2024 මාර්තු 30 වන සෙනසුරාදා

ලංකාවේ ඔක්තෝබර් විප්ලවය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 136

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවල...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයේ ජනපති හමුවෙයි. ජාත්‍යන්තර සමුළුවකටත් සහභාගි වෙයි.

ජනාධිපති උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉන්දියාවේ. භූමි සම්බන්ධතා පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවකට සහභාගි වෙයි.

පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඩුබායි රාජ්‍යයේ... තමන්  ඩුබායි   රටේ පොහොට්ටු සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා සඳහා පැමිණි බව ඔහුගෙන් දුරකථනයේ කරන ලද විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දුට නාමල් කියා තිබිණි.

රටේ මොන තරම් ප්‍රශ්න තිබුණත් හැම දේශපාලන පක්ෂයක්ම මේ දවස්වල තරගෙට වගේ පිටරට සවාරිවල බව ඉහත තොරතුරු හෙළි කරයි. සජිත් ප්‍රේමදාසත් පිටරට නොගියත් මේ දවස්වල විදෙස් නියෝජිතයන් හමුවීමේ යෙදී සිටියි. මැතිවරණ වසරකදී මේ විදියට දේශපාලන නායකයන්ට හැදෙන පිටරට ගමන් රුදාවට හේතුව මොකක්ද?

මේ විදෙස් ගමන් ගැන ඒ ඒ පක්ෂ කියන්නේ තමන්ට ලැබෙන ආරාධනා පරිදි ඒ ගමන් සිදුකෙරෙන බවය. ඒ කතාව අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් නම් බැලූ බැල්මටම ඇත්තක් බව පෙනේ. ඔහු පිටරට ගමන්වලදී එහි සිටින ජාතික ජනබලවේගයට සහාය දක්වන විශාල පිරිස් හමුවන ආකාරය මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය ඔස්සේත් දිගටම ප්‍රචාරය කෙරෙයි. කැනඩාවේදී ද ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එහි ටොරොන්ටෝ සහ වෑන්කූවර් නගරවල ඉතා උද්‍යෝගිමත්ව අනුර කුමාරගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබුණි. ඔහු ප්‍රශ්නවලදී ලිස්සා නොගොස් ඍජුව පිළිතුරු දෙන බවද පෙනී ගියේය.

අග්‍රාමාත්‍යවරයාගේ චීන ගමන ද විශේෂත්වයක් ඉසිලුවේය. ඔහු නිල ආරාධනාවක් අනුව චීනයට ගියේ දකුණු චීනයේ හයිනස් පළාතේ බොආඕ නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහා වුණත් එහිදී චීන ජනාධිපති ෂී ජිං පෙන් හමුවීම වි​ශේෂත්වයක් විය. සාමාන්‍යයෙන් චීන ජනාධිපතිවරයා හමුවෙන්නෙ රාජ්‍ය නායකයකු පමණි. නමුත් චීන ජනපති ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හමුවී ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලබා දෙන සහායත් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමට කැමැත්ත පළ කිරීමත් ජාත්‍යන්තර සබඳතාවලදී සුවි​ශේෂ අවස්ථාවකි. එහෙම හමුවීම චීන නායකයා අතින් සිදුවෙන්නේ ඉතා කලාතුරකිනි. එවැනි දුර්ලභ හමුවීමක් චීනයේ සිදුවෙමින් තිබියදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිට ඉතා සමීප බලවත් රාජ්‍ය දූත පිරිසක් නවදිල්ලි නුවරදී ඉන්දියාවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට යාමද කැපී පෙනෙයි. විශේෂයෙන් ඉන්දීය මහ මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබීමත් එය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ජයගන්නා බවට අනාවැකි පළවෙමින් තිබීමත් සලකා බලන විට මේ හමුවීමද කලාපීය දේශපාලනයේ ඉතා වැදගත් හමුවක් බවට හඳුනාගත හැකිය.

