2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

21 ට පස්සේ

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

ලංකාවෙ ජනාධිපතිවරණය ගැන ආසියාවෙ බොහොමයක් රටවල් දක්වන්නේ දැඩි උනන්දුවකි. යුද්ධය තිබුණු කාලයේ යුරෝපීය රටවල් ද ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් ද ලංකාවේ බල හුවමාරුව දෙස ඇහැ ගසාගෙන සිටියේ ඔවුන් තුළ ද විවිධ දේශපාලන න්‍යායන් සතු වූ බැවිනි. හැබැයි යුද්ධය අවසන් වීමෙන් පසුව යුරෝපයේ ඒ උනන්දුව පිරිහී ගියේය. නමුත් ඇමෙරිකාව නම් තවමත් ලංකාවේ ජාතික මැතිවරණ ගැන විමසිල්ලෙන් සිටියි.

එහෙත් මේ රටවල් හැම එකටම වඩා ඉන්දියාව ලංකාවේ මැතිවරණ සම්බන්ධයෙන් ඉතාම සංවේදීය. ඒ වගේම චීනයත් සංවේදීය. මතුපිටින් බැලූ බැල්මට කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින භූ දේශපාලනයේ එක් ස්වරූපයක් එයින් පෙන්නුම් කරන බව කිව හැකිය. විශේෂයෙන් මුහුදු මාර්ග හරහා ඉන්දියාවත් චීනයත් එකිනෙකට පරස්පර ලෙස ගිවිසුම් ඇතිකර ගන්නා බවද පෙනී යයි. ජපානයත් ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වෙන බවද සත්‍යයකි. ඔවුන්ගේ උනන්දුව දැඩි ලෙස බැඳී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පවතින ජාත්‍යන්තර වෙළෙඳාම් කෙරෙහි බවද පෙනී යයි.

එසේ වුවද ලංකාව භූමිය අතින් ඉතා කුඩා රටක් වුවද භූ දේශපාලනයේදී ලංකාවේ පිහිටීම ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් වීම මේ තත්ත්වයට හේතු වී තිබෙන බව පැහැදිලිය. මේ නිසා ලංකාවේ පාලනය භාරගන්නා නායකයා සහ ආණ්ඩුව අනුගමනය කරන විදෙස් ප්‍රතිපත්තිය කෙරේ ඉන්දියාව දැඩිව විමසිලිමත් වීම ගැන පුදුම විය යුතු නැත.

මෙවර ජනාධිපතිවරණය ජයගෙන ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන නායකයා තුළ මේ ජාත්‍යන්තරයේ භූ දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය. මෙරට ජනාධිපතිවරණය ගැන ඉන්දියාවේ දේශපාලන විශ්ලේෂකයන් කිහිප දෙනකුම පසුගිය සති දෙක තුළ පළ කර තිබූ මත වලින් ද ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්තිය ඈඳාගෙන තිබූ බවද පෙනිණි. චීනයට නැඹුරුව කටයුතු කළ නායකයකු වුවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දියාව සමීප සබඳතා පැවැත්වීමට දිගටම කටයුතු කළ බව එක් විශ්ලේෂකයකු පෙන්වා දී තිබිණි. එසේ වුවද ඒ කාලයේත් වර්තමානයේත් ජාත්‍යන්තර දේශපාලනය ද වෙනස්ව ගොස් තිබේ. 2014 න් පසුව ඉන්දියාවේ නායකත්වය කොංග්‍රස් පක්ෂයෙන් භාරතීය ජනතා පක්ෂයට මාරු වූ අතර එහි නායක නරේන්ද්‍ර මෝදි ඉදිරි වසර 05 ක කාලය සඳහා ද පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයේදී තෝරාගනු ලැබීය. ඒ අනුව මීළඟට පත්වෙන ලංකාවේ 09 ජනාධිපතිවරයාටද තම ධුර කාලය තුළදී ඉන්දියාව බැලන්ස් කරගත යුතු වන්නේ මෝදි හරහාය. එක් විචාරකයකු පෙන්වා දී තිබුණේ ඉන්දියාවේ කැමැත්ත හිමිවෙන අපේක්ෂකයා ජය ගත්තොත් ඔහු සමඟ කටයුතු කිරීමට ඉන්දියාවට පහසු වනු ඇති බවකි. එසේ නොවුණොත් පත්වෙන ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳ ටික කාලයක් ඉවසිල්ලෙන් බලා සිටීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.

