2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

අපේ නායකයා පිටරට ගියත් හම්බවෙන්නෙ ජනතාව තමයි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ලාල් කාන්ත - විධායක සභික‍ - ජාතික ජන බලවේගය

  • අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ ඡන්දය ප්‍රකාශ කළාට පස්සේ
  • ලෝකයේ සංවාද ඇතිවෙන්නේ ජනාධිපති අපේක්ෂකයෝ කේන්ද්‍ර කරගෙන
  • අපි ගිහින් අයි.එම්.එෆ්. එක හමුවුණේ නෑ: ඒගොල්ලෝ තමයි ආවෙ

Q මේ වෙනකොට දේශපාලන පරිසරය තුළ ඉක්මනින් පවත්වන්නෙ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද කියලා යම් සංවාදයක් ඇවිල්ලා තියෙනවා. ඔබලා හිතන්නෙ මොකක්ද සුදුසුම ඡන්දෙ?

ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සූදානමින් සිටිනවා. ජනාධිපතිවරයට පුළුවන් ඊට කලින් ඕනෑ නම් මහ මැතිවරණයක් පවත්වන්න. මහ මැතිවරණයක් ආවොත් අපි හිතනවා ජනාධිපතිවරණය සඳහා සූදානමින් සිටීම මහ මැතිවරණයක් සඳහා සූදානමින් සිටීම හා සමානයි කියලා. අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. 

Q අපි දැක්කා ඔබලට විවේචන එනවා ඔබලගෙ නායකයා රටේ ජනතාවට වඩා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හම්බවෙන්න යනවා වැඩියි කියලා. මොකක්ද ඒ ගැන අදහස?

මෙහෙමයි. ඕක බොරු කතාවක්. අපේ නායකයා ජනතාව අතරටත් යනවා. ඒ වගේම පිටරටත් යනවා. ඒ රට ගියත් ජනතාව තමයි හම්බවෙන්නෙ. මම පහුගිය දවස් ටිකේ හිටියෙ යාපනේ. ඒ නිසා ඕවා පදනම් රහිත ප්‍රකාශ. එහෙම කියන්නෙ ජනතාව අතර හෑල්ලු වුණු අය. 

Q ඔබලා පහුගිය දවසක අයි.එම්.එෆ්. කණ්ඩායම හමුවුණා. ගොඩක් අය බලාපොරොත්තු වෙනවා අයි.එම්.එෆ්. සම්බන්ධයෙන් මොකක්ද ඔබලගෙ මතය කියලා. ඒ එකඟතාවලට ඔබලගෙ ආණ්ඩුවක් එකඟ වෙයිද කියලා?

ඉස්සෙල්ලාම කියන්න ඕනෑ අයි.එම්.එෆ්. එකේ අයව අපි ගිහිල්ලා හම්බවුණේ නෑ. ඒ අය තමයි අපිව ඇවිල්ලා හම්බවුණේ. ඒ අය වෙලාවක් ඉල්ලලා තමයි ආවෙ. අයි.එම්.එෆ්. එකත් එක්ක අපි කොහොමත් අපේ ආණ්ඩුවක් යටතේ සාකච්ඡා කරනවා. අපේ ආණ්ඩුවක් පත්වුණාට පස්සෙ දැනට අයි.එම්.එෆ්. එකයි ආණ්ඩුවයි අතර ඇතිවෙලා තියෙන එකඟතා ගැන අධ්‍යයනය කරලා වෙනස්කම් කරනවා. ඒ රටට වාසිදායක විදිහට. එහෙම දේවල් ලෝකෙ කරලා තියෙනවා. 

Q අපි දැක්කා පහුගිය දවසක සජිත් ප්‍රේමදාස මහත්තයත් අනුර දිසානායක මහත්තයත් අතර සංවාදයක් තියන්න යෝජනා කළා. මොකක්ද මේ සංවාදය? ඒ සංවාදය පවත්වනවද?

ඉස්සෙල්ලම එන්නෙ ජනාධිපතිවරණය. ලෝකෙ එවැනි සංවාද ඇතිවෙනකොට ජනාධිපති අපේක්ෂකයො කේන්ද්‍ර කරගෙන තමයි ඒ සංවාද පවත්වන්නෙ. ඒ නිසා තමයි අපි ඒ සංවාදයට ආරාධනා කළේ. එතුමා ඒ සංවාදයට කැමැති නැත්නම් එතුමට පුළුවන් එතුමගේ ආර්ථික කමිටුව සංවාදය සඳහා යොදවන්න. හැබැයි අපිට දැනගන්න ඕනෑ ඒගොල්ලො ඒ සිහින දකින ආණ්ඩුවේ මොන වගකීම් දරන අයද කියලා. ඒ මොකද, ඒ අය අද ඉන්න තැන නැතුව වෙනත් තැනක ඉන්නත් පුළුවන්. මොකද, සමහර අය සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හිටියට යටින් යටින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගනුදෙනු කරන අය. ඒ නිසා ඔවුන් ගැන විශ්වාස කරනවට වඩා සජබයෙ නායකත්වය සමඟ සංවාද කරන එක ලේසියි. 

Q ඔබලා මේ ඇවිල්ලා තියෙන මැද මාවත බලය ලැබීමත් එක්ක සුපුරුදු ජවිපෙ මතයට මාරුවෙයි කියලා බොහෝ අය චෝදනා කරනවා. ඒක ඇත්තද?

දැන් මැද මාවතක් කියලා එකක් නෑ. දැන් තියෙන්නෙ නව ලිබරල්වාදය යන නමින් ලෝකෙ ඇතැම් තැන්වල ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි අපි ඒකට විරුද්ධයි. අපේ ක්‍රමය ජනතාවාදී ක්‍රමයක්. ඒකට ඕනෑ නම් සමාජවාදී කියන්න පුළුවන්, නැත්නම් ජනතාවාදී කියන්න පුළුවන්. ඕනෑම නමක් කියන්න පුළුවන්. අපි කරන දේවල් ටික අපි කියලා තියෙන්නෙ. 

Q බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මීළඟ ආණ්ඩුවෙන් ජනතාවට සහනයක් ලැබෙයි කියලා. අනිවාර් යෙන්ම කෙටි කාලීන සහනයක් ලැබෙයි කියලා තමයි බොහෝ අය හිතන්නෙ. ඒ වගේම ඊළඟට එන ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන එකත් ඉතාම අසීරුයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්තද?

ඡන්දය ප්‍රකාශ කළාට පස්සෙ තමයි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නෙ. අපි දැනට ඉදිරිපත් කරන්නෙ අපේ දැක්ම. ඉදිරියේදි ජනතාවට බලාගන්න පුළුවන් අපේ වැඩපිළිවෙළ මොකක්ද කියන එක. හොඳ ආර්ථිකයක් උදෙසා තමයි ජනතාව අපිව පත් කරගන්න බලාපොරොත්තු වෙන්නෙ. අපිට ඒ වෙනුවෙන් දැක්මක් තියෙනවා. අපි ඒ දැක්ම තමයි මේ දිනවල කතා කරන්නෙ.

I ගයාන් ගාල්ලගේ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00