ලංකාවත් තිබෙන්නේ මැතිවරණ වසරක ආරම්භ අවස්ථාවේය. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වන විට අදාළ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (28) මැතිවරණ ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් කැඳවා මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වීය. දැනට  ප්‍රකාශ වී ඇති කරුණු අනුව සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එම දිනය වශයෙන් සමහරුන් ඉඟිකර ඇත්තේ ඔක්තෝබර් 5 වැනිදාටය. එය කෙතරම් දුරට සත්‍යදැයි කිව නොහැකි නමුත් ඔක්තෝබර් මාසයේ මුල් සතිය තුළදී බොහෝ දුරට ජනාධිපතිවරණය පැවැත්වෙන බව රජයේ ඉහළ පෙළේ බලධාරීන් තුළද විශ්වාසයක් පවතී.
ජනාධිපතිවරණයේ උණුසුම වඩාත් දැනෙන්න පටන් ගත්තේ මැතිවරණ කල් දැමීමක් සිදුවිය හැකි බවට තිබූ සැක සංකා දුරුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් වීමත් සමඟිනි. ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණය නියමිත කාලය තුළදී පවත්වන බවය. සමහරුන් දැඩි ලෙස සැක පළ කර තිබුණේ මැතිවරණ ක්‍රම සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ආණ්ඩුව එක වරම දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙනි. ඒ කතාබහ දැඩිව පැතිර යද්දී ආණ්ඩුව කරන පොහොට්ටුවේ නායකයන් ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කල් දැමීමට තමන් කිසිදු සහායක් නොදක්වන බවය. ඔවුන් කියා තිබුණේ ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙන බවත් තමන්ගේ උත්සාහය ඊට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීම බවත්ය.

මේ ප්‍රශ්නය පසුගියදා සිදුවූ රනිල් - බැසිල් හමුවේදී බැසිල් මතු කර තිබූ බවද කියයි.  මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ අලුතින් ආරම්භ වී ඇති සාකච්ඡා හේතුවෙන් මැතිවරණය කල් යා හැකි බවට ජනතාව තුළ සැකයක් මතු වී තිබෙන බව බැසිල් ප්‍රකාශ කර තිබිණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බවට පිළිතුරු දී ඇතැයි ද සඳහන්ය. පළාත් පාලන මැතිවරණය කල් දැමීම හේතුවෙන් ඡන්ද දායකයාගේ අයිතියට අසාධාරණයක් සිදු වී ඇතැයි ද බැසිල් ඒ අවස්ථාවේදී පෙන්වා දී තිබිණි. දේශපාලන නියෝජිතයන්ගෙන් තොරව පළාත් පාලන ආයතන පැවතීම හේතුවෙන් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් ද ප්‍රදේශයේ ජනතාව ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත් බැසිල් කියා තිබිණි. කෙසේ වුවත් මහ මැතිවරණය මුලින් පැවැත්වීමට පක්ෂයක් හැටියට තමන්ගේ කැමැත්ත තිබුණත් ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් ලබා ගැනීමට ඔහුට හදිසියක් නොතිබුණු බවත් සඳහන්ය. ජනතාවගේ කැමැත්ත සහ ප්‍රජාතන්ත්‍රවාදයට එයින් ලැබෙන වාසි සලකා බලා තීන්දු කිරීම වඩා යහපත් බව බැසිල්ගේ අදහස වූ බවද කියයි.

මේ හැම කතාබහකින්ම පෙනී යන්නේ රට සූදානම් වන්නේ ජනාධිපතිවරණයට බවය. මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඒ බව වඩාත් තහවුරු වෙයි. සමහරුන්ගේ මතය අනුව අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමට ද ඉඩක් තිබේ. එහිදී විශේෂත්වයක් වනු ඇතැයි පැවසෙන්නේ වික්‍රමසිංහ මහතා යූඑන්පියේ අපේක්ෂකයා වශයෙන් නොව ස්වාධීන හෝ නිර්පාක්ෂික හෝ අපේක්ෂකයකු වශයෙන් වීමට බොහෝ දුරට ඉඩ තිබීමෙනි. වජිර අබේවර්ධන, රවි කරුණානායක වැනි යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් ඉන්නේද මේ මතයේ බවට පසුගිය දිනවලදී ඔවුන් කළ ප්‍රකාශවලින්  පැහැදිලි විය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රචාරක කළමනාකරු වශයෙන් ක්‍රියා කරනු ඇත්තේ රෝලන්ඩ් පෙරේරාය. ඔහු පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පක්ෂ සාමාජිකයෝ 200ක ආසන සංඛ්‍යාවක් කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබුණේ පක්ෂයේ බිම් මට්ටම් ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීම සඳහා අදහස් ලබා ගැනීමටය.

