2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

සන්ධාන ගතවෙන්නේ නෑ ඉන්නෙ ඔක්කොම හොරු

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

නායක ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි

  • දැන් මගේ අතේ ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 3000 යි
  • තොපි ඔක්කොම එපා කියලා ජනතාව මේ පාර මාලිමාවට ඡන්දය දුන්නා
  • ජනතාව මට එක ඡන්දයක් දුන්නත් මම ඒක සතුටින් බාර ගන්නවා
  • ලොකු පක්ෂ වියදම් කළ විදිහට අපිට හාල්, පාන් කියාගන්නවත් බෑ
  • මම ජාතිවාදියෙක් නොවුණු නිසා දෙමළ අයත් ඡන්දය දුන්නා
  • පක්ෂවලට ගිහින් එහෙයි සර් කිව්වා නම් මටත් වී එයිට් එකක් ගන්න තිබුණා
  • ඡන්දෙට වියදම් කරන්න රු. 500, 1000 ගාණේ ලැබුණේ මගේ දායකයන්ගෙන්

 

ඔබවහන්සේ සතුටෙන්ද ඉන්නේ... දුකෙන්ද ඉන්නේ?

භික්ෂුන් වහන්සේලා කවදත් සතුටින්නේ මහත්තයා. කවදාවත් කිසිම දේකට ඇල්මක් නෑනේ. සංතුෂ්ඨි පරමං ධනං නේ. සතුටින් අපි ඉන්න ඕනෑ. දිනුම් පැරදුම් අපි බාරගන්නවා. මම ජනාධිපතිවරණ කිහිපයකට තරග කළා. ඒ හැම මොහොතකම සතුටින් මම. මොකද ජනතා වරම මට දුන්නනේ ඒ අය. ජනතාව මට ඡන්දය දුන්නත් සතුටුයි, නොදුන්නත් සතුටුයි.

ඡන්දය කියන්නේ ගේම් එකක්නේ. ඔබවහන්සේ මොන දේ කිව්වත් බලය අහිමිවීම ගැන දුකක් ඇත්තෙම නැද්ද?

මට ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. මම බලය ඉල්ලුවේ රටට වැඩ කරන්න. භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ බොහොම බුද්ධියෙන් වැඩ කරන කෙනෙක්. ඒකයි මට බලය ලැබුණත් නැතත් සතුටින් ඉන්නේ. මම හැමදේටම එකඟයි.

දැන් බලය ලැබීම නෙවෙයිද සතුට?

දෙකම එක හා සමානයි. අපි දන්නවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයට බලය ලැබුණා. එතුමලා එතැනට එන්න මොන තරම් කැපවීම් කරන්න ඇත්ද? වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් දේවල් කළානේ. නොකළ දෙයක් නෑනේ. දැන් ඒ අයට සතුටක් තියෙනවනේ. කරපු කැපවීමට වටිනාකමක් හම්බවුණානේ.

ඔබවහන්සේ හිතන්නේ අනුර කුමාර ජනාධිපතිවරයාව මිනිස්සු තෝරා ගත්තේ ඇයි?

ඇත්තටම ගියවර 69 ලක්ෂයක් ඡන්දය දුන්නනේ. ඒ මිනිස්සුන්ට එපා වුණාම රාජපක්ෂ පරපුරම එපා කියලා තමයි ඡන්දය දුන්නේ. ජනතාව තොපි ඔක්කොම එපා කියලා හිතලා වර්තමාන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. අනික ඒක එයාගේ වාසනාව. රටේ වාසනාවට එයා දෙයක් කළොත් අපි ඒත් සතුටු වෙනවා.

ඔබවහන්සේට ලැබුණු ජනවරම ගැන සැකයක් එහෙම නැද්ද?

මම දැක්කා සමගි ජන බලවේගයේ මහ ලේකම්තුමා කිව්වා, ලැබුණු ජනවරම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම වුණොත් මටත් මගේ ඡන්දය සම්බන්ධයෙන් සැකයක් එනවා.

ඒ කියන්නේ ඔබවහන්සේගේ ඡන්ද කවුරු හරි කොල්ලකෑවා කියලද ඔය කියන්නේ?