ලංකාව තවමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැති බව යථාර්ථයයි. මේ නිසා විදේශ ප්‍රතිපත්තිය පමණක් නොව ආර්ථික අර්බුදයට ප්‍රායෝගිකව විසඳුම් සෙවීමද අභිනව ජනාධිපතිවරයාට පැවරී තිබෙන බරපතළ වගකීමකි. කියන තරමට වැඩේ පහසු නැති බව බොහෝ නායකයන්ට අවබෝධ වන්නේ බලය ලබාගෙන රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමේදීය. ජාත්‍යන්තරය බැලන්ස් කරගැනීමට අසීරු වුණොත් දේශීය මට්ටමේ අර්බුද තවත් උග්‍රවීමට එයට හේතු විය හැකිය.

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට දැනට ලංකාවට තිබෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ගය වශයෙන් දැක්වෙන්නේ අයි.එම්.එෆ්. සමඟ පවතින ගිවිසුම ක්‍රියාත්මක කරගෙන යාම බව බැලූ බැල්මට පෙනෙයි. එය අත හරිනවා නම් ඊට සුදුසු විකල්ප විසඳුමක් තිබිය යුතුය. ජනාධිපති අපේක්ෂකයන් අතුරින් අයි.එම්.එෆ්. ගිවිසුම සමඟ ඉදිරියට යා යුතු බව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම ප්‍රකාශ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක සහ පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡා කරන බවය. කවුරු දිනුවත් ඒ අනුව පෙනෙන්නේ අයි.එම්.එෆ්. සමඟ ඉදිරියට යන ගමනකින් හැර ආර්ථික අර්බුදයට වෙනත් විසඳුමක් නැති බවය. නව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට පියවර ගැනීම අවශ්‍ය බව මේ තත්වයෙන් පැහැදිලි වෙයි.

ගෙවී ගිය සති කිහිපය තුළදී මෙම ජනාධිපතිවරණය ජය ගතහොත් ජනතාවට ලබා දෙන සහන සහ රට සංවර්ධනය කිරීමට යොදාගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ලොරි ගාණට පොරොන්දු ලබා දීමට ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනාම ක්‍රියා කළහ. මේ පොරොන්දු බොහොමයක් මහ පොළොවේ යථාර්ථය සමඟ ගැලපෙන්නේ නැත. එසේ ගැලපීමට නම් මේ ලබා දෙන පොරොන්දු ඉටුකිරීමට මුදල් සොයා ගන්නා ආකාරය ද ඔවුන් පෙන්වා දිය යුතුව තිබිණි. නමුත් එහෙම වුණේ නැත. හිස් ශේෂ පත්‍රයක් සමඟ ඉන්න රටක ආර්ථිකයක වර්ධනයක් ඇතිවන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමෙන් හැර රටට මුදල් උත්පාදනය කිරීමක් ගැන හිතන්නත් බැරිය. මේ නිසා අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දීමෙන් පසුව ජාතිය අමතා සිදු කරන ප්‍රකාශය මෙවර ඉතාම තීරණාත්මක වනු ඇත. මෙරට විධායක ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු නව ජනාධිපතිවරයකු අරගලයකින් පසුව සහ හිටපු ජනාධිපතිවරයකු මහජන නැගිටීමකින් එළවා දැමුණු අවස්ථාවකට පසුව බලයට පත් වී නැත. ඒ අර්ථයෙන් මෙවර ජනාධිපතිවරයාට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනු ඇත. ජනතාව තුළ අරගලයකින් පසුව ඇතිව තිබෙන සමස්ත දේශපාලනය කෙරෙහි කලකිරීම දුරුවෙන ආකාරයෙන් කටයුතු කර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි. ජනාධිපතිවරණයෙන් පසුව පත්වෙන ජනාධිපතිවරයා කවරකු වුවද ඔහුගේ පක්ෂයට හෝ සන්ධානයට ඉතා කෙටි කාලයක් තුළදී මහ මැතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. නව ජනාධිපතිවරයාගේ ප්‍රථම ප්‍රකාශයට ජනතාව දක්වන ප්‍රතිචාරය එම මහා මැතිවරණයේදී පෙන්නුම් කෙරෙන බව අවිවාදිතය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක කිසිවක් සිදු කිරීමෙන් වැළකීම ද අවශ්‍යය. බොහෝමයක් ජනාධිපතිවරුන් රටේ ජනතාවට එපා කරවන්නේ ඔහුගේ වටේ සිටින සමීපතම දේශපාලන සගයන්ගේත් ගජ මිතුරන්ගේත් ක්‍රියා කලාපය මගිනි. මුල සිටම එහි පාලනයක් තබා ගැනීම ද නව ජනාධිපතිගේ තවත් වගකීමක් වන්නේ එබැවිනි. ජනාධිපතිගේ බලතල අතට ගෙන කටයුතු කිරීමට කවුරුන් හෝ ක්‍රියා කරන්නේ නම් මුලින්ම එයට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වනු ඇත.

