2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඊළඟට හැදෙන විපක්ෂය

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

මහ මැතිවරණයට තව ඇත්තේ හරියටම සති 05 කි. ජනාධිපතිවරණයෙන් දිනු මාලිමාව හැර අනෙක් ඔක්කොම ප්‍රධාන පක්ෂවල ලොකුම ටාගට් එක ඊළඟට හැදෙන විපක්ෂයට නායකත්වය දීම බව පැහැදිලිය. හැබැයි ඒ සමහර පක්ෂ නායකයන් තුළ අගමැති සිහිනය ද තිබෙන බව පෙනී යයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව මාලිමාවට හිමි වන්නේ ආසන 105 ක් වීම ඒ සිහිනයට හේතු වී තිබේ. ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ඉතිහාසය අනුව හරියටම ගාණ හදනවා නම් එහෙම අගමැති සිහිනයක් ජනාධිපති පත්වීමෙන් පසු කෙටි කලකින් පත්වන මහ මැතිවරණවල ප්‍රතිඵලවලින් නම් දැකගන්න බැරිය.

හරියටම බැලුවොත් මේ වෙලාවේදී රටේ බහුතර ඡන්දාදායකයන්ගේ මනස යොමු වී ඇත්තේ ඊළඟට හැදෙන විපක්ෂය මොන වගේ හැඩයක් ගනු ඇත්ද යන ගැටලුව දෙසටය. මේ තාක් කාලයක් රටේ තිබුණු එක පැලැන්තියකින් තවත් පැලැන්තියකට බලය මාරුවෙන තට්ටු මාරු ක්‍රමය අනුව නම් ඊළඟට විපක්ෂය මොන වගේ වනු ඇතිදැයි සිතා ගැනීම ලොකු අමාරුවක් වුණේ නැත. විපක්ෂ නායකයා වූයේ කලින් සිටි අගමැතිවරයකු හෝ ඔහුගේ හෝ ඇයගේ සමීප අයෙකි. ඒ තත්ත්වය වෙනස් වූ අවස්ථා දෙකකදී විපක්ෂ නායකයා උතුරේ දෙමළ ජාතික පක්ෂ නායකයෙක් විය. 1977 දී අප්පාපිල්ලේ අමීර්තලිංගම් ද 2015 දී ආර්. සම්පන්දන්ද එහෙම විපක්ෂ නායකයෝ වූහ. නමුත් මේ පාර තත්ත්වය මුළුමනින්ම කනපිට පෙරළී තිබේ. මේ නිසා ඊළඟට හැදෙන විපක්ෂයේ නායකයා කවුරු වනු ඇති දැයි සිතා ගැනීමත් අපහසුය.

තට්ටු මාරු ක්‍රමය වෙනස් වුණත් අලුත් දේශපාලන සංස්කෘතියකට මුල පුරමින් ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායකට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 42% ක් සහ ලැබුණු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 57 ක් වීම හේතුවෙන් යූ.එන්.පී. සහ සජබ දෙකම අගමැති සිහිනයට ඉව අල්ලන තත්ත්වයට පත්ව සිටී. ඒ අදහස පසුගිය තිබූ මාධ්‍ය හමුවකදී එළියට ආවේය.

“ජනාධිපතිවරණ 8 ක් පැවැත්වුණා. ඒ අටේදීම පත්වුණු ජනාධිපතිවරයා 50% කට වඩා බලය ලබා ගත්තා. මේ පාර ජනාධිපතිවරයා ලබාගත්තේ 42% යි. ලක්ෂ 56 ක් තව ජනාධිපතිට ඡන්දය ලබා දෙන විට ලක්ෂ 76 ක් අනෙකුත් පක්ෂවලට ඡන්දය දීලා තිබෙනවා. සියලු දෙනාම එකතු වෙලා මෙරට නිර්මාණය කළ යුතුයි කියලා ජනතාව එයින් පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා.”