සමගි ජන බලවේගයේ මහ ලේකම්තුමා මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා, ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන්. ඒ වෙලාවේ මටත් හිතුණා, අපේ ඡන්දවලටත් මොනවා වෙලාද දන්නේ නෑ කියලා. ඒත් මැතිවරණ කොමිසම දිහා බලපුවම එහෙම හිතෙන්නෙත් නෑ. ඒත් ඉතින් පළාත් වශයෙන් මොනවා වෙලාද දන්නේ නෑනේ.

සැකයක් හැදෙන්න ඉවක් දැනෙන්න ඕනෑ?

එහෙම ඉවක් දැනුණේ නෑ. අර කිව්ව දේවල් එක්ක මම අධ්‍යයනය කරන්න වුණා, ඇයි මෙහෙම කියන්නේ කියලා. මෙහෙම වුණාද කියලා හිතුණා. ඒත් දැන් ජනතාව වරමක් දීලා තියෙනවනේ. ඒ නිසා අපි ඒකට හදිසි වෙන්න ඕන නෑ.

ඔබවහන්සේ ගියවර ඡන්ද එකළොස් දහස් ගණනක් අරන් තියෙනවා. ඒත් මේ පාර ඒක හ‍යදහස් ගාණකට බැහැලා?

මේකනේ මහත්තයා.. මේ පාර ඡන්ද දාලා නෑ ගොඩක්. ලක්ෂ 35ක් ඡන්ද පාවිච්චි කරලා නෑ. ඒ නිසා අපි ඔය හයදහස් ගාණ ගැනම හිතන්න හොඳ නෑ. අර ඡන්ද දාපු නැති එක ගැනත් අපි හිතන්න ඕනෑ. මට ඡන්දය දාන්න ගිය කෙනෙක් ආවා. එයා පස් පාරක් ගිහින්  දාන්න. අයි.ඩී. එක නැති නිසා දාන්න වෙලා නෑ. ඔන්න මගේ ඩස්බින් එකට ඉරලා දැම්මා.

ඒ කියන්නේ හයදහස් ගාණට වඩා වැඩිද?

දැන් පේනවනේ මේ වෙලා තියෙන දේවල්. කොහොම වුණත් ජනතාව මට දෙන්නේ එක ඡන්දය ද, මම ඒක සතුටෙන් බාර ගන්නවා.

මම දැක්කනේ ඔබවහන්සේ හතර දිග්බාගෙම ගියා. ඒ ගිය ගමනත් එක්ක කීයක් විතර ඡන්ද ලැබෙන්න ඕනෙද?

සමහර විට ලක්ෂයක් දෙකක්වත් ලැබෙන්න ඕනෑ. මම ඒ අය දුන්න විදිහ දන්නේ නෑ. හැබැයි මම හිතුවා කොයි හැටි වෙතත් ජනතාව වරමක් දෙයි කියලා.

ඒ කියන්නේ ජනාධිපති කරයි කියලා හිතන් හිටියද?

එහෙම කරයි කියලා නම් හිතන් හිටියේ නෑ. මොකද, මහ විශාල පක්ෂ ඉදිරිපත් වුණානේ. අම්මෝ මහත්තයා... විශාල ධනස්කන්දයක් වියදම් කළානේ ඒ පක්ෂ. අපිට හාල් පාන් කියාගන්න බැරුව හිටියේ. ඔය පක්ෂ මහා ධන කන්දරාවක්, හය දෙනකුට එක බෝතලයක්, තව සල්ලිත් දෙන්න ඇතිනේ.

හාමුදුරුවෝ බොන්න දුන්නේ නැද්ද කාටවත්?

අපෝ තහනම් වචනේ.

සාමාන්‍යයෙන් ඡන්ද කරද්දි බොන්න දෙනවනේ?

ඕනෑ කෙනෙක් දීගත්තදෙන්. අපි ජන සෙතනේ.

ජන සෙත තමා. ඒත් බොන්න දෙන එක දේශපාලනයේ හැටිනේ?

අපෝ නෑ. ඔය ඕනෑ කෙනකුගෙන් අහන්න. සමහර වෙලාට සමහර උන් ගිහිල්ලත් තියෙනවා, හාමුදුරුවෝ අඩියක් ගහන්නවත් දෙන්නේ නෑ බං කියලා.