මේ රටේ විධායක ජනාධිපතිවරයකු වශයෙන් මහජන ඡන්දයෙන් තෝරාගනු ලැබූ ප්‍රථමයා වන්නේ ජේ.ආර්. ය. ඔහු තම පළමු ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ ජනාධිපතිවරණයකින් පසුව නොවේ. 77 දී ලැබූ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය උපයෝගී කරගනිමින් රටේ එතෙක් තිබූ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා සම්මත කර ගත්තේය. එය ජේ.ආර්. ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් විය. ඔහු එය සම්මත කරගෙන රටේ එවකට අග්‍රවිනිශ්චයකාර ධුරය දැරූ නෙවිල් සමරකෝන් මහතා ඉදිරියේ දිව්රුම් දී රටේ ප්‍රථම විධායක ජනාධිපති වශයෙන් ඉතිහාස ගත විය.

එම විධායක ජනාධිපති ක්‍රමයේ තිබූ අසීමිත බලතලවල රස්නය වැදුණේ ජේ.ආර්. ගේ වටේ සිටි අනුගාමිකයන්ටය. ඔවුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ දුන් ජේ.ආර්. තේරුම් නොගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොතේ මොන නීති තිබුණත් රටේ ජනතාව තලා පෙලා මර්දනය කිරීමට ගියොත් එම නීතිවලින් වැඩක් නොමැති වන බවය. ආණ්ඩුව නීතිගරුකව ක්‍රියා නොකරන්නේ නම් ජනතාව නීතිය අතට ගන්නා බව ජේ.ආර්. ට වැටහෙන විට ඔහුගේ විධායක ජනාධිපති බලතල වෝඩ් පෙදෙසට පමණක් කොටු වී තිබිණි. මෙරට පළමු ජනාධිපතිවරණයෙන් (1982) ජයගෙන රටේ දෙවැනි විධායක ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් ජේ.ආර්. බලයෙන් මත් වූයේ ද ඔහුගේ වටේ සිටි අනුගාමිකයන්ගේ බලපෑමෙනි. එහි ප්‍රතිඵලය වූයේ රටේ පාලන බලය ඔහු අතින් ගිලිහී යාමයි. මේ හේතුවෙන් රටේ දෙවැනි ජනාධිපතිවරණය (1988 දෙසැම්බර්) පවත්වන්නට සිදුවුණේ රට ඇතුළේ යුද්ධ දෙකක් ඇවිළෙමින් තිබූ තත්ත්වයක් යටතේය.

