2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ආණ්ඩුවේ කඩුල්ල

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

“රට වෙනුවෙන් තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කරගත යුතුයි. අලුත් වැඩපිළිවෙළ සහ මතවාදය යථාර්ථයක් බවට පත් කරගත හැක්කේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහ යාන්ත්‍රණයක් ලැබුණොත් පමණයි.”

ජනාධිපති අනුර කුමාර මෙහෙම කිව්වේ ජාතික ජන බලවේගයෙන් මහ මැතිවණයට තරග වදින අපේක්ෂකයන් කොළඹට ගෙන්වා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී පැවැත්වූ හමුවේදීය. ඔහු තමන් අපේක්ෂා කරන පාර්ලිමේන්තු බලය ගැන උදාහරණ සමඟ කළ පැහැදිලි කිරීම මෙසේ විය. “ශක්තිමත් බලය කියන්නේ කුමක්ද? 2010 මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. නමුත් ඉන් අවුරුදු පහකට පස්සේ ඔවුන් පැරදුණා. 2020 දී ගෝඨාභය රාජපක්ෂගේ පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙකහමාරක් යන්නත් පෙර පාර්ලිමේන්තුවේ බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා. ශක්තිමත් බලය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණන පමණක් නොවේ. එය ප්‍රමාණාත්මක නියෝජනයක් වගේම සමාජය අපේක්ෂා කරන ගුණාත්මක ගති ලක්ෂණ විශාල ප්‍රමාණයකින් ඒ ශක්තිමත් බලය නියෝජනය කළ යුතුයි.”

මේ කියන බලය ලබාගන්න ජා.ජ.බට තිබෙන වාසි සහ අවාසි මොන වගේද?

බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන්නේ සීසීකඩ ගිය විපක්ෂයක් දැනට රට තුළ බිහි වී තිබීම වාසියක් බවයි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් අවසන් වීමෙන් පසුව විපක්ෂය නන්නත්තාර වීම බලපොරොත්තු විය යුත්තකි. නමුත් එහෙම කැඩී බිඳී ගිය විපක්ෂයක් තිබුණත් ජා.ජ.බ. කියන ගුණාත්මක පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමට නම් ජනතාවට වග කියන ශක්තිමත් විපක්ෂයක් තිබීමත් අවශ්‍යය. 2024 සැප්තැම්බර් 21 වැනිදා වනතුරුම විපක්ෂයේ භූමිකාව ඉටුකළ අනුර කුමාර ජනාධිපතිවරයාගේ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය මේ තත්ත්වයට හොඳම උදාහරණයකි.

විපක්ෂයේ කොපමණ කලක් සිටියත් ජවිපෙ ප්‍රමුඛ පසුව ජා.ජ.බ බවට පත්වූ දේශපාලන පෙරමුණේ මන්ත්‍රීවරුන් මොනම අවස්ථාවකදීවත් විකිණුනේ නැත. ඔවුන්ගේ කැමැත්ත බිලි බා ගැනීමට කිසිම ආණ්ඩුවකට හැකි වුණෙත් නැත. මේ නිසා මේ රටේ සාමාන්‍ය ඡන්දදායකයන්ගේ බලවත් විරෝධයට සහ පිළිකුළට හේතු වූ තමන්ගේ වාසිය වෙනුවෙන් ජනතාවගේ ඡන්දයට පයින් ගසා ආණ්ඩුවට හේත්තු වන මන්ත්‍රීලාගේ සංස්කෘතිය වෙනස් වනු ඇති බවට ජනතාවට සහතිකයක් ලැබී තිබේ. මේ සහතිකය මහ මැතිවරණයේදී ඔවුන්ගේ වාසියට බලපානු ඇත. මීළඟට ජනාධිපතිවරණයෙන් පසුව පැවති මහ මැතිවරණවලදී අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම ඒ බලය අත්තනෝමතික ලෙස යොදා ගනිමින් එය අවභාවිත කිරීමට පෙළඹුණි. නීතිය ක්‍රියාත්මක වූයේ ආණ්ඩුවේ මැති ඇමැතින්ට පහළිනි. ආණ්ඩුවට අවශ්‍ය විදියට නීතිය නැමීමට සූදානම් පොලීසියක් රටේ බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය ආණ්ඩුවේ මැති ඇමැතින් පමණක් නොව රජයේ ඉහළ නිලධාරීන්ද අන්ත දූෂිත, වංචනික ක්‍රියා සඳහා පෙළඹීමට මාර්ගය විවෘත කිරීමක් විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමටද එය උපකාරී විය. ආණ්ඩුවේ සිටීම පරම්පරා ගාණකට හරි හම්බ කර ගැනීමේ මාර්ගයක් බව වටහාගෙන එයට ලොල් වූ මන්ත්‍රීලා ආණ්ඩුවේ විවිධ වරදානවලට වහ වැටී විපක්ෂයෙන් ආණ්ඩුවට පැන ගත්හ. මෙයට එරෙහිව ඡන්දය දුන් මහජනතාව ඇතුළෙන්ම ප්‍රබල හඬක් නැගී ආවේය. අරගලය එහි කූඨප්‍රාප්තිය විය. අනුර කුමාරලා අරගලයේ නාඩිය හරි තැනින් අල්ලාගෙන ජනාධිපතිවරණය ජය ගන්නා තුරුම එහි රැඳී සිටියේය. දැන් ඔවුන් බලයට පත් කළ ජනතාවගේ අවම බලාපොරොත්තුවක් වන්නේ ඒ තත්වය එසේම පවත්වාගෙන යාමයි. ජනාධිපති අනුර කුමාරගේ නව පාලනය මේ වනතුරු පෙන්වා තිබෙන්නේ තමන් යන්නේ ජනතාවගේ එම අවශ්‍යතා සපුරණ මාර්ගය ඔස්සේ බවය. එය මහ මැතිවරණයේදී ඔවුන්ට “ප්ලස්” පොයින්ට් එකකි.