මේ හයදහස් ගාණක ඡන්ද කවුරු දුන්නා කියලද හිතන්නේ?

බොහොම සත් ගුණවත් සත් පුරුෂයෝ. මේ අපේ හාමුදුරුවෝ කියන හැඟීමෙන් දුන්නේ. අනික මට දමිළ ඡන්දත් ලැබුණනේ.

එච්චර ජාතිවාදය ගැන කතා කරලත් දෙමළ ඡන්ද හම්බවුණාද?

අන්න හොඳ ප්‍රශ්නයක්. මහත්තයා.. මම ජාතිවාදය කතා කළේ නෑ. රෝහින්යා සරණගතයෝ මේ රටට ආවනේ. මෙහේ මරක්කලයන්ටත් ඉන්න දෙන්නේ නෑ. ශරියා නීතිය ගේන්න යනවා. ඒකටයි මම විරුද්ධ.

දැන් ඔබවහන්සේ ඔහොම කතා කළාට ශරියා නීතිය ගැන බොදුබල සේනා වගේ කණ්ඩායම් කතා කරද්දී ඔබවහන්සේ කොහෙද හිටියේ?

මට පැත්තක් නෑ. මම කතා කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්. සිංහල බෞද්ධයා කියන නාමය සම්පූර්ණයෙන් නැතිවේගෙන යන්නේ. සිංහල මිනිහා රැකගන්න හරි විදිහට භික්ෂුන් වහන්සේ නමක්වත් මැදිහත් වෙන්නේ නෑ. මම ශ්‍රී ලාංකික මරක්කල මිනිහට විරුද්ධ නෑ. ඒ අපේ ශ්‍රී ලාංකිකයො. පිටින් ආපු විදේශ මරක්කලයො පැටව් ගහලා මෙහේ. ඒ ගැන හොයලා බලන්න.

2019 ඡන්දය ඉල්ලද්දි ඕවා කිව්වේ නෑනේ?

මම මෑත භාගයේ පරීක්ෂණයක් කළා. එකෙන් ඔප්පු වුණේ.

ඇත්තම කියන්න... මේ දේශපාලනය කරන්න කෑල්ලක් නේද අල්ල ගත්තේ?

අනේ නෑ. මම රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. බෞද්ධ රටවල් අද මුස්ලිම් වෙලානේ.

ඔබවහන්සේ ඕවා කතා කළේ නෑනේ ඒ කාලේ?

කතා කරන්න බෑනේ මහත්තයෝ. ඩීල්වලට යනවනේ.

ඒ කියන්නේ?

වී එයිට් හම්බවෙනවා. මස් කෑලි හම්බවෙනවා. මොන මොනවා හරි හම්බවුණාම කෑ ගහනවා.

එහෙම කියන්නේ එහෙම අත්දැකීම් තියෙනවද?

අනේ මට නම් එහෙම හම්බවෙලා නෑ. මටත් සමහර අය කියන ඒවා කියන්නේ.

ඔබවහන්සේට වී එයිට් එකක් නැද්ද?

අනේ නෑ. මට ඒවා නෑ.

දැනගත්තොත් අහුවෙනවනේ, සල්ලි මෙච්චර තියෙනවා කියලා නේද?

මතක තියාගන්න මහත්තයෝ, මම පක්ෂවලට ගිහිල්ලා එහෙයි සර් කිව්වා නම් වී එයිට් විතරක් නෙවෙයි ඕනෑ දෙයක් ගන්න තිබුණා.

හාමුදුරුවන්ටයි පක්ෂයටයි ආපු වැඩිම මිල කීයද?

නාමයෝජනා දෙන්න ඉස්සෙල්ලා දවසේ එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා, දෙකක් දෙන්නම් පක්ෂය දෙන්න කියලා. මම බෑ කිව්වා.

මේ පාර ඡන්දයට කීයක් වියදම් කළාද?

මට එච්චර වියදම් ගියේ නෑ.

මට හරියට කියන්න?

ඒක මම මැතිවරණ කොමිසමට දෙන්නම්.

මට හරියට ගාණ කියන්නකෝ?

එහෙම කියන්න බෑ.