එදා ජේ.ආර්. ගෙන ආ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වන විට සංශෝධන 21 ක් එකතු කරනු ලැබ තිබේ. 13 වැනි සංශෝධන හැරුණුවිට සෙසු සියලු සංශෝධන සිදු කෙරුණේ මෙරට ජනතාව සහ සිවිල් සංවිධාන විසින් වරින් වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා සිදුකෙරුණු බලපෑම් හේතුවනි. එම ඇතැම් සංශෝධන හරහා රටේ ව්‍යවස්ථාවට කිසියම් නම්‍යශීලී බවක් ඇතිවිය. එහිදී 18 වැනි සංශෝධනය අත්හැරිය යුතුය. එයින් යෝජනා කෙරුණේ තිබෙන විධායක බලතල තවත් වැඩි කර ගැනීමකි. 19 වැනි සංශෝධනයෙන් එය නිවරැදි කරගනු ලැබීය.

13 වැනි සංශෝධනය ඉන්දියාවේ බලපෑමෙන් සිදුවීම හේතුවෙන් ඒ සමඟ ගනුදෙනු කිරීමේදී අභිනව ජනාධිපතිවරයාට කටයුතු කිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවබෝධයකිනි. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට වඩා වැදගත් වන්නේ පවතින තත්වය පිළිබඳ යථාවබෝධව කටයුතු කිරීමයි. මෙය තවත් උදාහරණයක් ද සමඟ පැහැදිලි කරගත හැකිය.

යුද්ධය ජයගෙන ඊළඟ ජනාධිපතිවරණයෙන් (2010) මහින්ද රාජපක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය. ඉන්පසුව ඔහු වටේ සිටි දැඩි මතධාරී දේශපාලනඥයන් පිරිසකගේ බලපෑම්වලට කොටු විය. මහින්ද ඒ වන විට ඇති කරගෙන තිබූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව සහ යුද්ධය ජය ගැනීම හේතුවෙන් සිදුවිය හැකිව තිබූ ජාත්‍යන්තර බලපෑම්වල අහිතකර ප්‍රතිඵල ගැන ද කිසිදු හැදෑරීමකින් තොරව වටේ සිටි පිරිස මහින්දව තල්ලු කළේ ජාත්‍යන්තරයට අභියෝග කරන තැනකටය. ඒ කාලේ කතාව තිබුණේ මහින්දගේ ඇතැම් සමීප උපදේශකයන් ජාත්‍යන්තරය බැලැන්ස් කරගැනීම සම්බන්ධයෙන් ලබා දී වටිනා තිබූ උපදෙස්වලට පටහැණිව යමින් එකී දේශපාලනඥයන් සහ ඇතැම් දැඩි මතධාරී භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් පිළිපදින්නට ගොස් අන්තිමේදී මහින්ද අමාරුවේ වැටුණු බවය. මේ වැටීම කොතරම් දරුණු වීදැයි කිව්වොත් වසර තුනක් යන විට රටේ ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිවිය. රටේ අපනයනයේ ප්‍රධානම කොටස්කරුවන් වූ ඇමෙරිකාවත් යුරෝපයත් අමනාප කරගත් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර තහංචි පැනවෙන තරමට වැඩේ දිග් ගැසුණේය. යුද්ධය ජය ගැනීමෙන් පසුව වසර 04 ක් යන විට මහින්ද දේශපාලන වශයෙන් පිරිහුණු අතර අන්තිමට ජනාධිපතිවරණයෙන්ද පරාජයට පත් විය.

මේ සියල්ල අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට අභියෝග බවට පත්වෙන බව පැහැදිලිය. දැන් සිවිල් යුද්ධයක් නැත. එහෙත් ආර්ථික යුද්ධයක් ඇත. ඒ යුද්ධය ජය ගැනීමටත් ඉතාම නිවැරදි උපාය මාර්ගික සැලැස්මක් අභිනව ජනාධිපති සතු විය යුතුය. මේ රටේ මහ පොළොවේ දේශපාලනය හොඳින්ම දැනෙන්න නම් විධායක ජනාධිපති පුටුවේ වාඩි විය යුතුය. එසේ වාඩි වෙද්දී රටේ ජනතාව අවසන් විනිශ්චයකරුවා බව සෑම කල්හිම සිහි තබා ගැනීම අවශ්‍යය.

• ශෂීන්ද්‍ර

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00