2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය ජනතාව සහ බලාපොරොත්තු

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

ජනාධිපතිවරණය අවසන්ය. අනුර කුමාර දිසානායකට ඡන්දය ලබා දී ඔහු රටේ ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත් ඡන්දදායකයෝ ජනපති තමන්ට ලබාදුන් පොරොන්දු ඉටුකරන තුරු බලා සිටිති. ඡන්දය ලබා නුදුන් බහුතරය ඇඟිලි ගනිමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර වැඩ වරද්දා ගන්නා තුරුය. එය මේ රටේ දේශපාලනයේ ස්වභාවයයි.

මෙතැන් සිට ඉදිරියට රට කරගෙන යාමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ යුතු වන්නේ ඉහත සඳහන් දෙමංතලාව අතරේය. බලාපොරොත්තු ඉටුවන තුරු බලා සිටින තමන්ව අගය කළ ජනතාවත් වරද්ද ගන්නා තුරු බලා සිටින ඡන්දය ලබා නොදුන් ජනතාවත් යන දෙපිරිසම රට කරගෙන යාමේදී වැදගත් බව ඔහු මේ වනවිට අවබෝධ කරගෙන සිටී. පසුගියදා ජාතිය අමතා කළ ප්‍රකාශය තුළ ද ඒ අදහස ගැබ් වී තිබිණි. තමන් පිළිබඳ සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව තමා දන්නා බවත් තමන්ගේ ක්‍රියාවන් තුළින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට තමා බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසුවේ එම අදහසට ප්‍රතිචාරයක් වශයෙන් විය යුතුය.

මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරයා තෝරා ගනිද්දී සම්ප්‍රදායෙන් බැහැරව ගොස් මෙතෙක් කාලයක් බලයේ සිටි ප්‍රධාන දේශපාලන ධාරාවලින් ඉවත්ව අලුත් වෙනසකට මූලිකත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙයි. තේරීම වෙනස් මගක් ගනු ලැබුවත් ජනතාවගේ බලාපොරොත්තු වෙනස් වන්නේ නැත. තිබුණු ආණ්ඩුව පරාජයට පත්කර දැමීමෙන් පසුව පත්වන අලුත් ආණ්ඩුව තමන්ගේ මූලික බලාපොරොත්තු ඉටුවන ආකාරයට කටයුතු කරනු දැකීම ජනතාවගේ අභිලාෂය වෙයි. මේ නිසා පවතින ඇතැම් ගැටලුවලට කෙටි කාලීන විසඳුම් ඔවුහු බලාපොරොත්තු වෙති. ඒවා ඉටුවන ආකාරයට ඉදිරි පියවර ගැනීමේ වගකීම ඇත්තේ ජනපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවටය.

මීළඟට මහ මැතිවරණයක් කැඳවා ඇති පසුබිමක දුන් පොරොන්දු ඉටුකිරීම පහසු නැත. නමුත් එම බලාපොරොත්තු ඉටුකෙරෙන ආකාරයට ආණ්ඩුව හරි මග ගමන් කරන්නේ නම් එයට ප්‍රමාණවත් වනු ඇත. මෙරට ඡන්දදායකයන්ගේ ප්‍රබල විරෝධයට ලක්වූ අසීමිත දූෂණ සහ වංචා පිටුදැකීමත් මහජන බදු මුදල් අධික ලෙස නාස්ති කර දැමීමත් ජනතාව ඉතා ප්‍රබල අවදානමකට ඇද දැමූ බාල බෙහෙත් මගඩි වැනි ක්‍රියා යළි සිදුවීමට ඉඩ නොතැබීමත් වැනි පියවර ගැනීමට ජනාධිපතිට හැකියාව ඇත. එසේම විෂය දැනුම සහිත සැබෑ වෘත්තීයවේදීන් රාජ්‍ය අංශයේ ඉහළ තනතුරුවලට පත් කිරීමත් ජනතාවගේ විශ්වාසය වර්ධනය කිරීමට නිසැකවම හේතු වනු ඇත.

ඡන්දදායකයන්ගේ අපේක්ෂා ඉතා ඉහළ මට්ටමකට යාම රටේ ඇතිවූ විනාශකාරී ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයකි. එම අර්බුදය හේතුවෙන් ජනතාව බරපතළ පීඩනයකට හසුවූහ. 2022 අරගලය ඇතිවූයේ එම පීඩනයේ බලපෑමෙනි. මෙවර ජනාධිපතිවරණය පැවැත්වූයේ එම අරගලයට පසුව ප්‍රථම මැතිවරණය වශයෙන් වීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඉතා අදූරදර්ශී සහ දූෂිත ආකාරයට මෙහෙයවනු ලැබූ ආර්ථිකයේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන් ජනතාවට එයින් හැකි ඉක්මනින් මිදීමට ඇත්තේ ප්‍රබල අවශ්‍යතාවකි. ඔවුන්ගේ බලාපොරොත්තු කිසිසේත් අවතක්සේරු නොකළ යුතුය.

රටේ පැවති දේශපාලන වාතාවරණය ජනතාවගේ කලකිරීමට හේතු වී තිබෙන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙම ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්දදායකයන්ගෙන් ලක්ෂ 38 කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත නොකිරීම ඒ බව පැහැදිලිව පෙන්වා දී තිබේ. එම සංඛ්‍යාවෙන් ලක්ෂ 20 ක් පමණ විදේශගතව සිටියත් තවත් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය භාවිත කර නැති බව පෙනී යයි. ඡන්දය ගැන විශ්වාසය එසේ කඩතොලු වීමට ඉඩක් තැබීම භයානක ප්‍රතිඵලවලට මග පාදයි. ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේදී දක්වන කාර්යක්ෂම බව මෙහිදී ඉතාම වැදගත් වනු ඇති බව හොඳින්ම දන්නේ ජනාධිපතිවරයාම බව අපගේ විශ්වාසයයි.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00