මම කියනවා ලක්ෂ 50 ක් වගේ වියදම් කළා?

50 ක්. අපෝ නෑ. 50 ක් තිබුණා නම් ස්ටේජ් කීයක් ගහලද මම.

ඡන්දදායකයෝ කීයක් එහෙම දුන්නද?

මගේ දායකාරකාදීන් 3000ක් විතර ඉන්නවා. ගොඩක් අය දුප්පත්. ඒ අය 500, 1000 එකතු කරලා දුන්නා.

ඇයි මේ පන්සලේ දේශපාලනය කරන්නේ?

මම කවදාවත් පන්සලේ දේශපාලනය කරලා නෑ මහත්තයෝ. පන්සලෙන් බැහැරව කරන්නේ.

බත්තරමුල්ලේ ලොකු පන්සලක් තියෙනවද?

නෑ. ඒ පක්ෂ කාර්යාලය. මට කතරගම තියෙනවා, කාවන්තිස්සපුර තියෙනවා. ධම්මවිජය විහාරස්ථාන විහාරාධිපති. වාරණ රජමහා විහාරයේ විහාරවාසී. නායක හාමුදුරුවන්ගෙන් පස්සේ මට පවරලා තියෙන්නේ. අනුරාධපුරයේ ඉඩමක් ලැබිලා තියෙනවා, විහාරයක් හදන්න. නුවරත් ඉඩමක් තියෙනවා.

ඔබවහන්සේ මල්වතු පාර්ශ්වයද නියෝජනය කරන්නේ?

ඔව් මහත්තයා.

සාසනයටත් වැඩ කරනවා නේද?

ඔව්. මම තමයි ලෝකයේ ලොකුම මුචලින්ද නාග දරණ බුද්ධ රූපය හැදුවේ.

ඕවා කියන්නේ නෑනේ. කියන්නේ දේශපාලනයනේ?

කියන්න අහන්න එපැයි මහත්තයෝ.

බත්තරමුල්ලේ සීලරතන කියන්නේ, ඔබවහන්සේගේ ගම බත්තරමුල්ලද?

මම උපන්නේ බදුල්ලේ. තාත්තගේ ගම බත්තරමුල්ල. ඒ නිසා වැඩිපුරම හැදුණේ බත්තරමුල්ලේ.

ඔබවහන්සේ මහණ වුණේ කොයි කාලෙද?

1986 නොවැම්බර් 15 දා.

මල්වතු පාර්ශ්වයේ තනතුරක් තියෙනවද?

අනේ තනතුරක් ඕනෙ නෑ. මේ දේශපාලන පක්ෂ නායකත්වය තියෙනවනේ. ඒක ඇති.

දැන් දේශපාලනය කරන්න කවුද දේශපාලනය කියා දුන්නේ?

ඇත්තටම මගේ තාත්තා හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒත් ඒක නෙවෙයි බලපෑවේ. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා දවසක් එන්න කියලා උත්සවයක් ඉවරවෙලා මට කිව්වා, පොඩි හාමුදුරුවෝ ඉදිරියට යන්න කියලා. රට ගැන හිතන්න කියලා. මමත් එක්ක තව හතර නමක් ගියා. මට එතුමා කිව්වා දේශපාලනයට එන්න කියලා. ලස්සනට ඇතුලත්මුදලි මහත්තයා අපිට තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ අපි දේශපාලනය පටන් ගත්තා. පොඩ්ඩක් උදව් කළා. ඊට පස්සේ අයින් වුණා.

පක්ෂයක් හදා ගත්තේ මොකද?

