ගුරුකම කුමන රටක වුවද ඉහළින්ම ඇගයීමට ලක්වෙන වෘත්තියයි. මරණාසන්න රෝගියකුට වුවද යළි ජීවිතය ලබාදීමට වෛද්‍යවරයකුට හැකි වුවද එම වෛද්‍යවරයා බිහි කිරීමට නම් ගුරුවරයා අත්‍යාවශ්‍යය. ගුරු සිත් නොරිදවා, බැති පෙම් උපදවා, වේලාවත් නොවරදවා සියලු කුමර කුමරියන් අකුරු උගත යුත්තේ එබැවිනි. නමුත් දැන් කුමක්ද සිදුවී ඇත්තේ?
දරුවන් අකුරු උගෙනීමට නම් ගුරුවරුන් පාසල්වල සිටිය යුතුය. එසේ පාසල්වල සිටිය යුතු ගුරුවරුන් දැන් සිටින්නේ මහ පාරේය. හේතුව ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නවලට විසඳුම් නොලැබීමය. ගුරුවරුන් දෙවිවරුන් වශයෙන් සැලකුම් ලැබුවද ඔවුන්ට දෙවිවරුන් මෙන් පළතුරු සුවඳින් පමණක් සෑහීමට පත්විය නොහැක. ඔවුන්ට තුටු පඬුරු නොව ජීවත් වීමට සරිලන වැටුපක් අවශ්‍යය. එසේම වසර ගණනක් නැතහොත් දශක ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් අවශ්‍යය. ගුරු වෘත්තියේ අගැයීම, පිළිගැනීම, උතුම් බව, දේවත්වය මේ සියලු කරුණු පැත්තකට දමා ඔවුන් ගිනි ගහණ අව්වේ මහ පාරට බැස උද්ඝෝෂණය කරන්නේත් ඒ අතරවාරයේ පොලීසියෙන් ලැබෙන අනුකම්පා විරහිත ජල ප්‍රහාරවලින් නාගන්නේත් මේ වැටුප් ගැටලුවලට විසඳුමක් නැති හේතුවෙනි.
ගුරුවරුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ සටන සාධාරණය. නමුත් රජය කියන්නේ මේ ගැටලුවලට විසඳුම් සෙවීම පහසු නැති බවය. එය එක් පැත්තකින් ගුරු වැටුප් ප්‍රශ්න හමුවේ තමන්ට කළ හැකි දෙයක් නොමැති බව රජයම පිළිගැනීමකි. මේ විෂමතා හැදුවේ තමන්ගේ ආණ්ඩුව නොවන බවද මේවාට විසඳුම් ලබා දුන්නොත් ඒ ආකාරයටම රාජ්‍ය සේවයේ අනෙකුත් අංශ ද වැටුප් සටන් අරඹනු ඇති බවද රජයේ ස්ථාවරය වී තිබේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය ඊට ආසන්නම උදාහරණය සපයයි. ඒ අනුව දැන් සිදුව තිබෙන්නේ පාසල් පද්ධතිය ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන්ද විශ්වවිද්‍යාල පද්ධතිය ගුරුවරුන් නොවන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන්ද අඩපණ වී තිබීමයි.
ගුරු විදුහල්පතිවරුන් කොතරම් උද්ඝෝෂණය කළත් ඔවුන් වැඩවර්ජනය කොට පාසල් වසා දමන තත්ත්වයට තම සටන් ගෙන ගියේ කලාතුරකිනි. එහෙත් මෙවර ඔවුහු තම වෘත්තීය ක්‍රියාමාර්ගය උද්ඝෝෂණවලින් එපිටට ගෙන ගොස් එක් දිනක වැඩවර්ජනයක්ද දියත් කළහ. එය දෙදිනක් දක්වා දික් කරනු ලැබුවේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මගිනි. එම දෙදිනම පාසල් දරුවෝ සුසුම් හෙලූහ. මාපියෝ දොස් තැබූහ. එම දොස් තැබීම් ගුරු විදුහල්පතිවරුන්ට පමණක් සීමා නොවූ බවට සැකයක් නැත.
ගුරු විදුහල්පති වැටුප් සටන දැන් යළිත් උණුසුම් වෙමින් තිබේ. උද්ඝෝෂණ, කළු ඇඳුම් ව්‍යාපාර කරළියට පැමිණ ඇත. ඒ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ගැටලුවලට විසඳුම් නුදුන්නොත් තම වෘත්තීය සටන තවදුරටත් උග්‍ර කරන බවය. සැකයක් නැත. ඒ උග්‍ර කිරීම අවසන් වන්නේ වැඩවර්ජනයකින් බවට කතා දෙකක් නැත. ඒ අනුව ඉදිරි දිනවලදී යළිත් පාසල් වැසෙන දවස් උදාවීමට ඉඩ තිබේ. එය රටටම මහත් හිසරදයක් වන බවද නිසැකය.
පාසලේ සිටිය යුතු ගුරුවරුන් පාරට බැසීමත් පාසල් යා යුතු සිසු දරුවන් නිවෙස්වලට කොටුවීමත් රටේම අවාසනාවකි. දරුවන්ට දැනුම, කුසලතා සහ ආකල්ප යන කාරණා තුනම උගන්වන නියමුවන් වන ගුරුවරුන්ට බැණ වැදීමෙන්, ඔවුන් පීඩනයට පත් කිරීමෙන්, පොලීසිය ලවා ජල ප්‍රහාර එල්ල කිරීමෙන්, එසේත් නැතහොත් ගුරු සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරන බවට තරවටු කිරීමෙන් මේ සංකීර්ණ ගැටලුවට විසඳුමක් සෙවිය නොහැකි බව රජය තේරුම් ගත යුතුය. තමන්ගේ වැටුප් ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලබාදීම ද කළ නොහැකි බව ගුරු විදුහල්පතිවරුන්ද අවබෝධ කර ගැනීම අවශ්‍යය. මේ අන්ත දෙකේ මධ්‍යස්ථ තැනකට පැමිණ මේ ගැටලුව විසදා ගැනීමට උත්සාහ ගැනීම මේ අවස්ථාවේ හොඳම පියවර වශයෙන් ගත හැකිය. සිදු නොවිය යුත්තේ පාසල් වසා දමා සිසුන් ගෙදර තැබීම බව සියලු දෙනා දැන සිටීම අවශ්‍යය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුව විසින් මෙරට සියලු විශ්වවිද්‍යාල අඩපණ කර දමා තිබේ. මෙය දැන් මාස දෙකකටත් වඩා කාලයක් ඇදෙමින් තිබේ. රටේ සියලු විශ්වවිද්‍යාල පවතින්නේ වසා දමා ඇති තත්ත්වයෙන් බව බලධාරීන් නොදන්නේද? ඒවායේ විභාග කල් ගොසිනි. එසේම සරසවිවල ඉතා වටිනා උපකරණ දිරාපත් වීමට ඉඩ හැරීම මහා අපරාධයකි.