මේ කතාව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරයි. මහ මැතිවරණයට සජබ තරග කරන්නේ ජනාධිපතිවරණයේදී සන්ධානගත වුණු සියලුම පක්ෂ සමඟ බවට වන පණිවුඩය ලබාදීමට මේ මාධ්‍ය හමුව පවත්වා තිබිණි. ඒ වනවිට යූ.එන්.පීය සමඟ එක්ව තරග කිරීමට තිබූ සූදානමක් ගැන රට පුරා ගිය කතාවට නැවතීමේ තිතක් වැටී අවසන්ය. රනිල් වික්‍රමසිංහ තරග නොකරන බවට කොතරම් පණිවුඩ එව්වත් සජිත් කියා තිබුණේ එකතු වීමක් ගැන කතා කරන්න කලින් රනිල් යූ.එන්.පී. නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි. මෙහෙම කොන්දේසි දමනවාට වඩා සාකච්ඡා කර තීන්දුවක් ගමු යැයි යූ.එන්.පීය වෙනුවෙන් කපුකම කතා කළ රුවන් සහ තලතා කිව්වත් ඒක පිළිගන්න සජිත් අකැමැති විය. දැන් පැහැදිලිවම පේන්නේ යූ.එන්.පීයේ මේ දෙකට කැඩීම අද හෙටම හරි නොයන බවය. යූ.එන්.පී නායකත්වයෙන් ඉවත් වීම රනිල්ගේ තුන් හිතකවත් නැති නිසා මේ පක්ෂ දෙකටම තරග කිරීමට සිදුවන්නේ තනි තනිවම බව දැන් ඉතාම පැහැදිලිය.

එහෙම තත්ත්වයක් තුළ මාලිමාවට එරෙහිව ලක්ෂ 76 ක් ඡන්ද අරගෙන තිබෙන විපක්ෂයක් ගැන කතා කිරීමත් පළක් නැත. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බැලුවොත් මද්දුමබණ්ඩාර කියන ලක්ෂ 76 න් ලක්ෂ 22 කටම අයිතිවාසිකම් කියන්නේ යූ.එන්.පී. එකය. මේ නිසා අගමැති සිහිනය පැත්තකට දමා ඊළඟට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට සජිත්ට හිත හදා ගැනීමට සිදුවනු ඇත. ඒ ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිලට අපූරු විග්‍රහයක් තිබේ. ඒ ගැන ඔහු මාධ්‍ය හමුවකදී පසුගියදා කීවේ මෙහෙමය.

“වත්මන් ආණ්ඩුව අතින් බරපතළ වැරැද්දක් නොවුණොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක් පමණ දිනා ගැනීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී මාලිමාවට ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් ඔවුන්ට මන්ත්‍රී ධුර 105 ක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය ලැබූ ඡන්ද ඒ අයුරින්ම ලැබෙනවා. නැතිනම් 5% ක් පමණ අඩු වෙනවා. නමුත් ප්‍රධාන විපක්ෂයේ අය පරාජයෙන් පසුව මානසිකව වැටිලා පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ නිසා පරාජිත පක්ෂයේ ඡන්ද 1989 දී 22% ක් 2010 දී 33% ක් 2015 දී 18% ක් 2020දී 42% ක් අඩුවෙලා තියෙනවා. මේ ප්‍රතිශත හදනකොට ජනාධිපතිවරණයේදී සහාය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම තරග කළ පක්ෂ ලැබූ ඡන්දත් ගලපලා හදලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් කිව යුතුයි. ඒ නිසා පරාජිත පක්ෂ දෙකේම ඡන්ද 25% බැගින් අඩුවේවි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. පරාජිත පක්ෂ දෙකේම ඡන්ද අඩුවෙන විට ජයග්‍රාහී පක්ෂයේ ඡන්ද වැඩි නොවුණත් ප්‍රතිශතය ඉහළ යනවා. ඒ නිසා බරපතළ දේශපාලන වැරැද්දක් නොකළොත් පහසුවෙන්ම මන්ත්‍රී ධුර 120 කට යන්න මාලිමාවට පුළුවන්.”

උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා තිබුණේ ජනාධිපති ධුරය ලැබූ මාලිමාවට අගමැති ධුරයත් යා යුතු බවයි. එසේ නොවුණොත් සිදුවන බල අරගලය හමුවේ රටේ ඉදිරි මග නැවතී ජනාධිපතිවරයාට රටේ පාලනය ගෙන යාමත් අසීරු වන බවද ඔහු සඳහන් කර තිබිණි.

