2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

කවුරු දිනුවත් අලුත් ගමනක ආරම්භයක්

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

ජනාධිපතිවරණය අවසානයත් සමඟ සංක්‍රාන්ති සමයක ආරම්භය සිදුවෙයි. බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නා කවුරුන් වුවද ඔහුට සිදුවන්නේ ඉතාම දුෂ්කර පාලන කාලයකට ආරම්භය ලබා දීමටය. අනෙක් සියලු ප්‍රශ්න පැත්තකින් තැබුවත් ආර්ථිකය සමඟ ගැටගැසී තිබෙන ගැටලු ලිහා ගැනීමට දිය යුතු ප්‍රමුඛත්වය පැත්තකින් තැබිය නොහැක. එය බරපතළ අභියෝගයකි. සංක්‍රාන්ති සමය තුළ ඒ සඳහා ප්‍රථම පියවර කිහිපය ගත යුතු වෙයි.

ප්‍රතිපත්ති ප්‍රකාශ කොතරම් දීර්ඝ වුණත් රටේ ජනතාව ඒ සියලු අදහස් ක්‍රියාවේ යොදවනු ලැබීමක් බලාපොරොත්තු වන්නේ නැත. නමුත් තමන් මුහුණ දී සිටින බරපතළ ගැටලුවලට යන්තමින් හෝ සහනයක් ලැබෙන පියවර අලුත් ජනාධිපතිවරයා ගනු ඇතැයි යන බලාපොරොත්තු ඔවුන් තුළ පවතී. විශේෂයෙන් තමන්ව තලා පෙළා දමන ජීවන වියදම් ගැටලුවට ඔවුන්ට ඉක්මන් සහන අවශ්‍යය. උගත් තරුණ තරුණියන්ට පන්දම් ඇල්ලීම්වලින් තොරව සුදුසු රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. ආර්ථිකයේ පවතින දුර්වලතා හේතුවෙන් ඇතිවී තිබෙන රැකියාවල අවිනිශ්චිත බව දුරලීම ද අවශ්‍යය. එසේම නිතර දෙවේලේ අසන්නට ලැබෙන රටේ ජනතාවගේ බරපතළ චෝදනා එල්ලවන දේශපාලකයන් සහ ඔවුන්ගේ ගජ මිතුරන් විසින් නොකඩවා ගෙන යන ජාතික ධනය කොල්ලකෑමේ වැඩපිළිවෙළට තිතක් තැබීම ද තවත් බලාපොරොත්තුවකි.

මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් සිවුදෙනාගේම ඡන්ද රැලිවලට විශාල ජනකායක් සහභාගි වූ බවද පෙනෙන්නට තිබිණි. ජාතික මැතිවරණයකදී රටේ ඡන්දදායකයන්ගේ එවැනි සක්‍රීය හැසිරීමක් දකින්නට ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය පිළිබිඹු කිරීමකි. එම විශ්වාසය කඩ නොවන ආකාරයට කටයුතු කිරීම අභිනව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛම වගකීමක් වනු ඇත. ජනතාවගේ විශ්වාසය කඩවීමේ ප්‍රතිඵල කෙසේ විය හැකිද යන්න අවබෝධ කර ගැනීමට මහ විශාල පොත් පෙරළ පෙරළා කියවීමට අවශ්‍ය නැත. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව වසර දෙකක් ගෙවී යන විටදී ඇතිවූ තත්වය පිළිබඳ ආපසු හැරී බැලීම පමණක් ප්‍රමාණවත්ය.

ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය ලැබිය හැක්කේ එක් අපේක්ෂකයකුට පමණි. ඒ අපේක්ෂකයා කවුදැයි ඉදිරි පැය 24 ක කාලය තුළ දී රටේ ජනතාවට පැහැදිලි වනු ඇත. එම ජයග්‍රාහකයා රටේ ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් පසුව විය යුතු පරිද්දෙන්ම එම ජයග්‍රහණයට පියවරුන් විශාල සංඛ්‍යාවක් බිහිවීම ද බලාපොරොත්තු විය යුතුය. බොහොමයක් නායකයන් පොට වරද්දා ගන්නේ තමන් බලයට පත් කළ රටේ ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු ඉටුකර දීමට වඩා එම “ජයග්‍රහණයේ පියවරුන්” තමුන් යැයි කියාගන්නා පිරිස්වල බලාපොරොත්තු ඉටුකර දීමට ප්‍රමුඛත්වය ලබා දීමට යාමෙනි.

මේ “පියවරුන්” අතර අවංක, දක්ෂ පුද්ගලයන් ද සිටින බවත් කිව යුතුය. නමුත් වැඩි දෙනකු කිට්ටු වෙන්නේ ලොකු කුට්ටිය කඩා ගැනීමේ චේතනාවෙනි. හැම ජාතික මැතිවරණයකදීම හොරුන් අල්ලනවා, දූෂණ නැති කරනවා, වංචාකාරයන් එළවනවා වැනි සටන් පාඨ පණ ලබන්නේ එවැනි කුට්ටි කඩාගන්නා කට්ටියේ වැඩ හේතුවෙනි. එවැනි තත්වයක් යළි උදා නොවන බවට ආරම්භයේදීම සහතිකයක් දීමටත් එම සහතිකය අනුව ක්‍රියා කිරීමටත් හැකි නම් එය රටේ ඉදිරි ගමනට විශාල තල්ලුවක් වනු ඇති බව සඳහන් කළ යුතුය. ඒ බව අලුතින් පත්වන ජනාධිපතිවරයා අවබෝධ කර ගන්නා තරමට රටට යහපතක් වනු ඇත. එසේම ජනාධිපතිවරයාගේ කාර්යභාරය කෙරෙහි ජනතාවගේ විශ්වාසය වර්ධනය කිරීමක් ද වෙයි.
අලුතින් පත්වෙන ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් අප ප්‍රාර්ථනා කරන්නේ රට දැන් තිබෙන තත්වයෙන් ඉදිරියට ඔසවා තැබීමට ඔහුට සියලු ධෛර්යය සහ ශක්තිය ලැබිය යුතු බවය. නව ජනාධිපතිට සහාය ලබාදීම රටේ ජනතාවගේ ද වගකීම බවත් කියමු.