මම සිහල උරුමයට ගියා. ඒ ගියාම මට කොළඹ දිස්ත්‍රික් සංවිධායකකම දුන්නා, තිලක් කරුණාරත්න මහත්තයා. කොහොම හරි මම තායිලන්තයේ යද්දී මට කෝල් එකක් දුන්නා පාඨලී චම්පික මහත්තයා. දීලා ඇහුවා, මගෙන් නාහා ඇයි පත්තරවලට ඉන්ටවිව් දුන්නේ කියලා. මම කිව්වා ඔබතුමා නායකයා නෙවෙයිනේ කියලා. මම කිව්වා, තිලක් කරුණාරත්න මහත්තයා කියලා දුන්නේ කියලා. වෛරයෙන් වගේ කටයුතු කළා. මට වැඩ කරන්න දුන්නේ නෑ. මාවරල්ලේ භද්දිය හාමුදුරුවෝ එහෙම ආවා මෙහේ. මෙහේ තමා ඔක්කොම කතා කළේ. ඊට පස්සේ සිහල උරුමය හක් ගෙඩිය වුණා. මට කොළඹින් ඉල්ලන්න කිව්වා. ඒත් මම ගියාම අවස්ථාව නෑ. අන්තිමේ මම වාර්තා අරගෙන කියවලා කියවලා පක්ෂය හදන්න තීරණය කළා. ඊට පස්සේ තමා මේ පක්ෂය හැදුවේ.

කවදද ජන සෙත පෙරමුණ පිහිටෙව්වේ?

2009 ජූනි 22

ඇයි මේ ජනාධිපතිවරණය විතරක් ඉල්ලන්නේ. මහ මැතිවරණයට යන්නේ නැත්තේ?

මේ පාර ඉල්ලනවා.

ඇයි මේ පාර ඉල්ලන්නේ?

දැන් ජනප්‍රියයිනේ මහත්තයා.

ඔව් ඔව් ජනප්‍රියයි. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනාධිපති වූ පසුව කියලා ගෲප් එකක් තියෙනවා දැකලා තියෙනවද?

ඔව් ඔව් දැක්කා. යූ ටියුබ් කළ සියලු දෙනාට මගේ හද පිරි ගෞරවය. කිසිම ලාභයක් නැතුව මට ඒ දේවල් කළේ.

රටවල් කීයකට ගිහින් තියෙනවද?

78 කට ගිහින් තියෙනවා.

එච්චර යන්න හේතුව?

ආරාධනා තියෙනවනේ මහත්තයා.

බණ කියන්නද?

නැත්නම් වෙන මොකටද... පොල් ගාන්නයැ ඔහේ යන්නේ?

කිව්ව බණක් අපි දැකලා නෑනේ?

බණක් කියන්න ආසා නම් ඔබතුමා ආරාධනා කරන්න.

කීයක් ගන්නවද බණකට?

භික්ෂුන් වහන්සේ නමක් ගාණක් නියම කරනවද බණක් කියන්න. මම නිකම් මහත්තයා බණ කියන්නේ. මම දෙන පිරිකරත් දීලා එන්නේ.

රටකට ගියාම කීයක් හම්බවෙනවද ආධාර හැටියට බණ කිව්වම?

යුරෝ 3000-4500ක් වගේ එක ගමනකින් ලැබෙනවා. UK ගියොත් පවුම් 2500-3000 ක් ලැබෙනවා.

කෝ ඒ සල්ලි?

මේ බිල්ඩින්, පන්සල් හදලා ඉවරයි මහත්තයෝ.

දැන් අතේ කීයක් තියෙනවද?

රුපියල් 3000 යි මේ ටිකේ තියෙන්නේ.

මහ මැතිවරණයට ඉල්ලනකොට කෝ සල්ලි?

ඒ ඉල්ලන්න අය එනවනේ. ඒ අයට බරපැන දරන්න කියනවා.

ඒ කියන්නේ මේ පාර ජන සෙත පෙරමුණේ අගමැති අපේක්ෂකයා ඔබවහන්සේ?

කියන්න බෑ ජනතා වරම දුන්නොත්. අනික එහෙම තමා පෝස්‍ටරය ගහන්නේ.

කොහෙන්ද ඉල්ලන්නේ?

තවම හිතලම නෑ. ලංකාවේ කොහේ වුණත් මට පුළුවන්.

ඒ කියන්නේ ජාතික ලැයිස්තුවෙන්ද යන්න හදන්නේ?

මට ආවොත් මම යනවා මහත්තයා.

මරාගන්න වෙයි?

එහෙම නෑ මහත්තයා. මමනෙ මේකේ ලේකම්.

සන්ධානගත වෙලා දේශපාලනය කරන්න ආසා නැද්ද?

කවුද මහත්තයා ඉන්නේ. ඔක්කොම හොරුනේ.

• ගයාන් ගාල්ලගේ