඉන්පසු ලංකාවට කිසිදු බුද්ධි තොරතුරක් ලබා නොදීමේ ස්ථාවරයක ඉන්නවාදැයි කියන්නත් බැරිය. නමුත් ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල විය හැකි ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව වහා පියවර ගෙන තිබීම ආණ්ඩුවට ‘ප්ලස්’ පොයින්ට් එකකි. ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂයේ භූමිකාවට පණ පොවන සියලු දෙනා කුමක් කීවත් ආණ්ඩුව ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙන්නේ එහිදී රජය තමන්ගේ වගකීම ඉටු කළ බවය.
අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව පිහිටුවා හරියටම මාසයක් ගෙවෙන දවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට ආණ්ඩුව ක්‍රියා කළේ තමන්ගේ වැඩ ගැන කතා කිරීමට නොවීමද විශේෂත්වයකි. මහ මැතිවරණයට සති තුනක් තිබියදී පැවැත්වූ මේ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත්ගේ අමාත්‍යවරයා කිව්වේ ආරුගම්බේ ප්‍රහාරයක් විය හැකි බවට තොරතුරු ලැබුණු සැණින් ආණ්ඩුව ක්‍රියාත්මක වූ බවයි. ඒ වන විටද හිටපු ආණ්ඩුවේ හිටපු මැති ඇමැතින් කිහිප දෙනකුම සිටියේ ආණ්ඩුව මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල කරමිනි. මාධ්‍ය සාකච්ඡාව ඒ සියලු චෝදනාවලට ප්‍රබල පිළිතුරක් විය.
ඉන්දියාවේ ගුවන් යානා බෝම්බ බියත් ලංකාවේ ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාර එල්ල වීමේ තර්ජනයත් දෙකම සිදුවූයේ එකම දින කිහිපයක් තුළදී වීම අහම්බයක් දැයි තවම කිව නොහැකිය. එහෙත් මේ දෙරටම එකී සිද්ධීන් හේතුවෙන් ලොවේ මාතෘකා අතරට එක් විය. නමුත් රටවල් දෙකේම ජයග්‍රහණය වන්නේ කිසිදු අනතුරකින් තොරව මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමෙන් පමණි. ඒ ගැන දැන්ම අනාවැකි පළ කිරීම අමාරුය.
• ශශීන්ද්‍ර