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මේ ආකාරයට සූදානමකින් සිටීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යාමක් සිදු නොවනු ඇති බවය. ජනාධිපතිවරයා ඒ යෝජනාවට අකැමැති බවක් පෙන්වන්නේ නම් පොහොට්ටුවේ නායකයන් ද ඊට එරෙහිව කටයුතු කරනු ඇතැයි හිතන්න අමාරුය. එහෙම ජනාධිපතිවරයා සමඟ දේශපාලන වශයෙන් මත ගැටුමකට ගොස් පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සඳහා විපක්ෂයේ අසුන් ගැනීම ද ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් වනු ඇත. එවැනි පියවරේදී ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිසක් හිටීම හේතුවෙන් එහිදී සිදුවිය හැක්කේ පොහොට්ටුව ඇතුළේ බරපතළ බෙදීමක් ඇතිවීමයි. එයට පොහොට්ටුවේ නායකයන් කොහොමටත් කැමැති නොවනු ඇත. දැනට පවතින තත්ත්වයෙන් හෝ පොහොට්ටුව පවත්වාගෙන නොගියොත් තවත් එයින් පිරිසක් ගැලවී ස්වාධීන වීමට ද තිබෙන ඉඩකඩ ගැනත් පොහොට්ටු නායකයන් කල්පනාවට ගනු ඇත. එහෙම තත්ත්වයකදී රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන හෝ නිර්පාක්ෂික හෝ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළොත් ස්වාධීන වන පොහොට්ටු මැති ඇමැතින්ට තමන්ගේ සහාය රනිල්ට ලබාදීමට තිබෙන බාධාව ඉවත් වී යයි. එය පක්ෂය තුළ දීර්ඝ කාලීන බෙදී යාමකට පාර කපන අතරම ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී පැරණි ශ්‍රීලනිපයට '77 දී මහ මැතිවරණයෙන් අත්වූ ඉරණම අත්වීමට වුවද ඉඩ තිබේ. මේ නිසා පොහොට්ටු නායකයන් මහ මැතිවරණයක් අවශ්‍යමයි යන මතයේ සිට තවදුරටත් ක්‍රියා කරනු ඇතැයි සිතිය නොහැක.

එහෙම බැලුවාම මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනු ඇත්තේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත්ය. මේ හැර තවත් කිහිප දෙනකු තරග වැදීමට ඉඩ තිබුණත් ඔවුන්ට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇති කරන්න අමාරුය. මේ නිසා නිසැකවම එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඒ කියන්නේ තව මාස 06 කදී මේ රටේ නව ජනාධිපති වශයෙන් රනිල්, සජිත් හෝ අනුර තිදෙනාගෙන් එක් අයෙක් ජනතාව විසින් තෝරා පත්කර ගනු ඇත.

කැනඩාවේ, චීනයේ සහ ඉන්දියාවේ මේ දවස්වල සිදුකෙරෙන සංචාරවල පසුබිම ජනාධිපතිවරණය සමඟ බැඳී පවතින බව පැහැදිලිය. කොහොමත් ලංකාවේ ජනාධිපතිවරණය රටේ නායකයා තෝරන ඡන්දය බැවින් ජාත්‍යන්තර බලපෑම් එල්ල වීම බලාපොරොත්තු විය යුතුය. ඉන්දියාව සහ චීනය ඒ අතරින් ප්‍රධානය. ඊළඟට ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් ලංකාව ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටී. මොන නායකයා බලයට ආවත් ඔහුට ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්‍රයේ ගනුදෙනු සඳහා වඩාත්ම තීරණාත්මක වනු ඇත්තේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය බැවින් ඒ බලපෑම් නොසලකා හැර කටයුතු කළ නොහැකිය. මේ ජාත්‍යන්තර බලපෑම්වල ගැඹුර පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කිරීමේ ඉහළම වන්දිය ගෙවන්නට සිදුවූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ඔහු යුද්ධය දිනා රට ඇතුළේත් ඉන්දියාව සහ චීනයේත් ප්‍රසාදය දිනා ගත්තත් ඇමෙරිකාවේත්, යුරෝපා සංගමයේත් උදහසට ලක්වන සේ කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ ආර්ථිකයෙන් මහින්දගේ පාලනයේ ගෙල සිර කිරීමට ඔවුන් කටයුතු කිරීමයි. අවසානයේ 2010 වනවිට රටේ ඉහළම ජනප්‍රිය නායකයාව සිටි මහින්ද 2014 වනවිට රට ඇතුළේම අප්‍රසාදයට පත් විය. 2015 දී ඡන්දයෙන් ඔහු පරාජයට ද පත්විය.

රට ඇතුළේ මොන ගේම් එක ගැහැව්වත් ජාත්‍යන්තරය අමනාප කර ගනිමින් රට පාලනය කිරීමට හැකියාවක් නැත. වර්තමානයේ හැම රටකම ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ බැඳී ඇති බැවිනි. ජාත්‍යන්තරය බැලන්ස් කර ගැනීමේ උපන් හපන්කමක් ඇති නායකයා රනිල්ය. රට ඇතුළේ මේ දවස්වල වඩාත්ම ආකර්ශනයට ලක්වී ඇති නායකයන් වන්නේ අනුර කුමාර සහ සජිත්ය. මේ තුන්දෙනාගෙන් කවුරු දිනුවත් ඒක මේ රටේ ඔක්තෝබර් විප්ලවයේ ආරම්භය සනිටුහන් කරනු ඇත.

I ශශීන්ද්‍ර