මහ මැතිවරණයට මුහුණ දෙන විපක්ෂයේ හැම ප්‍රධාන පක්ෂයක්ම මේ යථාර්ථය තේරුම් ගත යුතුය. විවිධ සන්ධාන අටවාගෙන මහ මැතිවරණය ජය ගැනීමට පොර බදනවා වෙනුවට ඊළඟ විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට සූදානම් වීම යහපත් බව සජිත් අවබෝධ කරගත යුතුය. හිටපු විපක්ෂ නායකයාද වන සජිත් එකවරම අගමැති වීමට උත්සාහ දරනවා වෙනුවට රටේ 42% ක් දෙනා පාරම්පරික දේශපාලන මතභේදවලින් බැහැරව යමින් අලුත් වෙනසක් බලාපොරොත්තුවෙන් සිය ඡන්දය ලබා දුන්නේ ඇයිද යන්න කියවා ගැනීම වඩා වැදගත් වනු ඇති බව තේරුම් ගත යුතුය. මෙය තවත් එක් දේශපාලන බල හුවමාරුවක් නොවී විශාල අවදානමක් ගනිමින් නායකයකු පත්කර ගැනීමට ඡන්දදායකයා පෙළඹීමකි. ඔවුන් ඒ අවදානම ගත්තේ රටේ මෙතෙක් පැවැති සම්ප්‍රදායානුකූල දේශපාලනය තුළින් බලාපොරොත්තු ඉටු නොවන බවට ද අදහසක් සමාජය තුළ තදින්ම මුල් බැස ගැනීම හේතුවෙනි. මේ නිසා ජනාධිපතිවරණය පවත්වා සති 06 ක් යන විට ඒ තත්ත්වය වෙනස් වී ජනතාව යළිත් ආපසු හැරෙනු ඇතැයි සිතීමත් මුලාවකි. තමන්ම රවටා ගැනීමකි.

මාලිමාවද මෙහිදි සැලකිල්ලට ගත යුතු කාරණා ගණනාවකි. ඔවුන්ට අනුර කුමාර ජනාධිතිගේ කාර්යභාරය සිදු කරගෙන යාමට ප්‍රමාණවත් බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව සිහි තබා ගත යුතුය. මුලින්ම සැලසුම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය සඳහා ආසන 113 ක් ඉක්මවා යන බලයක් ලබා ගැනීමටය. එයට වඩා ආසන සංඛ්‍යාවක් ලබාගත හැකි නම් එය වඩාත් යහපත්ය. නමුත් තුනෙන් දෙකක බලයක් ගැන සිතිය යුතු නැත. තුනෙන් දෙකේ බලයක් තිබූ ආණ්ඩුවලට සිදුවූ දේ ගැන පසුවිපරමක් කිරීමෙන් තුනෙන් දෙකක බලය ආණ්ඩුවලට ශාපයක් වී ඇති බව වටහා ගත හැකිවනු ඇත.

1970 දී සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුවට ද තුනෙක් දෙකක බලයක් හිමිවිය. ඊළඟ මහ මැතිවරණයෙන් ඒ ආණ්ඩුව ආසන 08 ට බැසීමෙන් විපක්ෂ නායක ධුරයත් අහිමි විය. අමීර්තලිංගම් විපක්ෂ නායක වුණේ ඒ හේතුවෙනි.
ජේ.ආර්. ට හයෙන් පහක බලයක් ලැබුණු ඒ ආණ්ඩුවේ අවසානය වනවිට උතුරේත් දකුණේත් යුද්ධ දෙකක් හටගෙන තිබුණි. විධායක බලය ඇතුළු හයෙන් පහක ආණ්ඩු බලය ජේ.ආර්. ගේ ගෙදරට සීමා විය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා දිනුවේ යන්තමිනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ලැබුණේ ආසන 125 ක සරල බහුතරයකි. නමුත් කොටින් විසින් ඝාතනය වනතුරු ප්‍රේමදාස රටේ පාලනය ගෙන ගියේය. දෝෂාභියෝගය සමඟ පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් හටගත් නමුත් ප්‍රේමදාස එය පාලනය කර ගත්තේය.

චන්ද්‍රිකා ජනාධිපතිවරණය ඉහළින්ම ජයගත්තත් මහ මැතිවරණය එයට කලින් තිබූ බැවින් පාර්ලිමේන්තුවේ බලය රැකුණේ එක් වැඩි ආසනයකිනි. නමුත් ධුර කාල දෙකම චන්ද්‍රිකා රට පාලනය කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනුවේද යන්තමිනි. ලැබූ ප්‍රතිශතය 50.03% කි. වැඩි ඡන්ද ලබා තිබුණේ එක් ලක්ෂ අනූදහසක් පමණි. මහ මැතිවරණයෙන්ද ඔහුට තුනෙන් දෙකක් ලැබුණේ නැත. නමුත් යුද්ධයද ජයගෙන රටේ ආර්ථිකයත් සංවර්ධනයත් ඉහළට එසවීය. නමුත් දෙවැනි වර ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන තිබූ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලයක් ලබා ගත්තේය. එහෙම වුණත් වසර තුනක් යන විට රටේ ජනතාවට ඔහුගේ පාලනය එපා වී තිබුණි. ඊළඟ ජනාධිපතිවරණයෙන් සියලු බලය අතැතිව සිටි මහින්ද පරාජය විය.