එහෙම වුණත් එය පමණක් ප්‍රමාණවත් නැත. ජනතාව බලාගෙන සිටින්නේ ආර්ථිකය සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැනයි. මේ සම්බන්ධ ඔවුන්ගේ මූලික ප්‍රතිපත්තිය දැන් පැහැදිලිය. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේ කොඳු නාරටිය වන අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් නොකරන බව ආණ්ඩුව නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබේ. එවැනි ගිවිසුමක් ඒක පාර්ශ්විකව වෙනස් කළ නොහැකි වීමත් ගිවිසුමේ අදියර දෙකක්ම පසු කරගෙන ඇවිත් තුන්වැනි අදියරට ද ළඟා වී තිබීමත් හේතුවෙන් එය ආපසු හැරීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වීම මිරිඟුවකි. නමුත් එම ගිවිසුමේ සඳහන් වන දූෂණය සහ වංචාව පිටුදැකීමට රටට පෙනෙන ආකාරයට පියවර ගැනීමත් ජා.ජ.බ රජයක් යටතේ රාජ්‍ය තන්ත්‍රය දූෂිත සහ වංචනික එකක් නොවනු ඇති බවට ජනතාව තුළ තිබෙන බලාපොරොත්තුවත් කඩ නොවන තාක් එහි වාසිය ජා.ජ.බට මහ මැතිවරණයේදී හිමිවනු ඇත. එසේම ගිවිසුම අනුව පොදු ජනතාව මත පැටවී තිබෙන බදු බර අඩුකර ගැනීමට සාකච්ඡා කිරීමට ඉඩකඩක් වෙන් කර ගැනීමට ආණ්ඩුව සමත් වීමත් වාසියකි.

කෙසේ වුවද බලයට පත් වී දින 13 ක් තුළ දී අනුර කුමාර ජනපතිගේ රජය භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර මගින් රුපියල් මිලියන 419,000 ක ණය ලබාගෙන තිබෙන බවට විපක්ෂය කරන චෝදනාව ද සැලකිය යුතුය. මාතලේ ස.ජ.බ නායක රෝහිණී කවිරත්න හිටපු මන්ත්‍රීවරිය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ එසේ ණය ලබාගත් දින වකවානු ද සඳහන් කර තිබේ. රජය මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු කිවයුතු බවත් රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම පවා සිදු කරගත නොහැකි තත්ත්වයට රජය පත්ව සිටින බවත් ඇය චෝදනා කළාය.

ආණ්ඩුව මෙයට පිළිතුරක් දී තිබුණි. මෙය ආණ්ඩුව ලබාගත් ණය ගෙවීම සඳහා පසුගිය කාලය මුළුල්ලේ මහ බැංකුව මගින් සිදු කරන ක්‍රියාවක් බවත් එය දිගටම කරගෙන යනු හැර දැනට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් නැති බවත් එහි සඳහන් විය. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන බවට මාලිමාවේ පොරොන්දුවක් නොතිබිණි. රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ විට ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා බව පමණක් ප්‍රකාශ විය.
මේ ආකාරයටම පාස්කු වාර්තා පිළිබඳ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල ද ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කර තිබේ. රෝහිණී කවිරත්න සහ ගම්මන්පිල දෙදෙනාම කරන්නේ සුපුරුදු දේශපාලන ක්‍රියාවක් බව පැහැදිලිය. විපක්ෂයේ තමන් ක්‍රියාකාරී බව පෙන්වීම එහි මූලික අරමුණ බව වටහා ගත හැක.

එසේ වුවද ජාතික ජනබලවේගය මේ රටේ ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කළේ මේ දක්වා රටේ පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තිබූ දැඩි අභිලාෂය නිසා බව ප්‍රකට කරුණකි. එපා වී තිබූ එම දේශපාලන සංස්කෘතිය යළි කිට්ටු කර ගැනීමට මෙවර මහ මැතිවරණයේදී ජනතාව ක්‍රියා කරනු ඇතැයි සිතිය නොහැක. මේ බව සීසීකඩව විසිර ගොස් ඇති විපක්ෂයේ නායකයන් තේරුම් නොගත්තොත් ඔවුන් මහ මැතිවරණයේදී විශාල කඩා වැටීමකට ලක්වනු ඇත. ඒ වගේම ජා.ජ.බ. මන්ත්‍රී ධුර අපේක්ෂකයන් ද තේරුම් ගත යුත්තේ තමන්ට සහෝදරයා කියා අමතන ජනාධිපතිවරයකු සිටීමෙන් පමණක් ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියේ වෙනස සිදු නොවන බවය. ඒ සඳහා කළ යුතු විශාල කැප කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ඔවුන්ට තිබිය යුතුය. මේ සියලු දේ ගැන ජනතාව සිටින්නේ අවදියෙනි.

• ශශීන්ද්‍ර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00