මෛත්‍රීපාල සිරිසේන ද ජනාධිපතිවරණයෙන් මාස 08 කට පසුව තිබූ මහ මැතිවරණයෙන් ජය ගත්තත් තුනෙන් දෙකක් නොලැබුණි.

ඊළඟට ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය මාස කිහිපයකට පසුව තැබූ මහ මැතිවරණයෙන් තුනෙන් දෙකෙහි බලයක් ඇති පාර්ලිමේන්තුවක් ලබා ගත්තේය. හැබැයි අවුරුදු දෙකහමාරකදී ඔහුට ආණ්ඩුව පමණක් නොව ජනාධිපති ධුරය ද අහිමි වී රටින් පලා යාමට ද සිදුවිය.

පාර්ලිමේන්තුවේ බලය තුනෙන් දෙකක් විය යුතු බවට උදම් අනන මාලිමාවේ ආධාකරුවෝද වෙති. ඒ සියලු දෙනා ඉහත සඳහන් අතීතය සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම අවශ්‍යය. අධික බලයක් ලැබුණු විට එම බලය අතැති ආණ්ඩුවේ සාමාජිකයන්ගේ ඔලු ඉදිමෙන්නට පටන් ගනී. තමන් ආවේ කොහොමද රටේ මිනිස්සු තමන්ගේ පක්ෂයට ඡන්දය දුන්නෙ ඇයිද යන කාරණා ඔවුන්ට අමතක වෙයි. රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකිරීමද මග හැරෙයි. රට අවසානයේ ආර්ථික වශයෙන් බංකොළොත් වනවිට 53% ක ජන වරමකින් බලයට පත්වූ ජනාධිපතිවරයකු සිටි බව සහ තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබූ බව අද බොහෝ දෙනකුට අමතකය. එහෙත් මාලිමාවේ නායකයන්ට නම් ඒ බව හැමදාම මතකයේ තිබිය යුතුය.

ඒ කෙසේ වුවද රටේ දේශපාලනය තුළ රැඩිකල් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවද අවිවාදිතය. එවැනි වෙනස්කම් විශේෂයෙන් මාලිමාවම කල් තබාම ප්‍රකාශ කර ඇති පරිදි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනි බරපතළ කාරණා සාර්ථකව අවසන් කිරීමට නම් තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබීමත් අවැසිය. නමුත් එසේ තුනෙන් දෙකක බලයක් නොතිබුණත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීමට බලයට පත්වෙන මාලිමා ආණ්ඩුවේ ප්‍රමුඛත්වය ලැබිය යුතුය. ඒ තත්ත්වය හරියට බැලන්ස් කර ගැනීමට තිබෙන හැකියාව මත මාලිමා ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

එසේ නම් ඊළඟට හැදෙන විපක්ෂයේ කාර්යභාරය කුමක් විය යුතුද? ඔවුන් මුලින්ම අවබෝධ කරගත යුත්තේ අනුර කුමාර දිසානායක රටේ 42% කගේ තේරීම වනුයේ ඇයිද කියන එකය. ඒ ගැන හොයන්නේ නැතුව විපක්ෂයට රට ඇතුළේ වැඩි බලයක් තිබෙනවා කියන පදනමේ සිට මහ ඡන්දය සැලසුම් කිරීමට යාම අතුරේ යන දේශපාලන ගමනක් වනු ඇත. හේතුව ජනාධිපතිවරණයේදී මාලිමාව ලැබූ 42% ක ප්‍රතිශතය මහ මැතිවරණයේදී 50%  ඉක්මවා යාමට වැඩි අවස්ථාවක් තිබීමය. අගමැති සිහිනයේ ඉන්නවාට වඩා විපක්ෂ නායක ධුරයට ඉව ඇල්ලීමට වඩාත් සුදුසු එබැවිනි.

• ශශීන්ද්‍ර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00